ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්ව, ගතවී ඇති කෙටි කාලය තුළ නොසිතූ වේගයකින් ආණ්ඩුව පිළිබද ජනතාව අතර අතෘප්තියක් වර්ධනය වී ඇති බවට මතයක් ආණ්ඩු හිතවාදීන් තුළ පවා ගොඩ නැගී ඇති අතර ඒ පිළිබඳ සංවාදයක් ද ඇරඹී ඇත. පසුගිය දිනක VAPA රූපවාහිනී නාලිකාවේ ‘අර්ථ’ වැඩසටහනට සහභාගි වෙමින් ආණ්ඩු හිතවාදියකු ද වන ප්‍රකට විචාරකයකු සහ ලේඛකයකු වන විදර්ශන කන්නංගර කියා සිටියේ “නව පාලකයන් වේගයෙන් ජනතා අප්‍රසාදයට ලක්වීම මේ යුගයෙහි ජනමානසිකත්වයේ එක්තරා තර්කනයක් බවයි.” මෙය ලංකාවට සීමා වූ තත්වයක් නොවන අතර ලොව බොහෝ රටවල නව පාලකයන් වේගයෙන් පහළ වන පරිදිම, එසේ පහළවන පාලකයන් වේගයෙන් අප්‍රසාදයට පත් වන බවද ඔහු කියා සිටියේය. වැඩිදුරටත් ඔහු මෙම තත්ත්වය පශ්චාත් නූතන තත්වයක් ලෙස ද හැදින්වූවේය. එම පසුබිම තුළ වත්මන් ජනමනසේ එක්තරා තර්කණයක් වන මෙම මනෝභාවය අවතක්සේරුවට බදුන් නොකළ යුතු අතර ගැඹුරින් වටහා ගත යුතුව ඇතැයි එහිදී ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත් මේ ස්වභාවය තේරුම් ගැනීම පවතින තාර්කික භාෂාවෙන්ම කළ නොහැකි අතර ඒ සදහා නව දැනුමක් හා නව කියැවීමක් අවශ්‍ය බව ද ඔහු පවසයි. වැඩිදුරටත් ඔහු මෙම තත්වය හැදින්වූවේ පශ්චාත් නූතන තත්වයක් වශයෙනි.
පවතින මාලිමා ආණ්ඩුව සම්බන්ධයෙන් ද සංකල්පීයව එම විග්‍රහය එසේ අදාළ කර ගත හැකිවන නමුත් ඉන් ඔබ්බට ගිය ප්‍රායෝගික ගැටලු කිහිපයක්ද මෙහිදී විශේෂකොට හදුනා ගත හැකිය. එනම් විශාල බලාපොරොත්තු තබමින් සහ ජනප්‍රියවාදී ප්‍රවේශයකින් ආණ්ඩුව ආරම්භ කළ නොයෙකුත් ව්‍යාපෘති සියල්ලම පාහේ දිගින් දිගටම අසාර්ථකත්වයට පත්වීමයි. ඒ අතරින් වඩාත් බලපෑම් සහගත වූවේ සහල් මිළ පාලනය කිරීමේ අසාර්ථක උත්සාහය වුවද ඊට සමගාමීව දියත් කළ අනෙක් ව්‍යාපෘති සියල්ල පාහේ ද එසේ බිද වැටී ඇත.
