බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබද සංවාදය පුළුල් රාජ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට සබැදිය යුතුයි.

බටලන්ද කොමිසන් වාර්තාව පිළිබද ඇති වී තිබෙන නව සංවාදයත්‍, එහි දිගුවක් ලෙස එම වාර්තාව පාර්ලිමෙන්තුවෙහි සභාගත කිරීමට  සිදුවීමත්‍ හේතුවෙන්‍ යළි නව සමාඡ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අවශ්‍ය පුළුල් කතිකාවකට අවකාශය විවර වී ඇත.ඒ‍, ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක දශක හතරකට අසන්න යුගයක පාර රාජ්‍ය( Deep state ) භූමිකාවෙහි  ඉතිහාසය හෙළිදරව් කරමින් එම හෙළිදරව්ව සමකාලීන රාජ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට ඉවහල් කර ගැනීමේ ඓතිහාසික අවස්ථාවක් බවට පත්කර ගැනීම මගිනි. එහෙත්‍, බැලූ බැල්මටම නිරීක්ෂණය වන පරිදි තවමත් එය පවතින්නේ දේශපාලන පක්ෂ කිහිපයක් අතර බල ⁣අරගලයෙහි මෙවලමක් ලෙස හා එකිනෙකා වෙත ද්වේශ සහගත චෝදනා එල්ල කර ගැනීමට නිමිත්තක් ලෙස පමණි.

බටලන්ද වධ කදවුර යනු  මෙරට දීර්ඝ දේශපාලන අපරාධ ඉතිහාසයෙහි කේන්ද්‍රීය  සංකේතයක් වන බැවින් එම අපරාධ ඉතිහාසය පිළිබද සාකල්‍යමය ප්‍රවේශයකින් විසදුමක් සෙවීම සදහා පුළුල් සංවාදයක් ගොඩනැගීමට ⁣මෙය යොදා ගත හැකිව තිබූ බව ⁣මේ සම්බන්ධයෙන් උනන්දු වන බොහෝ සමාජ දේශපාලන විචාරකයන්ගේ මතයයි.

එහෙත් එය එසේ නොවීමෙන් පිළිබිඹු කරන පසුගාමිත්වය කොමිසම පත් කරන ලද මුල් යුගයෙහි සිටම අඩු වැඩි  වශයෙන් නිරීක්ෂණය කළ හැකි තත්වයකි.80 දශක⁣ය අවසානයේ කූටප්‍රාප්තියට පත් වු සාකල්‍යමය ප්‍රචණ්ඩත්වය පිළිබඳ සංවාදය 1994 මැතිවරණ දේශපාලන වේදිකාව මගින් ද විකාශනය වූවේ ඊට නිසි තරම් වූ සාකල්‍යමය අරුතකින් නොවේ. ජනප්‍රියවාදී මැතිවරණ ප්‍රචාරක තුරුම්පු වශයෙනි.  එතැන් සිට මේ දක්වා වරින්වර යටපත් වෙමින් සහ වි⁣ශේෂයෙන් මැතිවරණ සමයන්හි ඉස්මතු වෙමින් ආන්දෝලනයකට තුඩු දුන් නමුත් එය දිගු කාලීන හා පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට ගමන් කළේ නැත.

එම පසුබිම තුළ මෙවර බටලන්ද වාර්තාව සංවාදයට ලක්වන්නේ 

තවත් විශේෂිත සාධක කිහිපයක බලපෑම යටතේය.ඒ අතරින් ආසන්නතම ⁣බලපෑම වූවේ අල්ජසීරා නාලිකාව සමග රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති වරයා පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේදී  මතුවූ කරුණු ආශ්‍රිත බලපෑමය. ඒ ආශ්‍රිතව  විවිධ  දේශපාලන කණ්ඩායම් සහ සමාජ ව්‍යාපාර මගින් එල්ල වූ බලපෑම් ද‍, හිටපු ජනාධිපති වරයා ඉලක්ක කර ගත් විරෝධය ද  හැරුණු විට ආණ්ඩුව සතුව මෙම පුළුල් අපරාධ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුළුල් දැක්මක් හෝ ඉදිරි වැඩපිළිවෙළක් ඇතැයි පෙනෙන්නට නොතිබිණි.

