රිළා ත‍්‍රස්තවාදයෙන් යටපත් කෙරෙන ගැමි කෘෂිකර්මයේ අර්බුදය

පොල් හා සහල් අර්බුදය උග‍්‍රවීමත් සමග, අවසානයේ දී එය රිළවුන් ඇතුළු වන සතුන් මත පැටවීමේ උත්සාහයක් දක්නට ලැබේ. එම උත්සාහයෙහි කේන්ද්‍රීය ප‍්‍රකාශය, ලාල් කාන්ත අමාත්‍යවරයා කළ “රිළා ත‍්‍රස්තවාදය” පිළිබඳ ප‍්‍රකාශය ලෙස සැලකිය හැකිය.

අලූත් ආණ්ඩුවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා වන ඔහු මෙම ප‍්‍රකාශය කළේ පාර්ලිමේන්තුවේ සිට ය. එම ප‍්‍රකාශයත් සමග රට පුරා ගම් නියම්ගම් අතර, ජනමතය පැතිර ගියේ රිළවුන් මැරීමට පක්ෂ හා රිළවුන් මැරීමට එරෙහි යන කඳවුරු දෙක අතරය. මේ වන විට දිනපතාම පාහේ දුර බැහැර ගමක හෝ ගම් කිහිපයක හෝ වන සතුන්ගෙන් ගොවිතැන රැකදෙන ලෙස ඉල්ලා සිටින උද්ඝෝෂණ දක්නට ලැබේ.

එම උද්ඝෝෂණ අතර, වන සතුන්ගෙන් තම ගොවිබිම් බේරා දෙන ලෙස කරන ඉල්ලීම් හැරුණු විට වනසතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පරිසරවාදී සංවිධාන වලට එරෙහිව පළකරන උද්වේගකාරී අදහස් ද සුලභව අසන්නට ලැබේ. මෙයින් පැහැදිලි වන්නේ වනසතුන්ට එරෙහිව මෙන්ම වනසතුන්ගේ අයිතීන් පිළිබඳ අදහස්වලට එරෙහිව ද ගොඩනැගෙන මනෝභාවයක් රටෙහි ඇති බවයි.

එය රටක අනාගතය කෙරෙහි බෙහෙවින් අහිතකර තත්ත්වයක් වන්නේ පවතින අර්බුදය සාකල්‍යවාදී ප‍්‍රවේශයකින් (Holistic Approach) විමසා බැලීමේ උත්සහයක් එහි නැති බැවිනි.

මේ පසුබිම තුළ ගොවියාගේ ප‍්‍රශ්නය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුව ඇති බවක් පෙනෙන්නට නැත. විශේෂයෙන් සමකාලීන ගැමි ගොවිතැනෙහි අර්බුදය යනු එක් පැතිකඩකින් පමණක් වටහා ගත හැකි අර්බුදයක් නොවේ. වනසතුන්ගෙන් සිදුවන හානි හැරුණු විට අස්වනු අඩුවීම කෙරෙහි බලපාන වෙනත් සාධක රැසක් ඇති බව ඉතා පැහැදිලිය. වනසතුන්ගේ උවදුරට විසඳුම් සොයන අතර, අනෙකුත් සාධක කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් වන්නේ එබැවිනි.

කෙසේ වුවද වනසත්ව උවදුරෙහි බලපෑම ද ඉහළ මට්ටමක තිබෙන බව මීට දෙවසරකට පෙර එනම්, 2022 වසර පාදක කොටගෙන පළවූ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයෙහි වාර්තාවකින් හෙළිවී තිබිණි. එම වාර්තාවට අනුව 2022 වසරේ පළමු භාගය තුළ ගොවීන්ගේ අස්වනුවලින් මෙටි‍්‍රක් ටොන් 144,989 ක් සතුන් විසින් හානිකර තිබිණි. බෝග වර්ග 28 කට සත්ව හානි සිදුව තිබූ අතර, හානි වී තිබූ පොල් ගෙඩි ප‍්‍රමාණය මිලියන 83 ක් පමණ විය.

එකල මෙම කරුණු උපුටා දක්වමින් එවකට සිටි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද මෙම ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමේ උත්සාහයක නියැළුණේය. ඒ අතර ඔහුගේ කැපී පෙණුනු විසඳුම වූයේ රිළවුන් අල්ලා චීනයට පිටුවහල් කිරීමය. එම විසඳුමටද එකල විශාල විරෝධයක් ගොඩනැගුනි.

මේ සිදුවීම් දෙස ආපසු හැරී බලන විට පෙනෙන්නේ ලංකාවේ ප‍්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් වීමේ මෙන්ම, ඒ විසඳුම් සඳහා ප‍්‍රතිචාර දැක්වීමේදී ද කිසියම් විකෘතියක් තිබෙන බව ය. ඕනෑම විසඳුමකට විරුද්ධ වීමේ ජනප්‍රියවාදී ප‍්‍රවණතාවයක් මේ රටෙහි තිබේ.

වනසතුන්ගෙන් සහ වෙනත් හේතූන් මත සිදුවන පෙර අස්වනු හානිය හැරුණු විට මෙරට ගොවියාට විශාල වශයෙන් හානියක් සිදුවන්නේ පසු අස්වනු හානියෙනි. මෙම හානියට විසඳුමක් ලෙස පසුගිය ආණ්ඩු පාලනයක් යටතේ ප්ලාස්ටික් ඇසුරුම් හඳුන්වා දුන් අවස්ථාවේ ඊට එරෙහින පැනනැගුනු විරෝධය මේ රටේ පවතින විකෘති විරෝධතාවයන්ට උදාහරණයකි.

මේ ආකාරයෙන් ගොඩනැගෙන විකෘති විරෝධතා මෙන්ම නිසි අධ්‍යයනයකින් තොරව ඉදිරිපත් කෙරෙන විසඳුම් යෝජනා ද බැහැර කරමින් විධිමත් විසඳුම් ක්‍රියාවලියක් මෙරට කෘෂිකර්මාන්තයට වහා හඳුන්වා දිය යුතුව තිබේ.

උදාහරණයක් ලෙස වත්මන් NPP ආණ්ඩුව බලයට පත්වීම සඳහා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි වනසත්ව උවදුර සම්බන්ධයෙන් ලබාදෙන බවට ප‍්‍රතිඥා දී තිබූ විසඳුම මෙසේය.

“මොනරුන්, රිළවුන්, දඬු ලේනුන් වැනි වගාවන්ට හානි පමණුවන වනසතුන්ගේ වර්ධනය පිළිබඳ නිවැරදි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක ක‍්‍රමවේදයක් මගින් පාලනය කිරීමට පියවර ගනු ලැබේ”.
ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය – 55 වන පිටුව

යම් ප‍්‍රතිඥාවක් දුන් පමණින් කවර කොන්දේසි යටතේ වුවද එය එසේම ඉටුවිය යුතුයැයි කිව නොහැකිය. විශේෂ තත්ත්වයන් යටතේ යම් පියවර වෙනස් කිරීමට සිදුවිය හැකිය. එහෙත් ඒ වෙනස සිදුවූවේ කවර කොන්දේසි යටතේදැයි පැහැදිලි කිරීමේ සදාචාරාත්මක වගකීමක් ප‍්‍රතිඥාව දුන් පාර්ශවයට තිබේ.

ඒ අතර ඉහත ප‍්‍රතිඥාවට එකඟ පියවරක් ද මේ වනවිට මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇත. රිළවුන් වන්ධ්‍යාකරණය සඳහා වන එම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස කි‍්‍රයාත්මක වීමට නියමිත බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පසුගියදා (දෙසැම්බර් 11) මාධ්‍ය අමතමින් කියා සිටියේ ය.

එම වැඩසටහන ඉදිරියේදී රටපුරා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 45 ක් වෙන්කර ඇති බව ලාල් කාන්ත කෘෂිකර්ම අමාත්‍යවරයා ද කියා සිටියේ ය.

කෙසේ වෙතත් මෙම වැඩසටහන සමස්ත ගැටලූව පිළිබඳ නිසි අධ්‍යයනයක් පදනම් කොටගෙන සිදු වන්නේදැයි විමසිය යුතුය. එහෙත් එවැනි අධ්‍යයන පසුබිමක් පෙනෙන්නට නැත. වසර ගණනාවක් පැරණි වනසත්ව උවදුර පිළිබඳ ප‍්‍රශ්නය යළි අවධානයට ලක්වූවේ හදිසියේ පොල් මිළ ඉහළ යාමත් සමගය. මෙය විවිධ හේතූන් මත පොල් මිල ඉහළ යාමෙන් ඇතිවන සමාජ අසහනය රිළවුන් පිටින් යැවීමක් බඳුය.