උදාහරණයක් ලෙස , අනුර කුමාර දිසානායක ඡනාධිපතිවරයා බොහෝ බලාපොරොත්තු දනවමින් හා උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සමාජ ගතවුණේ ත්‍රීරෝද රථ වල හා බස් රථ වල අලංකරණයන් ඉවත් කිරීමේ වැඩ සටහනකට ලඝු වෙමින්ය. එමගින් ජනිත වූ ප්‍රතිචාරය ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මතු නොව, සමස්ත මාලිමා ආණ්ඩුකරණ ව්‍යාපෘතියටම අහිතකර ලෙස බල පා ඇත. ඉන් ඔබ්බට ගිය අරමුණක් සහ යම් සැලසුම් ආණ්ඩුවට තිබුණු බව ඔවුන් ගේ ප්‍රකාශ මගින් කියැවී ඇති නමුත් මේ දක්වා ඒ පණිවිඩය සමාජයෙහි අවධානයට ලක් වූ බවක් පෙනෙන්නට නැත. තත්ත්වය වඩා බරපතල වූවේ විපක්ෂය නියෝජනය කරමින් අදහස් දැක්වූ චාමර දසනායක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයා මෙම වැඩ සටහනෙහි ආරම්භක උත්සවය පිළිබඳ පාර්ලිමෙන්තුව හමුවේ ඉදිරිපත් කළ විවේචනාත්මක අදහස් නිසාය. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙහි තේමා ගීතය නිර්මාණය හා ගායනයත් , වෙබ් අඩවිය නිර්මාණය කිරීම සහ අනෙකුත් උත්සව කටයුතු සදහාත් මාලිමා ආණ්ඩුව කර ඇතැයි කියන වියදම් පිළිබඳ චාමර දසනායක මන්ත්‍රී වරයා මීට පෙර ජවිපෙ විපක්ෂයේ සිටියදී කළ ආකාරයේ විවේචනාත්මක කතාවක් කළේය. “එම උත්සවයේ ගීත ගායනයට ලක්ෂ දෙකක්, ගීත නිර්මාණය කිරීම සඳහා ලක්ෂ අටක්, නිරූපිකාවන් සඳහා රුපියල් 15000 ක් බැගින්, වෙබ් අඩවියට ලක්ෂ විසි එකක් ඇතුළුව ලක්ෂ හැත්තෑවක් වැය කර ඇතැ” යි එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේය. එහෙත් ආණ්ඩුව චාමර දසානායක මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් තමන් ඒ සදහා වැය කර ඇත්තේ රුපියල් ලක්ෂ නවයක් පමණකැයි පැහැදිලි කළ විට ප්‍රතිචාරය වූවේ සෙසු මුදල් සදහා අනුමැතිය ලැබී නැති බව ය.
මෙම විවාදය තුළ ඉදිරිපත් වන කරුණු වල තර්කානුකූලභාවය කෙසේ වෙතත් එමගින් ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවයට සිදුවන හාණිය සුළුපටු නැත. ආණ්ඩුව තමන්ගේ සම්ප්‍රදායානුකූල උත්සව සභාවකින් ජයමංගල ගාථා පවා ඉවත් කරමින් තම චාම් බව හා වියදම් අවම කිරීම පිළිබඳ සංකල්පය පිළිබිඹු කිරීමට උත්සාහ දරද්දී මෙවැනි චෝදනා එල්ල වන විට එය ජවිපෙ මෙතෙක් ගොඩ නගාගෙන ආ ප්‍රතිරූපයට තියුණු අභියෝගයකි. සමාජ මාධ්‍යයෙහි ප්‍රතිචාර මගින් එම අභියෝගයෙහි බරපතල කම පිළිබිඹු වෙමින් ඇත. ඒ කෙසේ වෙතත් , අවසානයේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යම් ධනාත්මක අපේක්ෂාවක් මේ මොහොතේ සමාජගත කිරීමට මාලිමා පාලනය අරමුණු කළේ නම් මේ වන විට ඒ අරමුණු සැලකිය යුතු ප්‍රමාණයකින් බිදවැටී ඇත. ආණ්ඩුව