– චන්ද්‍ර නාථ.
මැතිවරණ සමයක් එළඹෙන සැමවිටම පැතිරෙන එක් උවදුරක් වන්නේ ව්‍යාජ තොරතුරු (Fake news) වසංගතයයි.මෙය මෑත ඉතිහාසයේ පැනනැගුනු ලාංකේය සමාජයට ආගන්තුක උවදුරක් නොවේ.මැතිවරණ යුගයේ ආරම්භය දක්වා එහි මුල් දිවේ.කෙසේ වෙතත් එකල එය මුද්‍රිත ජනමාධ්‍යයට සීමා විය.එකල තිබුණේ මුද්‍රිත මාධ්‍ය පමණක් බැවිණි.
තත්ත්වය වඩා සංකීර්ණ වූවේ 1970 දශකය අවසානයේ රූපවාහිනිය හඳුන්වාදීමත් සමගය. එය මෙරට ජනමාධ්‍ය සංස්කෘතියේ තාක්ෂණික ඉදිරි පිම්මක් වූ නමුත් ව්‍යාජ තොරතුරු උවදුර එමගින් වැඩිදුරටත් වර්ධනය විය. ‘’රූපවාහිනිය සත්‍යවාහිනියක් වේවා!” යැයි මෙරටට රූපවාහිනිය හඳුන්වා දුන් අවස්ථාවේ එවකට සිටි ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කළ නමුත් එතුමාගේ පාලන සමයේදී ම රූපවාහිනියට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූවේ එමගින් අසත්‍ය ප්‍රචාරයන් කරන බව ය. එය “අසත්‍යවාහිනියක්” වූ බවය.
රූපවාහිනී මාධ්‍යයෙහි විකාශනයන් සමාජය කෙරෙහි වඩා බලපෑම් සහගත වීමත් සමග එමගින් සිදු කෙරෙන ව්‍යාජ පුවත් භාවිතය මැතිවරණය ක්‍රියාවලිය කෙරෙහි මෙන්ම පොදුවේ සමස්ත දේශපාලනය කෙරෙහි ද වඩා අහිතකර ලෙස බලපෑවේය.
එම තත්ත්වය මැනැවින් පැහැදිලි කළ සිදුවීමක් වූවේ 2015 ජනවාරි 08ජනාධිපතිවරණයේදීය. එදින ඡන්ද පැවැත්වෙමින් තිබියදී රූපවාහිනී සංස්ථාවේ දහවල් රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් විකාශනය වූ ප්‍රධාන පුවත වූවේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩු පක්ෂයට සම්බන්ධ වූ බවයි. මෙය සාවද්‍ය පුවතක් බවට සජිත් ප්‍රේමදාස මහතා කළ පැමිණිල්ලකට අනුව එය නිවැරදි කිරීම සඳහා එවකට සිටි මැතිවරණ කොමසාරිස්වරයා රූපවාහිනී පරිශ්‍රය වෙත යාම මෙරට මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වූ අතර, රාජ්‍ය මාධ්‍ය ව්‍යාජ පුවත් වළකිරීමේ ඉතිහාසය මැනැවින් කැටිකර දක්වන්නක්ද විය.
මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ව්‍යාජ පුවත් භාවිතය සම්බන්ධයෙන් මෙවැනි ඉතිහාසයක් සළකුණු කරද්දී සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය ඊට එක්වීමෙන් තත්ත්වය වඩා සංකීර්ණ විය.
මෙරට ෆේස්බුක් භාවිතයෙහි ආරම්භය 2009-2010 පමණ කාලයේ සිදු වූ අතර, නගර හා ඒ ආශ්‍රිත කලාපයන්හි ජනප්‍රිය වීම 2012-2016 අතර කාලයේ සිදුවිය. 2017-2019 වකවානුව තුළ ෆේස්බුක් මෙන්ම වට්ස්ඇප් සහ යූටියුබ් ද වඩා සුලබ විය. තරුණ ප්‍රජාව අතර ඉන්ස්ටර්ග්‍රෑම් ද ජනප්‍රිය විය.
