ඇමරිකානුවෝ එලෝන් මස්ක් ගේ භූමිකාව ගැන විමසිල්ලෙන් ;  “ලබැදියාවන් අතර ගැටුමක් තිබේද?” 

ලොව ධනවත්ම මිනිසා මෙන්ම ,අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල හවුල්කරුවෙක් ද වූ ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු පත්කළ රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ (DOGE) ප්‍රධානියාද වන එලොන් මස්ක් ට “ලබැඳියාවන් අතර ගැටුම” (Conflict of Interest) සම්බන්ධයෙන් එල්ල වන විවේචන කෙරෙහි ලෝකයේම අවධානය එල්ල වී ඇත. 

  ශ්‍රී ලංකාවට ද  එම පුවත බෙ⁣හෙවින් අදාළ  වන්නේ “ලබැඳියාවන් අතර ගැටුම” මෙරට තුළද මෑතකදී කතාබහට ලක්වුනු මාතෘකාවක් බවට ⁣පත්ව ඇති බැවිණි.  රජයේ ඉහළ තනතුරු හොබවන පුද්ගලයින් එම තනතුරුවලට පත් කෙරෙන්නේ ස්වේච්ඡාවෙන් සේවය කිරීමට බව පැවසෙන අතර  බොහෝ විට එවැනි ඉහළ තනතුරු වලට පත් කරනු ලබන පුද්ගලයන් පෞද්ගලික අංශයේ හෝ ස්වකීය ව්‍යාපාරවල  යෙදෙන අතර ස්වේච්ඡා කාර්යය ඉටු ඉටුකිරීම සාමාන්‍ය දෙයක් ලෙස සැලකෙයි. 

රජය සමග ගනුදෙනු කරන පෞද්ගලික ආයතනවල නිලධාරීන් මෙවැනි තනතුරකට පත්වුවහොත්‍, ඔවුන් නියෝජනය කරන්නේ කුමන පැත්තද යන්න මෙහිලා මතුවන ගැටළුවයි. එමෙන්ම රජය සතු  රහස්‍ය තොරතුරු පෞද්ගලික අංශයට ලැබීම මගින් මෙහි දී යම් පාර්ශ්වයකට වාසියක් සහ වෙළඳපොළ තුළ යම් අසමානතා ඇතිවීමට තුඩු දිය හැකියි. නිදසුනක් ලෙස බදු ප්‍රතිපත්තිය පිළිබඳ තොරතුරු එය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට පෙර යම්කිසි පෞද්ගලික අංශයේ පුද්ගලයන්ට ලැබුණහොත් එය බරපතල ගැටළුවක් විය හැකියි.  මේ පිළිබඳව මෑතකදී පාර්ලිමේන්තුවේ පවා සාකච්ඡාවක් ඇති වුණේ එබැවිනි.

ආණ්ඩුකරණය පිළිබඳව අයිඑම්එෆ් ආයතනය විසින් ිදුකළ සමාලෝචනයේදී ද ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ලබැදියාවන් අතර ගැටුම සම්බන්ධයෙන් නිශ්චිත නීති නොමැති බව පෙන්වා දී තිබෙන බව මෙහිදී සැලකිල්ලට ගතයුතු කරුණකි. ඒ කෙසේ වෙතත්‍, ශ්‍රී ලංකාව බොහෝ විට අනුගමනය කරන්නේ රජයේ නිලධාරීන් ලබැඳියාවන් අතර ගැටුම් පවත්වා නොගත යුතු බවට වන මග පෙන්වීම්ය.

රාජ්‍ය සේවයට අදාල ආයතන සංග්‍රහයේ XLVII සහ XXIX පරිච්ඡේද මගිනුත්,  දූෂණ විරෝධී පනත මගිනුත් මෙම මාර්ගෝපදේශ සපයා දී ඇත. 

