කළු ජනවාරියක මතක සටහන්

තවත් ජනවාරියක් නිමා වී ඇත. එක්තරා අර්ථයකින් එය ‘කළුජනවාරිය’කි. ජනවාරිය එසේ කළු වූවේ මෙරට ඡනමාධ්‍ය වේදීන් ගේ සිරුරෙන් ගලාගොස් ඝන වූ රුධිරයෙනි.

තම වෘත්තිමය කටයුතු හේතුවෙන් ඝාතනයට හා මර්ධනයට ලක් වු ජනමාධ්‍ය වේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලපෑම් කරමින් 2012 වසරේ සිට මේ දක්වා මෙරට ජනමාධ්‍ය සමාජය දිගුකාලීන බලපෑම්කරණ වැඩසටහනක නිරතව සිටී.

කළුජනවාරිය යන සංකේතීය නාමයෙන් හැදින්වෙන්නේ ඒ බලපෑම්කරණයයි. ඒ බලපෑම්කරණයට ජනවාරිය සම්බන්ධ වන්නේ ඉහත කී මර්ධන දාමය තුළ වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදුවූවේ ජනවාරි මාසය තුළ නිසාය.

විශේෂයෙන් යුධ පසුබිමක සිදු වූ එම අපරාධ මාලාවෙහි ජනවාරිය තුළ හදුනා ගත හැකි පළමු අපරාධය වන්නේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ සුගීර්තරාජන් මාධ්‍යවේදියා ඝාතනය කිරීමය. මෙම ජනවාරිය ගෙවීයන්නේ එම අපරාධයෙහි 19 වැනි වසර සළකුණු කරමිනි. ඔහු ඝාතනය කෙරුණේ 2006 වසරේ ජනවාරි 24 වැනිදාය.

ඒ නිමිත්තෙන් මෙරට ජනමාධ්‍ය සමාජය නියෝජනය කරන සංවිධාන හා ක්‍රියාකාරිකයන් රැසක් පසුගිය 24 වැනි දා ත්‍රිකුණාමලය ඕෂිල් පාර්ක් හි රැස්ව 19 වසරකට පෙර ඝාතනය වූ තම සගයා අනුස්මරණය කිරීමේ වැඩසටහනක නිරත වූහ.

මෙම ඡායාරූප පෙළ මගින් දැක්වෙන්නේ ජනවාරි 24 වැනි දා ත්‍රිකුණාමලය ඕෂිල් පාර්ක් හි පැවති එම අනුස්මරණ වැඩසටහනෙහි අවස්ථා කිහිපයකි. වැඩසටහන අවසානයේ රැස්ව සිටි පිරිස ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස බලකෙරෙන පෙත්සමක් නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙත භාරදීම සදහා නැගෙනහිර පළාත් ලේකම් කාර්යාලය වෙත පා ගමනක ද නිරත වූහ.

ජනවාරි අවසාන දින කිහිපය තුළ කොළඹ ආශ්‍රිතව කළු ජනවාරි සැමරුම් කිහිපයක්ම ජනමාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරිකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි