එළඹෙන පළාත් සභා මැතිවරණ තමන්ට පහසුවෙන් ජයග්‍රහණය කළහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය දිනෙක ( සැප් 07) යාපනයේ පැවති මහජන රැළියක් අමතමින් පැවසීය. එහෙත් ඒ මැතිවරණය පැවැත්වීම සදහා සීමා නිර්ණ වැඩකටයුතු අවසන් විය යුතු බවද එහිදි ඔහු වැඩිදුරටත් සදහන් කර තිබිණි.
ලේකම් වරයාගේ මෙම ප්‍රකාශය වඩා වැදගත් වන්නේ ආණ්ඩුවේ තීරණ කෙරෙහි වැඩියෙන්ම බලපෑම් සහගත පුද්ගයා ඔහු බවට විශ්වාසයක් සමාජයේ පවතින බැවිනි. ජවිපෙ ඉතිහාසය තුළ පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් ඔවුන් අතරෙහි පැවති විරෝධාකල්පයද මෙහිදී සමාජ අවධානයට ලක්වීම වැලැක්විය නොහැකිය.
කෙසේ වෙතත් සීමා නිර්ණ ගැටලුව විසඳන තෙක් පළාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බවට කළ ප්‍රකාශය මේ වන විට ජාතික තලයේ දේශපාලන වේදිකාවට සීමා වී නැත. එමෙන්ම ඒ පිළිබඳ උනන්දුවද ජාතික තලයට සීමා වී නැත. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යයේ (OHC HR ) ශ්‍රී ලංකා වාර්තාව ද මේ කෙරෙහි අවධානය යොමු කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැක්වු ප්‍රතිචාරය වුවේ සිමා නිර්ණය කටයුතු අවසන් වු පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්න බවය.
මෙයින් පැහැදිලි වන්නේ සීමානිර්ණය පිළිබඳ ගැටලුව විසඳන තෙක් පළාත් සභා මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය පැහැදිලි හා ස්ථිරසාර තීරණයක් බවයි එසේ නම් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ උත්සහය පිළිබඳ සැකයක් නැත. විවාදය ඇත්තේ එය කොතරම් දුරට කල්යන්නේද යන කාරණය සම්බන්ධයෙන් පමණි.
ආණ්ඩුවේ මේ පිළිවෙත පළාත් සභා මැතිවරණය කල් දැමීම සදහා මෙතෙක් පැවති ආණ්ඩු අනුගමනය කළ ක්‍රියා මාර්ගයට කිසිසේත් වෙනස් නැත. 2017 වසරේ සිට පැවති රජයන් පළාත් සභා ඡන්දය කල් දැමීම සදහා අනුගමනය කර ඇත්තේ මේ උපාය මාර්ගයමය. එමෙන්ම ජවිපෙ, එකල පාලකයන් මැතිවරණ කල් දැමීමට පියවර ගනිද්දී දක්වා ඇති විරෝධතාවන්ද මෙහිදී සමාජ අවධානයට ලක්වීම වැලැක්විය නොහැකිය.
සීමා නිර්ණය කොමිෂන් සභාවෙහි ප්‍රමාදය හා ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් පැන නැග තිබෙන බව පැහැදිලි කරුණකි. ඒ සදහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාවයද එතරම්ම පැහැදිලිය. එහෙත් ඒ මත සියලු පව් පටවා මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට කිසිසේත් උචිත නොවන කරුණක් බව පෙරකී කරුණු සියල්ලට ඉහළින් අවධාරණය කළ යුතු කරුණකි.
ඒ අනුව පැනනගින සැකය වන්නේ ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා ඇති අවංක උවමනාවයි. මෙහිදි සමාජ අවධානය යොමුවිය යුත්තේ පළාත් සභා යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමේ මූලධර්මීය අවශ්‍යතාව කුමක්ද යන්න කෙරෙහිය. ව්‍යවස්ථානු කූලව බිම් මට්ටමේ ජනයා වෙත නියමිත බලය පැවරීමක් මෙමගින් සිදුවිය. අද රටෙහි බලය හොබවන ජවිපෙ , මෙම යාන්ත්‍රණය හදුන්වා දුන් මොහොතේම ඊට තම විරෝධය පළකළ බව මෙහිදී සිහිපත් කළ කරුණකි. අද පවතින්නේත් ඒ විරෝධයේම දිගුවක්ද යන ගැටලුව එහිදී මතුවේ එය විවාදාත්මක කරුණකි. එය එසේ වුවත් , නොවුවත් පළාත් සභා මැතිවරණය මේ ආකාරයෙන් නොකඩවා කල්යාම මගින් සිදුවන්නේ නම්, පෙරකී පරිදි ව්‍යවස්ථානු කූළව බිම් මට්ටමේ ජනයා වෙත උරුමවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමිවීමය. නිශ්චිත කාල වකවානුවක් සදහා තම නියොජිතයන් පත්කර ගැනීමට පොදු ජනයාට ලැබී ඇති අයිතිය මේ තත්වය තුළ අහිමි වී ඇත.