කෙසේ වුවත්  ඉහළ තනතුරු දරන නිලධාරීන් පත්කිරීමේදී ඊට අදාළ  ලබැඳියාවන් අතර ගැටුම් ආවරණය කෙරෙන රාමුවක අවශ්‍යතාව මෙහිදී මතුවෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය තුළ එලෝන් මස්ක් අරභයා ඇමරිකාවේ මතු වී තිබෙන සංවාදය මේ මොහොතේ ලංකාවට වැදගත් වන්නේ ඒ සන්දර්භය තුළය.

එම සංවාදය පැන නැගුනේ එලෝන් මස්ක් ට අයත් සමාගමක් හා ⁣ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරය අතර ඇතිවූ බව කියන ගනුදෙනුවක් පදනම් කරගෙනය. එහි පසුබිම මෙසේය. 

මැතිවරණ ව්‍යාපාරයට අදාළ නීති මධ්‍යස්ථානය පසුගියදා එරට ඉන්ස්පෙක්ටර් ජෙනරාල් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මස්ක්ට අයත් Starlink සමාගම සහ ෆෙඩරල් ගුවන්සේවා පාලනාධිකාරය (FAA) අතර ඇතිව තිබෙන ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට ඉල්ලා සිටියේය.පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ , මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මස්ක් ගේ බලපෑමක් ,සම්බන්ධයක් තිබේද යන්න සහ ෆෙඩරල් නීති උල්ලංඝනයක් සිදුව තිබේදැයි සොයා බලා විමර්ශනයක් කරන ලෙසටය. අමෙරිකා නීතියට අනුව කිසිදු රජයේ නිලධාරියෙකුට මෙන්ම එම කලත්‍රයනට(මස්ක් ද අයත් වන විශේෂිත රජයේ නිලධාරින් ද ඇතුළුව) මෙවැනි ගනුදෙනු වලට එළැඹීම වළක්වා තිබේ.කවුරුන් හෝ මුල්‍ය අභිලාෂයකින් යුතුව එවැනි වරදක් කර තිබේනම්,අධිකරණය මඟින් පස් අවුරුදු සිරදඩුවම් නියම කළ හැකි අතර ඇ.ඩො.50000 දඩමුදලක් ද නියම කළ හැකිය. Starlink සහ IAA අතර මෙම එකඟතාව ගුවන් ගමන් පාලක පද්ධතිය වැඩිදියුණු කිරීමට අදාළය. වොෂින්ටන් පෝස්ට් වාර්තා කළ පරිදි, ඇ.ඩො බිලියන 2.4 ක මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් FAA හා Verizon සමාගම අතර එකඟතාවක් තිබී ඇති අතර එම කොන්ත්‍රාත්තුව වෙනුවට Starlink සමඟ නව කොන්ත්‍රාත්තුවකට එළැඹී ඇත.අමෙරිකා ප්‍රවාහන ලේකම් සීන් ඩෆ් ද FAA පද්ධතිය ඉහළ නැංවීමේ කාර්යයේ දී Starlink සම්බන්ධය පිළිගෙන තිබිණි. මෙම පැමිණිල්ල විභාග කිරීමේ දී , අදාළ ගනුදෙනුවට මස්ක් පුද්ගලිකවම සම්බන්ධ වී තිබේදැයි සොයා බලනු ඇත.යම් හෙයකින් එවැන්නක් සිදුව තිබුණහොත් එය නීතිය උල්ලංඝනය කිරීමකි. “ලබැඳියාවන් අතර ගැටුම ” සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ මෙම පැමිණිල්ල ඉදිරිපත් වීමට පෙර ට්‍රම්ප් පාලනය මෙන්ම මස්ක් ද එතරම් අවධානයක් යොමු නොකළ බවක් පෙනිණි.ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලින් ලෙවිට් මේ ගැන පැවසුවේ, යම් හෙයකින් එලොන් මස්ක් DOGE අරමුදල් සම්බන්ධයෙන් හෝ කොන්ත්‍රාත් අරබයා ” ලබැඳියාවන් අතර ගැටුම” යන කාරණයට මැදිවුවහොත් ඒ පිළිබඳ හේතු කාරණා මස්ක් විසින්ම ඉදිරිපත් කරනු ඇති බවය. මේ කාරණය මතු කෙරෙන්නේ මහජනයාට සිය බදු මුදල් වැය වන ආකාරය දැනගැනීමේ අයිතියක් ඇති බව හා එම මුදල් පොදු යහපත උදෙසා මිස රජයේ නිලධාරින්ගේ මූල්‍යමය අභිවෘද්ධිය වෙනුවෙන් භාවිත නොවිය යුතුය යන පදනමිනි. ඉන්ස්පෙක්ටර් ජෙනරාල් විසින් මේ ගැන විමර්ශනයක් කරන තුරු වරදක් සිදුව ඇතිදැයි නිගමනය කළ නොහැකිය.එවැන්නක් සිදුව තිබේ නම් දඬුවම් කිරීමේ බලයක් ඔහුට නැති අතර එය අධිකරණයට අයත් කාර්යයකි. ලබැඳියාවන් අතර ගැටුම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හා විවේචන ගැන මස්ක් මීට පෙර ප්‍රතිචාර දක්වා තිබුණේ රජයේ කාර්යයන් හා සිය සමාගම් අතර ගනුදෙනු විනිවිද භාවයෙන් යුතුව සිදුවන බවය.ට්‍රම්ප් ජනාධිපති වරයා බලයට පත්වීමටත් පෙර පටන්ම එවැනි ගනුදෙනු සිදුවෙමින් තිබේ.SpaceX සමඟ ඒවායේ වටිනාකම ඇ.ඩො. බිලියන ගණනකි.මස්ක් 2009 දී කැලිෆෝර්නියාවේ පළමු කම්හල මිලදී ගත්තේ ද Tesla සමාගමට ලබාදුන් ණය මුදලකිනි. ලබැඳියාවන් අතර ගැටුම අරබයා මාධ්‍යවේදීන් කළ විමසීම් වලට මස්ක් ප්‍රතිචාර දැක්වූයේ, එවැනි ගැටුමක් ඇතැයි පෙනෙන්නේ නම් ජනතාව එය පෙන්වා දීමට නොපැකිළෙනු ඇති බව පවසමිනි.මේ කොන්ත්‍රාත් වලට එළැඹ ඇත්තේ තමා නොව එම සමාගම් වල නිලධාරින් බවද ඔහු පවසා තිබිණි.එමෙන්ම ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා ඇත්තේ අමෙරිකානුවන්ගේ බදු මුදල් වලට වටිනාකමක් නොලැබෙන අන්දමේ කවර හෝ කොන්ත්‍රාත්තුවක් SpaceX සමාගම (Starlink මව් සමාගම) වෙත ප්‍රදානය කර ඇතිනම් ඒ ගැන තමා දැනුම්වත් කරන ලෙසටය.එසේ වී ඇතිනම් කවරෙක් වුවද ඒ ගැන දැනගැනීමට කැමතිවනු ඇතැයි ඔහු පවසා තිබිණි. එලොන් මස්ක් , දරණ තනතුර අයත් වන්නේ “විශේෂිත රජයේ සේවක” ගණයටය.ඊට අයත් වන්නේ සීමිත පදනමකින් ෆෙඩරල් ආණ්ඩුවට සේවය කරන තැනැත්තන්ය.ෆෙඩරල් නීතියට අනුව ඔවුන් වැටුප් ලබන හෝ නොලබන අය වේ.ඒ කවර පදනමින් වුවද ඔවුන්ට වසරේ දින 365 න් දින 130 ක උපරිමයට යටත්ව සිය සේවය ලබා දිය හැකිය. 

FORBES ඇසුරිනි.

https://www.forbes.com/sites/alisondurkee/2025/03/13/elon-musk-hit-with-first-formal-conflict-of-interest-complaint-over-faa-starlink-deal

https://www.forbes.com/sites/saradorn/2025/02/28/musk-reportedly-planning-new-starlink-deal-with-faa-raising-new-conflict-of-interest-concerns

සටහන පළමු සබැදිය ඇසුරෙනි.