වන සත්ව උවදුර ප‍්‍රශ්නයක් වන නමුත්, පොල් මිල ඉහළ යාමට එකම හේතුව වූවේ එය පමණක් යැයි කීම ප‍්‍රමාණවත් නැත. එමෙන්ම ගැමි කෘෂිකර්මාන්තයට වනසත්ව උවදුර අභියෝගයක් වී ඇති නමුත් ගැවි ගොවිතැනට අභියෝගය එල්ලවී ඇත්තේ වනසතුන්ගේ පමණක්යැයි කීම ද සාධාරණ නැත. දැනට පෙනෙන ආකාරයට නම් එම ගැටලූ පිළිබඳ ප‍්‍රාමාණික අධ්‍යයනයක් හෝ සංවාදයක් රටෙහි සිදු නොවේ. විශේෂයෙන් පොල් මිල ඉහළ යාමට හා හිඟවීමට බලපෑ ආසන්න හේතු රැසක් මතුපිටින් බැලූ බැල්මට වුවද පෙනෙන්නට තිබේ.

පොල් ඉඩම් කට්ටි කිරීම, පොල් අපනයනය ඉහළ යාම, පොල් ඉඩම් නිසි පරිදි නඩත්තු නොකිරීම, පොහොර ප‍්‍රශ්න, අස්වනු වැඩිදියුණු කළ හැකි පැළ වගා නොකිරීම මෙන්ම කෘමි උවදුර (රතු හා කළු කුරුමිණියා, මයිටෑවා හා සුදු මැක්කා) වැනි හේතු හැරණු විට දේශගුණික විපර්යාස වැනි දිගුකාලීන හේතු ද මේ ගැටලූවට කොතෙක් දුරට බලපා තිබේදැයි පුළුල්, විධිමත් විමර්ශනයක් සිදුවී නැත.

වනසතුන් හා වගාහානි ප‍්‍රතිකර්ම පිළිබඳ කාලයක් තිස්සේ අවධානයෙන් හා හැදෑරීමකින් සිටින සමාජ ක්‍රියාකාරකයෙකු වන සරත් අබේසිංහ පවසන පරිදි සතුන් ඝාතනය වේවා, වන්ධ්‍යාකරණය වේවා නිසි අධ්‍යයනයක් හා නියාමනයක් සහිතව සිදුවිය යුත්තකි. සැලකිය යුතු අරමුදලක් හා කාර්යමණ්ඩල යෙදවිය යුතු ක්‍රියාදාමයකි.

එහෙත් ඔහු පවසන පරිදි මේ දක්වා එම සත්වගහණයන් පිළිබඳ කිසිවෙන් පූර්ණ සංගණනයක් හෝ සිදුකර නැත. විසඳුම් යෝජනා අවශ්‍ය වන්නේ එවැනි විධිමත් අධ්‍යයනයක් මත පදනම්ව ය. එසේ නොමැතිව අහඹු ලෙස ඇතිවන ආවේග හා ඒ මත සිදුකරන ප‍්‍රකාශ මත ක්‍රියාත්මක කරන විසඳුම් බොහෝවිට අවසාන වන්නේ ඵල රහිතව ය.

රටපුරා විසිර සිටින රිළවුන් පිළිබඳව කෙසේ වෙතත්, සීමිත කලාපයක පැතිර සිටින අලින් පිළිබඳව පවා ආණ්ඩුවට තවමත් එවැනි සැලසුමක් ඇති බවක් පෙනෙන්නට නැත. තවත් බරපතල සමාජ ගැටලූවක් වී තිබෙන වීථි සුනඛයන් පිළිබඳව ගැටලූවට පවා මෙතෙක් කිසිම ආණ්ඩු පාලනයකින් විසඳුම් නොලැබිණි. නිසි සැලසුම් නොමැතිවීම හා එවැනි පසුබිමක අරමුදල් හිඟය ද එහිලා බලපාන ගැටලූ විය හැකිය. අද ලංකාවට අවශ්‍යව තිබෙන්නේ මෙම රිළා ප‍්‍රශ්නය පිළිබඳ මෙන්ම එහිලා බලපා ඇති අනෙක් සියලූ සාධක ද සැලකිල්ලට ගෙන ගැමි කෘෂිකාර්මික අර්බුදයට විසඳුම් සොයන පුළුල් වැඩ පිළිවෙලකි.