කොමිසන් සභා වාර්තාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරමින් බිමල් රත්නායක සභානායක වරයා අතිශය සංවේදී අදහස් දැක්වීමක් කරන ලද නමුත් ඊට නිසි ඉදිරි ක්‍රියාකාරී සැලැස්මක් නැතැයි නීතිඥ ශිරාල් ලක්තිලක මේ සම්බන්ධයෙන් කරන ලද පැහැදිලි කිරීමෙන් ද

සනාථ වන්නේ එම තත්වයයි.(https://youtu.be/0NK4qZK_X0w)

කෙසේ වෙතත් මෙම වාර්තාව මගින්  පිළබිඹු වන රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට තිරසාර විසදුමක් සදහා වන පුළුල් ප්‍රතිසංස්කරණ  ක්‍රියාවලියක අවශ්‍යතාව විවිධ විද්වතුන්  මේ වන විටත් පෙන්නුම් කරනු ලැබ ඇත.

 විශේෂයෙන් පුළුල් රාජ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පෙන්වා දෙමින් පසුගිය සතිඅන්ත අනිද්දා පුවත්පතට සැපයූ ලිපියකින්

මහාචාර්ය ජයදේව උයන්ගොඩ මේ පිළිබඳ පුළුල් සාකච්ජාවක් සිදුකර තිබේ.එහිදී ඔහු පෙන්වා දෙන ශ්‍රී ලංකා රාජ්‍යයෙහි සහ දේශපාලනයෙහි පරිහාණිය සමන්විත ප්‍රවණතා අතරින් ප්‍රවණතා කිහිපයක් ඍජුවම මෙම අර්බුදයට අදාළ වේ.එසේ හදුනා ප්‍රවණතා දෙකක් මෙසේය. 

•රාජ්‍ය අධිකාරී වීම

•රාජ්‍යය හා පුරවැසියන් අතර සම්බන්ධය ප්‍රචණ්ඩවීම.

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි පුළුල් ප්‍රතිසංස්කරණ සදහා අවධානය යොමුකළ යුතුව ඇතැයි මහාචාර්ය උයන්ගොඩ පෙන්වා දෙන මෙම ප්‍රවණතා බටලන්ද කොමිෂන් වාර්තාවෙන් පිළිබිඹු කෙරෙන රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ඍජුවම  අදාළ වන අයුරු ඉතා පැහැදිලිය.

මෙම කාරණයෙහි ලා අදාළ ප්‍රධාන සාධකය වන්නේ මෙරට දීර්ඝ කාලයක් තිස්සේ පවතින දණ්ඩ මුක්තිමය/impunity) පසුබිමයි.

සමාජයෙහි යම් බලගතු කණ්ඩායම් ‍, පුද්ගලයන් ඇතුළු වරප්‍රසාදිත කණ්ඩායම් සතුව අපරාධ සිදුකොට දඩුවම් නොලබා සිටීමට ඇති වරප්‍රසාදය මෙයින් කියැවේ.නීතියෙහි පවතින ගැටළු හා නීතිය ක්‍රියාත්මක නොවීම මෙහිලා බලපාන හේතු ලෙස ඉතිහාසය පුරා අනේක සිදුවීම් මගින් සනාථ වී ඇත.

මෙවැනි පසු බිමක් තුළ බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබද සංවාදය නියත වශයෙන්ම එකී පුළුල් රාජ්‍ය ප්‍රතිසංස්කරණ අවශ්‍යතාතා සමග බැදී තිබිය යුතු නමුත් දැනට එම සංවාදය 

එබදු දිශානතියක් පෙන්නුම් නොකරයි. එය නිසි මගට ගැනීම සදහා මැදිහත් වීම මේ මොහොතේ මෙරට සමාජ දේශපාලන ව්‍යාපාරයෙහි 

නියුතු සියළු ක්‍රියාකාරීකයන් ගේ වගකීමකි.