දැනට බලය හොබවන ජවිපෙ විපක්ෂයේ සිටියදී පළාත් සභාව මුහුණ දී සිටින මේ ඉරණමට කිසිසේත් එකග වුවේ නැත. ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ බව සදහන්ව තිබුණේ මෙසේය.
“අවිනිශ්චිතව කල්තබා ඇති පළාත් සභා හා පළාත් පාලන ඡන්දය වසරක් තුළ පවත්වා ජනතාවට පාලනයට සහභාගි වීමේ අවස්ථාව ලබා දෙනු ඇත.
“ජා.ජ.බ.මැතිවරණ ප්‍රකාශනය 4.9”
මේ මොහොත වන විට ජනාධිපති වරයාගේ පළමු වසර අවසන් වෙමින් ඇති අතර ඒ සමග ඔවුන්ගේ ප්‍රතිඥාව බිද වැටී ඇත.
ඒ අතර පළාත් සභා ක්‍රමය තවදුරටත් බලගැන් වීම සදහා පවතින සංවාදයද මෙහිදී අමතක නොකළ යුතුය. පළාත් සභාව සුදු අලියෙකි යන චෝදනාවෙන් මිදීමට එම සංවාදය ඉවහල් වන නමුත් මැතිවරණය කඩිනම් කරගනිමින් පළාත් බද ජනයා පාලනයට හවුල් කර ගැනීමේ බලපෑම් කරණයට ඒ කිසිවක් බාධා නොකර ගත යුතුය. පළමුව අවශ්‍යවන්නේ මැතිවරණය දිනාගැනීමයි. මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල මෙන්ම දේශපාලන පක්ෂවලද මේ වනවිට ඉල්ලීම බවට පත්ව ඇත්තේ එම ඉල්ලීමයි. පැෆරල් සහ කැෆේ යන මැතිවරණ සංවිධානය හැරුනුවිට ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වැනි සිවිල් සංවිධානය ගණනනාවක් ද රජය වෙත මේ ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
රජය මේ දක්වා නිල වශයෙන් ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කර නැති නමුත් පසුගිය සති අන්තය වන විට ජනමාධ්‍ය ( ලංකාදීප – සැප් 15) වාර්තා කර තිබුණේ සීමා නිර්ණය අවුලක බැවින් පළාත් ඡන්දය පැරණි ක්‍රමයටම පැවැත්වීමේ හැකියාව පිළිබඳව රජය කරුණු සොයා බලමින් සිටින බවය.
එහිදි අවධාණය වී තිබු තවත් වැදගත් කරුණක් වුවේ මෙම ඡන්දය කඩිනම් කිරීම සදහා ඉන්දියාවෙන් කෙරෙන බලපෑමයි.
” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී මෙරට පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාව නියෝජනය කරන දූත මණ්ඩලයේ පළමු ලේකම් අනුපමා සිං මහත්මිය ද ඉල්ලා සිටි බව වාර්තාවේ” යැය වැඩිදුරටත් ඉහත වාර්තාවේ සඳහන්ව තිබිණි.
මාස ගණනක සිට මෙරට සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ මේ සඳහා බලපෑම් කරමින් සිටින අතර රජය ඊට යම් අනුකූලතාවයක් දක්වන්නේ නම් එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි. ඒ අතර පළාත් සභා ක්‍රමය වඩා ශක්තිමත් කිරීමේ හා අර්ථවත් කිරීමේ උත්සාහය ද ඊට සමගාමීව දියත්විය යුතුව ඇත. සිවිල් සංවිධානය හා දේශපාලන පක්ෂ ඒ සඳහාද තම දිගු කාලීන අවධානය යොමුකළ යුතුව ඇත.