ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සං⁣ශෝධනය; කවදා කෙසේද ?

ජාතික ඡනබලවේගය ආණ්ඩු බලය ලබාගැනීම  සදහා ජනතාව හමුවේ තැබූ පොරොන්දු මාලාව තුළ තේමාත්මකව ප්‍රධාන

වූ පොරොන්දු අතරින් එකක් වූවේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා වූ යෝජනාවයි.  

යෝජිත සංශෝධන ක්‍රියාවලියෙහි ස්වභාවය පවා එම පොරොන්දුව මගින් ජාජබය ඉතා නිශ්චිතව පැහැදිලි කර තිබිණි. 

” නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  කෙටුම්පත් කරනු ලබන අතර එය මහ ජනතාව වෙත ඉදිරිපත් කර ‍, සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස් කම් සිදුකොට ජනමත විචාරණයක් ද සමග සම්මත කර ගනු ඇත.”

………………

NPP මැතිවරණ ප්‍රකාශය ‍, 4 -අභිමානවත් ජීවිතයක්-නොසැලෙන රටක්.

මෙමගින් ජාජබය තම යෝජිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියෙහි ගමන් මග පියවර තුනක් යටතේ සළකුණු කරයි;

1. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම

2. යෝජිත කෙටුම්පත මහජන සංවාදයට ඉදිරිපත් කිරීම

3. යෝජිත කෙටුම් පත සදහා ජනමත විචාරණයක් පැවැත්වීම

මෙහිදී ජාජබය යොජිත ව්‍යවස්ථා කෙටුම්පතෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් පවා යම් ඉගියක් ඉදිරිපත් කරයි. ඒ ජනමත විචාරණයක් පවත්වන බව සදහන් කිරීමෙනි.එමගින් පැහැදිලි වන්නේ ජාජබය‍, තම ආණ්ඩුවක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තව දුරටත් සුළු සංශෝධයන්ට සීමා නොකර‍,එය හරයාත්මකව මූලික වෙනසක් කිරීම සදහා  සූදානමින් සිටින බවයි.

එම වෙනසෙහි ස්වභාවය ⁣මැනවින් නිරූපනය කරන යම් කේන්ද්‍රීය සං⁣ශෝධන පිළිබඳ නිශ්චිත යෝජනා කිහිපයක් ද එම පොරොන්දු මාලාව තුළ අන්තර්ගත විය.

“විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම” ඒ අතරින් එක් ප්‍රධාන යෝජනාවක් විය.

එමෙන්ම “නව පාර්ලිමෙන්තු මැතිවරණ ක්‍රමයක් හදුන්වා දීම ” ද තවත් යෝජනාවක් විය.

මෙම යෝජනා ද ඇතුළුව සමස්ත ආණ්ඩුක්‍රම සංශෝධනයක් පිළිබඳ යෝජනාව දීර්ඝ කාලයක් තිස්සේ ලාංකේය සමාජයේ සංවාදයට බදුන් වූ මාතෘකාවක් ලෙස පවතින අතර දිගු කාලීන ඉල්ලීමක් ද පවතී. 

එම පසුබිම තුළ නවපාලනයක් බිහිවීමත් ‍, එම පාලනයෙහි ප්‍රතිපත්තිමය එකගතාවයත් හේතුවෙන් ආණ්ඩුක්‍රම සංශෝධනයක් පිළිබඳ නව අපේක්ෂාවක් සමාජයෙහි ගොඩනැගෙන අයුරු දක්නට ලැබිණි. සමාජයෙහි ඵම අපේක්ෂාවන් සංකේතවත් කරමින් පසුගිය පෙබරවාරි 04‍, නිදහස් දින ජනමාධ්‍ය අමතමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකිතාක් ඉක්මනින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ.

………..

ඉන් පසු අවස්ථාවන්හිදී ද උන් වහන්සේ එම මතය වෙනුවෙන් පෙනීසිට ඇත.

ආණ්ඩුව ද මෙතෙක් එම යෝජනාවෙන් බැහැර වන බවක් කිසි විටක ප්‍රකාශ කර නැති අතර‍, තම පාලන කාලය තුළ ස්ථිර වශයෙන්ම එය ක්‍රියාවට නගන බව අවස්ථා කිහිපයකදී ම ප්‍රකාශ කර ඇත.රූපවාහිනී විවාද වැඩ සටහනකට සහභාගි වෙමින් හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියේ ” නිශ්චිත කාල වකවානු ප්‍රකාශ කළ නොහැකි නමුත් ‍,මෙම වසර පහ තුළ නියත වශයෙන්ම තම ආණ්ඩුව මෙම ව්‍යවස්ථාව සංශෝධනය කරන බවයි.

………

ආණ්ඩුවේ ප්‍රකාශකයන් මෙම ප්‍රමාදයට හේතු  දක්වමින් කියා සිටින්නේ තම පාලනයෙහි ප්‍රමුඛතාවයන්ට අනුව ක්‍රියා කළ යුතුව ඇති  බැවින් මෙහිලා යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.ඉහත රූපවාහිනී සංවාදය තුළ දී ද හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා එම අදහස පළ කළ අතර වෙනත් අවස්ථාවක අග්‍රාමාත්‍ය  හරිනි අමරසූරිය ද එම අදහස වඩා නිශ්චිතව තහවුරු කළාය.

අග්‍රාමාත්‍යවරිය  එම ප්‍රකාශය කරන්නට යෙදුනේ පසුගිය දා පාර්ලිමෙන්තුවේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී  ශානක්‍යයන් රාසමානික්කම් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

“ජාජබ ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සිදුවන්නේ කවදා දැ”යි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ විට ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය වරිය  කියා සිටියේ මේ වන විට තම ආණ්ඩුවෙහි ප්‍රමුඛ අවධානය යොමු වී තිබෙන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමට බවත් ‍, ඒ අතර මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහිද අවධානය යොමුකිරීමට සිදුව ඇති අතර තව දුරටත් ඉදිරියේ පැවැත්වීමට නියයමිත පළාත්සභා මැතිවරණයෙන් පසු ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවලිය ඇරඹීමට පියවර ගන්නා බවයි.

මෙම ප්‍රකාශ මගින් පැහැදිලි වන්නේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සදහා තමන්ගේ එකගත්වයක් ආණ්ඩුව තුළ ඉදිරි ක්‍රියාමාර්ගයක් ලෙස ඇති නමුත්   ඒ සදහා නිශ්චිත සැලැස්මක් හෝ උපාය මාර්ගික වැඩ පිළිවෙලක් මේ දක්වා ආණ්ඩුව සතුව නැති බවයි.

විශේෂයෙන් ඊට අදාළ කමිටු හෝ ‍, අධ්‍යනයන් ඇතුළු කෙටුම්පත් සම්පාදනය හෝ මහජන අදහස් විමසීමේ ක්‍රමවේදයන් සැලසුම් කිරීමේ සූදානමක් ආණ්ඩුව පාර්ෂවයෙන් පෙනෙන්නට නැත.

එම පසුබිම තුළ මෙකී ව්‍යවස්ථා සං⁣ශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගැනීම සදහා මැදිහත් වීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් මෙරට සමාජ දේශපාලන භූමිය තුළ පැහැදිලිව දක්නට ලැබේ.