අයාලේ යන දකුණේ  වෙරළ බඩ සංචාරක ආර්ථිකයට නියාමනයක් ඕනෑ. 

දකුණු දිග වෙරළ තීරයෙහි සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෙමින් නොයෙකුත් ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින විදේශිකයන් ගේ බලපෑම් හේතුවෙන් එම කළාපයෙහි සංචාරක කර්මාන්තයට මෙන්ම විශේෂයෙන් ඒ හා සම්බන්ධ දේශීය ආර්ථිකයට අහිතකර බලපෑම් රැසක් එල්ල වෙමින් ඇති බව පසුගිය දා රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභා රැස්වීමේදී අනාවරණය විය. 

 වැඩි වශයෙන් මෙම බලපෑමට යටත්ව තිබෙන්නේ දකුණු දිග වෙරළ තීරයෙහි වැලිගම ‍, මිරිස්ස ‍, අහංගම ‍, හික්කඩුව සහ දික්වැල්ල වැනි ප්‍රදේශ වන අතර සංචාරක වීසා මත ලංකාවට පැමිණෙන විදේශිකයන් මෙම ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින බව වාර්තා වේ. 

මෙවැනි අනවසර ව්‍යාපාරිකයන් අතර බහුලව සිටින්නේ යු⁣⁣ෙක්‍ර්න හා රුසියානු ඡාතිකයන්ය. බදු හා කුලී පදනමින් නිවාස හා දේපල ලබා ගන්නා මෙම විදේශික අනවසර ව්‍යාපාරිකයන් එම දේපල යොදා ගනිමින් ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටිති.ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් සිදුවන මෙම ආර්ථික අවභාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි වන විදේශ විනිමය ආදායම හැරුණු විට මෙම සංචාරක කළාපයෙහි ව්‍යාපාරිකයන් අතර සාමය කඩවූ අවස්ථා ගණනාවක් ද වාර්තා වී ඇත. 

        පසුගිය ජනවාරි මස අවසානයේ පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභා රැස්වීමේදී ද සංචාරක ක්ෂෙත්‍රයේ සිදුවන මෙම ආර්ථික හා මූල්‍ය අවභාවිතයන් පිළිබද විශේෂ අවධානයක් යොමු විය. එහිදී මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා අදහස් දක්වමින් මෙවැනි අවභාවිතයත් පිළිබඳ තොරතුරු රැසක් ලැබී ඇති අතර තමන් ද එවැනි සිදුවීම් කිහිපයක් නිරීක්ෂණය කර ඇතැයි පැවසීය. එබැවින් මේ පිළිබඳ යම් විධිමත් අධීක්ෂණයක් සිදුවන්නේ දැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් පී වීරසිංහ ගෙන් සභාපති වරයා විමසූ විට මහ බැංකු අධිපති වරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගත යුතුව ඇත්තේ ආගමන හා විගමන පනත යටතේ බවයි. 

             වැලිගම හා මිරිස්ස ප්‍රදේශයේ පමණක් මේ අකාරයෙන් විදේශිකයන් විසින පවත්වාගෙන යනු ලබන අවන්හල් දහයක් පමණ තමා නිරීක්ෂණය කළ බව කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා මෙහිදී කියා සිටියේය. ⁠” විදේශිකයන් ලංකාවේ ව්‍යාපාර කිරීම පිළිබද මගේ කිසිම විරෝධයක් නැහැ. ඒත් එය රටේ ආර්ථිකයට හාණියක් නොවන ලෙස හා පවතින නීතිමය රාමුවට එකගව සිදුවිය යුතුයි.” සභාපති වරයා එසේ අවධාරණය කළ නමුත් ප්‍රායෝගිකව මේ ක්‍රියා දාමයන් නියාමනය කරන ක්‍රමවේදයක් සක්‍රීයව පවතින බවක් ⁣පෙනෙන්නට නැත.