ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය ඉදිරිපත් කරන 3% වට්ටම් ප්රශ්නය මත ඇතිවූ ගැටුම්කාරී තත්වය මේ වනවිට යම් ප්‍රමාණයකින් සමනයට පත්ව ඇති බවක් පෙනෙන්නට ඇතත් ඒ සමග රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තම වෘත්තීය අයිතීන් පිළිබඳ ඉල්ලීමක් මුල්කර ගනිමින් තවත් වෘත්තීය අරගලයක් ප්‍රකාශයට පත්කර තිබිණි. ඊට සමගාමීව සෞඛ්‍ය සේවයේ වෙනත් වෘත්තීයවේදීන්ද තම දීමනා කප්පාදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර වැඩවර්ජනයකට සූදානම පළකර තිබේ.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ මාර්තු 06 දින තම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි. ඒ අතර ඔවුන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙහි සටනටද තම සහයෝගය පළකර තිබේ.
2025 අයවැය යෝජනා මගින් වැටුප් වැඩිකර ඇතැයි කියන නමුත් මෙහිදී සෞඛ්‍ය වෘත්තිකයන් බරපතල ලෙස නොසලකා හැර ඇති බව එම බලමණ්ඩලයේ කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටී.
මෙම වැඩවර්ජන හා විරෝධතා පිළිබඳ සමහර තීරණ පසුව වෙනස් වූ නමුත්, මේ පසුබිම තුළ පැහැදිලි වන්නේ මෙරට වෘත්තීමය හා කාර්මික ක්ෂේත්රයන්හි නොසන්සුන්තාවයක් ක්‍රමිකව නමුත් වර්ධනය වෙමින් තිබෙන බවයි.
මෙසේ වර්ධනය වන තත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී වැදගත් නිරීක්ෂණයක් වන්නේ මේ පිළිබඳ වගකිව යුතු බලධාරීන්ගෙන් මේ කෙරෙහි ලැබෙන ප්රතිචාරයන්හි ස්වභාවයයි.
විෂය පිළිබඳ බලධාරීන්ගේ ප්‍රකාශ හා පාර්ලිමේන්තු සංවාද තුළ ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාර මගින්ද, ආණ්ඩුව පාලනයෙහි පවතින ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් මෙන්ම ඊට අයත් සමාජ මාධ්‍ය ප්‍රකාශන මගින්ද පිළිබිඹු වන්නේ වෘත්තීමය හා කාර්මික ක්ෂේත්රවලින් ඉදිරිපත් වන ඉහත ඉල්ලීම් කෙරෙහි සංවාදශීලී ප්‍රතිචාරයක් දැක්වීමට ආණ්ඩුව තුළ සූදානමක් නොමැති බවය. බැලූබැල්මට පෙනෙන්නේ ඉදිරිපත් වන වෘත්තීය ඉල්ලීම්වල කිසිදු සාධාරණත්වයක් ඇතැයි ආණ්ඩුව නොපිළිගන්නා බවය. ඉන් නොනැවතී ඉල්ලීම් ඉදිරිපත් කරන සෑම පාර්ශවයක් පිටුපසම යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව තහවුරු කිරීමේ උත්සාහයකද ආණ්ඩුව නිරතව සිටින බව පෙනේ.
ආණ්ඩුව අනුගමනය කරමින් සිටින මේ දැඩි පිළිවෙත සාකච්ඡුා මේසයේදී ප්රශ්නය විසඳීමට හිතකර පසුබිමක් නිර්මාණය කරන්නේ නැත.
ජනමාධ්‍ය අමතමින් මෙම තත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරන පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා වගකිවයුතු සෑම පාර්ශවයකටම තම ගැටලූ පිළිබඳ දැනුම් දී සාකච්ඡුාවක් ඉල්ලා ඇති නමුත් මෙතෙක් ජනාධිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවය.
