2025 අයවැය පිළිබඳව වන් ටෙක්ස්ට් ඉනිෂියේටිව් (One-Text Initiative) සංවාදය සාර්ථකව නිමාවෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය සහ ඉදිරි අභියෝග පිළිබඳව අන්තර් පක්ෂ අතර සාර්ථක අදහස් හුවමාරුවක් !

පෙබරවාරි 27, 2025

2025 අයවැය පිළිබඳව ඉහල මට්ටමේ අන්තර් පක්ෂ සාකච්ඡාවක් පෙබරවාරි 27 (ඊයේ දින) පිටකෝට්ටේ සොලිස් හෝටලයේදී පැවැත්විය. ආර්ථික විශේෂඥයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඒ සඳහා සහභාගි වන ලදී. මෙම සාකච්ඡාව, වන් ටෙක්ස්ට් ඉනිෂියේටිව් (One-Text Initiative) ආයතනය මඟින් සංවිධානය කරන ලද  අතර, එහිදී ආර්ථික අසමානතා, බදු සංශෝධන, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී.

අයවැය ප්‍රතිපත්තිවල පරස්පරතා

මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ විසින් අයවැය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ලබාදීමට කටයුතු කල අතර මෙම අයවැය ලිබරල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ සුභාසාධනවාදී ක්ෂුද්‍ර ආර්ථික ප්‍රතිපත්ති අතර සම්මිශ්‍රණයක් බව පෙන්වා දෙන ලදී. එමෙන්ම දේපල බදු අහෝසි කිරීම පිළිබඳව ද මෙහිදී අවධනය යොමුකරන ලද අතර රටේ ධනවත්ම 20% විසින් යවන් 47% ක් පාලනය කිරීම පිළිබඳව ද පෙන්වා දෙන ලදී. මහචාර්ය තුමන් පෙන්වා දුන් පරිදි;

IMF එකඟතා අනුව රජය විසින් පවත්වාගෙන යායුතු ආර්ථික ප්‍රමිති වනුයේ වන නමුත්  IMF ප්‍රමිති අනුව පවත්වාගත යුතු සමස්ත අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5.2% ක අගයක් වුව ද මෙවර අයවැය මගින් රජය 6.7%ක අයවැය හිඟයක් පුරෝකථනය කර ඇත. නමුත් රජය විසින් 5% ක ආර්ථික වර්ධනය, අඩු උද්ධමනය සහ ප්‍රථමික ගිණුමේ හිඟය 2% පමණ මට්ටමක පවත්වා ගැනීම අපේක්ෂා කරන බව ද දක්වා ඇත. එහෙත් රජය බලාපොරොත්තු වන ආදායම් ලබාගැනීමට හැකියාව ලැබේද යන්න සැක සහිතය. විශේෂයෙන් වාහන ආනයනය තුළින් අපේක්ෂිත ආදායම ලබාගැනීමට හැකියාව ලැබේවිද යන්න සැක සහිතය. එවන් පසුබිමක රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම මගින් රජයේ වියදම් ද විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.

උතුර සහ නැගෙනහිර ආර්ථික අසමතා

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පෙන්වාදුන්නේ උතුරු නැගෙනහිර ජනතාව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට ආර්ථික වශයෙන් පසුබැස ඇති බවයි. එමෙන්ම ඩිජිටල් ආර්ථික කටයුතු වලින් යාන්තම් උතුරු නැගෙනහිර තරුණ ප්‍රජාව ආදායම් උපයමින් ආර්ථික වශයෙන් ඉහල එන්නට උත්සහ දරන සංක්‍රාන්ති සමයක සිටින මොහොතක රජය හඳුන්වාදුන් විදේශ ඉපයීම් මත බදු නිසා රටට ඩොලර් අදායම් උපයන උතුරු නැගෙනහිර තරුණ ප්‍රජාවට විශාල බලපෑමක් වන බව යි.

රාජ්‍ය අංශ සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය

මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක විසින් රාජ්‍ය අංශ ප්‍රතිසංවිධානයේ අවශ්‍යතාවය අවධානයට ගැනිමින්, 1,200 කට අධික රාජ්‍ය ආයතනවල ධාරිතා අඩු කිරීමක් අවශ්‍ය බව සඳහන් කළේය. එමෙන්ම කිසිඳු සැලැස්මක් නොමැතිව රජය ශ්‍රීලන්කන් ගුවන් සේවාවට LKR 20 බිලියනයක් වෙන්කිරීම විවේචනයට ලක්විය.

වැටුප් සහ රාජ්‍ය සේවකයින් පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වය

වෘත්තීය සමිති නියෝජිත තාමරා දයානි විසින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේවිෂමතාවයන් සහ වැටුප් විෂමතාවයන් දිගින් දිගටම නඩත්තු කිරීම නිසා රාජ්‍ය සේවය මත අනවශ්‍ය පීඩනයක් මෙම අයවැය මගින් ද නිර්මාණය කර ඇති බව පෙන්වා දෙන ලදී.  

මුදල් ප්‍රතිපත්ති සහ දිගු කාලීන සංවර්ධන සැලසුම්

එමෙන්ම හිටපු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා විසින් රටේ වත්මන් ණය ප්‍රතිපත්ති පිළිබඳව විවේචනයක් සිදුකරන ලද අතර 2028 වන විට ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීමට ප්‍රමාණවත් සැලසුම් රජය අයවැය තුළින් සපයා ඇතිදැයි දැඩිව විමසා බැලිය යුතු බවද අවධාරණය කරන ලදී.

අනාගතය පිළිබඳ දැක්ම

පුනරුදය සඳහා පෙරමග දැක්මක් ලෙස ජාතික ජනබලවේග රජය විසින් ඉදිරිපත් කරන ලද මංගල අයවැය මගින් යහපත් ප්‍රවණතා මෙන්ම විශාල ප්‍රතිපත්තිමය පරස්පරතා ද නිරූපණය වන බව සාකච්ඡාවේදී අවධාරනය වූ පොදු අදහස වූ අතර එම අභියෝග ජයගැනීම සඳහා ප්‍රතිපත්තිමය සහයෝගීතාවයන් මත ඉදිරියට යන සකච්ඡාමය ප්‍රවේශයන් දිරිගැන්විය යුතු බව ද රජය පාර්ශශාවයෙන් ද එවන් ප්‍රතිපත්තිමය සාකච්ඡා සඳහා දිරිගැන්වීම් සහ එකඟතා මත ප්‍රතිපත්තිමය කරුණු පිළිබද අභියෝග ජයගැනීමට කටයුතු කලයුතු බව ද අවධාරණය විය.