සාපේක්ෂ්ව මෙහි ජනප්‍රියත්වය වඩා මුදුන්පත් වූ යුගය ලෙස 2018 න් පසු යුගය සැලකිය හැකිය. සමාජ මාධ්‍ය, සමාජ දේශපාලන ක්ෂේත්‍ර කෙරෙහි වඩා බලපෑම් සහගත වූවේ මෙම යුගයේදී ය. මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි මෙන්ම ඉන් බැහැර, අරගල හා කැරලි කෝලහාල කෙරෙහි ද බලපෑම් සහගත විය.
සමාජ මාධ්‍යයෙහි බලපෑම මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි බලපෑ ආකාරය සනාථ කරමින් 2015 ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම කියා සිටියේ තමන් ලැබූ ප්‍රතිඵලයන් කෙරෙහි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තීරණාත්මක ලෙස බලපෑ බවය. එමෙන්ම ව්‍යාජ තොරතුරු ප්‍රචලිත වීම ද සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන ලෙස ඒ සමඟ වර්ධනය වී තිබිණි.
2024 ජනාධිපතිවරණයට පෙර ජාජබ ඉදිරිපෙල ක්‍රියාකාරියකු වූ චතුරංග අබේසිංහ තම දේශපාලන ව්‍යාපාරය සමඟ ස්වේච්ඡාවෙන් වැඩ කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 75000 කට ආසන්න පිරිසක් සිටින බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
මෙයින් පැහැදිලි වන්නේ 2024 අවසන් වන විට මෙරට මැතිවරණ ක්‍රියාවලියෙහි තීරණාත්මක මෙවලමක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බවයි. අනෙක් අතින් මෙහි ප්‍රධාන අභියෝගය වන්නේ සාපේක්ෂව ව්‍යාජ පුවත් වැඩි වශයෙන් සංසරණය වන මාධ්‍ය මෙන්ම පාලනය හෝ නියාමනය හෝ වඩා දුෂ්කරම මාධ්‍ය වන්නේ ද සමාජ මාධ්‍ය වීමය.
2025 වර්ෂයේ මැයි 06 දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාලව සමාජ මාධ්‍ය හැසිරීම නිරීක්ෂණයෙහි නියැලී සිටින සමාජ මාධ්‍ය විශ්ලේෂකයකු වන දර්ශත ගමගේ පවසන පරිදි මැතිවරණය ප්‍රකාශයට පත්කර අවුරුදු සමය වන තෙක් කැපී පෙනෙන ගැටලුකාරී තත්ත්වයක් සමාජ මාධ්‍ය භාවිතයෙහි නොවූ නමුත් අවුරුදු සමයෙන් පසු ව්‍යාජ තොරතුරු සංසරණයෙහි ඉහළයාමක් දක්නට ඇති බවයි. ඩෑන් ප්‍රියසාද් ගේ මරණය හා පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට අදාලව මෙවැනි ප්‍රකාශ පළවූ අයුරු උදාහරණ ලෙස ඔහු දක්වයි.
නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරය (පැෆරල්) මෙහෙයවන සමාජ මාධ්‍ය නිරීක්ෂණ ක්‍රියාවලිය දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර, අප්‍රේල් 01 සිට මැයි 03 දක්වා ඔවුන්ගේ නිරීක්ෂණයට බඳුන් වූ වාර්තා ප්‍රමාණය 451 කි. එයින් වැඩි ප්‍රමාණයක් වෛරී කථනයන්ට අයත් වන අතර, ව්‍යාජ පුවත් වාර්තාකරණය ප්‍රමාණය 16 ක් බව පැෆරල් සංවිධානයේ සමාජ මාධ්‍ය සම්බන්ධීකාරක ගිහාන් වික්‍රමසිංහ පවසයි.
පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන පරිදි ඔවුන් හඳුනාගන්නා මෙම වාර්තා මැතිවරණ කොමිසමට යොමු කළ විට කොමිසම අදාළ සමාජ මාධ්‍ය ආයතන වෙත එම තොරතුරු වාර්තා කොට නිසි පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ක්‍රියාත්මක වීමේ ගැටලු ඇතත් තවදුරටත් පුළුල්ව හා ශක්තිමත්ව ක්‍රියාවට නැගිය හැකිනම් මෙය එක් විසඳුම් මාර්ගයක් බව පැහැදිලිය.