පැත්තෙන් බලන විට එය තවත් එක් සැලසුමක බිදවැටීමක් පමණක් නොවේ. දැනටමත් ආණ්ඩුව තවත් මෙවැනි විධිමත් හෝ අවිධිමත් යෝජනා ගණනාවක් ඉදිරිපත් කොට සමාජය ඉදිරියේ අර්බුදයට හා අවමානයට ලක් වී ඇත. ගොවීන් ගේ අස්වනු හාණියට විසදුමක් ලෙස රිලවුන් ඝාතනය පිළිබද වූ යෝජනාව ඉන් එකක් වූ අතර අලි එළවීමේ යොජනාව ද මේ වන විට නතර වී තිබෙන්නේ ඊටත් වඩා ඛේදවාචයකිනි. ඒ අර්බුද එසේම තිබියදී රාජ්‍යසේවයේ අර්බුදය පිළිබඳ එවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කළේය. පවතින රාජ්‍ය සේවයේ අර්බුද රැසක් ඇතත් ඒ අරභයා ලාල් කාන්ත අමාත්‍යවරයා කළ ප්‍රකාශය ගැටුම්කාරී ප්‍රකාශයක් මිස එහි කිසිදු විසදුම් ප්‍රවේශයක් නොවීය. යුද ප්‍රකාශ කිරීමක් මිස කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් ද නොවීය.සමාජ යහපතට හේතු වන පොදු ප්‍රතිඵලයකින් තොරව ,ගොවීන් , පරිසරවේදීන්, ත්‍රිරෝද සහ බස් රථ රියැදුරන් ,හැරුණු විට රාජ්‍ය සේවකයන් ඇතුළු විශාල ප්‍රජාවක් අතර අපකීර්තියට ලක්වීම පමණක් සිදු වී ඇත.
එම පසුබිම යටතේ විදර්ශන කන්නංගර ඉහත පවසන පශ්චාත් නූතන ජනමානසිකත්වයේ තර්කණය කෙසේ වෙතත් නව පාලනය කෙරෙහි ජන අප්‍රසාදය වර්ධනය වීමට හේතුවන සාධක ගණනාවක් බිහිවී ඇත. මෙය කිසිසේත් , නිරෝගී ආණ්ඩුකරණයක් සදහා සුබදායක තත්වයක් වන්නේ නැත.සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ සමග රටක් ඉදිරියට ගෙන යාම සදහා පොදුජන විශ්වාසය අත්‍යවශ්‍ය සාධකයකි. එබැවින් ආණ්ඩුව ස්වයංවිවේචනාත්මකව මෙතෙක් ආ ගමන දෙස ආපසු හැරී බලා අඩුපාඩු නිවැරදි කරගනිමින් අනාගතය සැලසුම් කළ යුතුව ඇත. විශේෂයෙන් පටු දේශපාලන අවශ්‍යතා මත නොව, සමාජ සංවර්ධන ප්‍රමුඛතා මත පදනම්ව ක්‍රියාත්මක වීමේ වැදගත්කම නව පාලනයේ අවධානයට ලක් විය යුතුය.
මෙහිදී මූලික වශයෙන් දිගු කාලීන ආර්ථික සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැංවීම හා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගැනීම ප්‍රමුඛ වනු ඇත. ජනප්‍රසාදයෙන් පිරිහුණු ආණ්ඩුවකට එවැනි පුළුල් ප්‍රතිසංස්කරණ සදහා අතගැසීම පහසු නොවනු ඇත.එහෙත් නව ආණ්ඩුව තවම සිටින්නේ එතරම් පිරිහුණු තැනක නොවේ. තවමත් එවැනි ක්‍රියාවලියක් ජන අනුමැතියෙන් ආරම්භ කළ හැකි පහසු තැනකය. එබැවින් ඒ පුළුල් ප්‍රතිසංස්කරණ අරඹීම සදහා මේ ආණ්ඩුව තව දුරටත් කල් නොමැරිය යුතුය. තිරසාර සුහවාදී අනාගතයකට මග පාදමින් මොන යම් හෝ ආණ්ඩුවකට හරයාත්මක ජනප්‍රසාදයක් දිනා ගැනීමට හැකිවන්නේ එබදු පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් පමණක් බව වටහා ගැනීමට නව පාලනය තව දුරටත් කල් නොගත යුතුය.