එසේම සෞඛ්‍ය අමාත්‍යවරයා දින හතක් ඇතුළත මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වූ නමුත් එම දින හත අවසන් වීමෙන් පසු මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලබාදී නැති බවද, ඒ වෙනුවට පාර්ලිමේන්තුව අමතමින් මෙම වෘත්තීය ඉල්ලීම්වලට එරෙහිව අසත්‍ය තොරතුරු මත පදනම්ව අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවද වැඩිදුරටත් ඔහු කියා සිටියේය. එමගින් ඔහු සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්ට එරෙහිව මහජනයා ප්‍රකෝප ගැන්වීමේ උත්සාහයක නිරත වන බව ඔහුගේ අදහසය.
අනෙක් අතින් වෘත්තිය ක්ෂේත්රයේ නව වෘත්තීය සමිති පිහිටුවමින් වෘත්තීය සටන් අඩාල කිරීමේ උත්සාහයක නිරත වන බවද ඔහු පවසයි. එය මෙතෙක් සිටි කිසිම සෞඛ්‍ය අමාත්‍යවරයෙක් යටතේ හෝ, රාජ්‍ය නායකයෙක් යටතේ, විශේෂයෙන් ජේ.ආර්. ජයවර්ධන යුගයේ පවා නොපැවැති තත්වයක් බව ඔහු පවසයි. වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා තිබුණේ එය ජනතාව අපහසුතාවයට පත්කිරීම සඳහා සිදුකරන අනවශ්‍ය වැඩවර්ජනයක් බවය.
වෛද්‍යවරුන්ගේ වර්ජනය පිළිබඳ තීරණය වෙනස් වූයේ එවැනි පසුබිමක් තුළය. කෙසේ වෙතත් එයින් වෘත්තිකයන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටුවී නැති අතර ඉවත් කරගෙනද නැති බැවින් දැන් එහි ඇත්තේ අළු යට ගිනි පුපුරු ඇවිලෙන තත්වයකි.
වර්ධනය වෙමින් තිබෙන මෙම වෘත්තීමය අරගල පරිසරය තුළ දෙපාර්ශවයේ ස්ථාවරයන් අතර ගැටුමක් පැවතීම ස්වභාවික නමුත් සාකච්ඡා මාර්ගයෙන් ගැටලූ විසඳා ගැනීමට ඇති ප්‍රවේශ අවහිර කිරීම යහපත් තත්වයක් වන්නේ නැත. දැනට ගොඩනැගෙමින් තිබෙන්නේ එබඳු තත්වයකි. බලහත්කාරය යොදමින් හෝ රැවටීමෙන් ඉල්ලීම් යටපත් කිරීමද අයහපත් තත්වයකි.
දේශපාලන අධිකාරී බලය තහවුරු කිරීමේ කෝණයෙන් බලන විට, එය කෙටිකාලීනව සාර්ථක විය හැකි උපාය මාර්ගයක් විය හැකි නමුත්, දිගුකාලීනව සහ ප්රජාතන්ත්රවාදී දේශපාලන රාමුවක් තුළ හිතකර තත්වයක් වන්නේ නැත. විශේෂයෙන් එය මෙරට කාර්මික සාමයේ පැවැත්ම සම්බන්ධයෙන් අවදානම් සහගත තත්වයකි. එබැවින් ඊට විකල්පව වෘත්තිය සහ කාර්මික වැඩබිමෙහි පැනනගින ගැටලූකාරී තත්වයන් සාකච්ඡාමය මාර්ගයෙන් තිරසරව විසඳා ගැනීමේ සංස්කෘතියක් තහවුරු කිරීම දිගුකාලීන සමාජ දේශපාලන අවශ්‍යතාවයකි. විශේෂයෙන් රට තවමත් නිදහස් වී නැති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමෙහිලා එබඳු සංස්කෘතියක අවශ්‍යතාව තීරණාත්මකය.
වෛද්‍යවරුන්ගේ සංගමය දැනට කියා ඇත්තේ මාර්තු 21 වනදා අයවැය තුන්වැනි වර කියවීම දක්වා මේ වැඩවර්ජනය නැවැත්වීමට තමන් තීරණය කළ බවයි. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ මාර්තු 04 දා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුවය. අවසන් මොහොතේ හෝ සාකච්ඡාමය විසඳුමක් තාවකාලිකව හෝ ලබාගත හැකිවීම යහපත් තත්වයක් බව මේ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍යවරයෙක් පැවසීය.