ව්‍යාජ තොරතුරු වසංගතයට විසදුමක් සෙවීමේ කෝණයෙන් බලන විට මෙම ක්‍රියාමාර්ගය පුළුල් විසදුමකට පලදායී ප්‍රවේශයක් සපයයි.ඊට හේතුව, ව්‍යාජ අන්තර්ගතයන් හදුනා ගන්නා ඕනෑම පුරවැසියකුට/ ග්‍රාහකයකුට එම ව්‍යාජය මැතිවරණ කොමිසම වෙත යොමු කරමින් මෙම උවදුරට විසදුම් සෙවීමේ පොදු ප්‍රයත්නය සමග එක්විය හැකි බැවිණි.
එවිට මැතිවරණ කොමිසම අදාළ සමාගම් වෙත යොමු කර එම ව්‍යාජ අන්තර්ගතයන් ඉවත් කිරීමට පියවර ගනු ලැබේ.
නීතිමය ප්‍රවේශයෙන්ද සමහර විසදුම් සෙවිය හැකිය. මාර්ග ගත ආරක්ෂාව පිළිබඳ පනත එහිලා එක් නිදසුනකි. එහෙත් එවැනි විසදුම් ප්‍රකාශනයේ නිදහසට අභියෝගයක් වීමේ අවදානම අවතක්සේරු නොකළ යුතුය.පුරවැසි සාක්ෂරතාව මතම මෙම ප්‍රශ්නයට විසදුම් සෙවීම වැදගත් වන්නේ එබැවිණි.
පුරවැසියා කේන්ද්‍ර කොට ගත් මෙවැනි විසදුම් හා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග විසදුමෙහි තිරසාර බවට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්මටද වඩා හිතකරය. එහිලා පුරවැසියන් අතර මාධ්‍යය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය කොන්දේසියකි.
කෙසේ වෙතත් දශක ගණනාවක් තිස්සේ විසඳුම් සොයා අරගල කරමින් සිටින මෙම ව්‍යාජ තොරතුරු භාවිතය පිළිබඳ සංකීර්ණ ගැටලුවට සරල විසඳුම් ලැබේ යැයි සිතීම ප්‍රායෝගික නැත. මෙම පසුබිම තුළ පෙනෙන්ට ඇති පරිදි අනාතගතය වඩා සංකීර්ණ වෙමින් ඇති බැවිනි.
“කෘතීම බුද්ධියෙහි සම්ප්‍රාප්තිය, ව්‍යාජ තොරතුරු භාවිතය සඳහා තටු ලැබීමක් බවට පත්වීමේ අවදානමක් ඇතැ”යි නව මාධ්‍ය ක්ෂේත්‍රයේ පුහුණුකරුවකු වන හරිත දහනායක පවසයි.
එහි සමාජ දේශපාලන අවධානම වඩා ප්‍රබල වන්නේ කෘතීම බුද්ධිය මගින් ප්‍රභවය ලබන අන්තර්ගතයන් නිවරද්‍ය අන්තර්ගතයන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීමේ දුෂ්කරතාවයකට සාමාන්‍ය පුරවැසියා මුහුණ දෙන බැවිනි. මේ අයුරින් ‘’ඊයේ” සිට ‘’අද” හරහා ‘’හෙට” දක්වා විකාශනය වෙමින් පවතින ව්‍යාජ පුවත් භාවිතය පිළිබඳ සංකීර්ණ ගැටලුවට සරල විසඳුම් නැති බව පැහැදිලිය.
රාජ්‍ය මැදිහත්වීමේ සිට, ස්වයං නියාමන යාන්ත්‍රණයන් හා සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත වැනි නව නීති මගින් මේ අභියෝගයට මුහුණ දීම දක්වා විවිධ උත්සාහයන් ගෙන ඇතත් තවම පැහැදිලි විසඳුමක් පෙනෙන්ට නැත.පෙර කියා ඇති පරිදි නව විසඳුම් සඳහා පුරවැසි කේන්ද්‍රීය නව කතිකාවක් සමාජය තුළ ගොඩනැගීම තවදුරටත් පමා නොකළ යුතුව ඇත්තේ එබැවිනි.