ABBA ඇබා සංදර්ශණයෙන් ඔබ්බට යන පුළුල් දේශපාලන සංවාදයක් රටට ඕනෑ. 

         

 කොළඹ නගරයේ හෝටල් පරිශ්‍රයක පැවති සංදර්ශණාත්මක ඉසව්වකට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු අලුත් ආණ්ඩුවේ ප්‍රධානීන් කණ්ඩායමක් සහභාගි වී සිටීම මේ වන විට සමාජ මාධ්‍ය කළඹන සංසිද්ධියක් බවට පත්ව ඇති අතර ඒ ආශ්‍රිතව සැලකිය යුතු දේශපාලන විවාදයක් ද ගොඩනැගී ඇති බව ද පෙනෙන්නට තිබේ. එම විවාදයෙහි වැඩි ඉඩක් වෙන්ව තිබුණේ ජනප්‍රිය තලයේ ⁣චෝදනාවකටය. ඒ ‘උන්ට කිරි අපට කැකිරි’ යන මෙපමණ කල් කොයි කවුරුත් පතුරු ගැසු තේමාව යටතේ ඉදිරිපත් වූ චෝදනාවයි. බොහෝ විට එහි ගැබ්ව තිබුණේ පොදු ජනයා දුක් විද්ද්දී පාලකයන් සැප විදිනවා යන අසා පුරුදු අදෝනාවය.දැන් එහි වෙනසක් වී තිබේ නම් ඒ මෙපමණ කල් ඒ චෝදනාව එල්ල කළ අයට එරෙහිව මෙවර ඒ චෝදනාව එල්ල වීම පමණය.’එක රටක්-ඉරණම් දෙකක්’ යනු ඒ සටන් පාඨයේ තවත් ජනප්‍රිය ස්වරූපයකි. එහෙත් ඒ චෝදනා එල්ල කළ අයට දැන් තමන් එවැනි චෝදනා එල්ල කළ බවක් මතක නැති සේය. එනිසා ඔවුන් දැන් ඊට ප්‍රතිචාර දක්වන්නේ ‍’කියන්ඩ දෙයක් නැතුවාට කියන කතා’ හෝ ‘ඉරිසියාවට කියන කතා’ හෝ ‘හිතේ අමාරුවට කියන කතා’ යනාදී වශයෙනි. එවිට චෝදනා ඵල්ල කළ අය ‘ අපි කියන්නෙත් අපට කියපුවා තමා’ යැයි කියති. මේ ආකාරයෙන් ‘විවාදය’ නොනැවතී දිගටම ඇදී යයි.

මෙවැනිම විවාදයක් මීට පෙර නමුත්‍, මේ සමගම වාගේ‍ වේයන්ගොඩ නිදන්ගලක් සම්බන්ධයෙන් ද සරුවටම සිදු විය.එය අවසන් වුණේ මේ විවාදයෙනි.මෙය අවසානයේ තව විවාදයක් ඇරඹෙනු ඇත. මේවායින් ඇති පලය කුමක්දැයි අසන අයද නැතුවාම නොවේ. එහෙත් එයින් මේ විවාද නවතින්නේ නැත. මේ යුගයේ දේශපාලනය ගලා යන එක් මාදිලියක් මෙය විය හැකිය.ගෝටාභය යුගයේ ද මෙය මෙසේම සිදුවිය.එම යුගයේ සිටි නවක ඇමතිවරියක වූ සීතා අරඹවෙල තම නිලරථයට කුඩයක් ඉල්ලා යැවූ ලිපියක් සමාජ මාධ්‍යයෙහි මේ ආකාරයෙන්ම ආන්දෝලනයකට ලක්වූවේය.මෙවැනි සමහර විවාද වලට ලොකු හේතුවක් අවශ්‍යම නැත.තව ටික දවසකින් මැති ඇමති වරු වාහන වල ගමන් කිරීම ද මේ ආකාරයේ පුවත් මවනු ඇත. 

ඒ ආකාරයෙන් මෙවැනි විවාද දැන් සාමාන්‍යකරණය වී ඇති නිසාම සමහර ඉතා වැදගත් කරුණු අවධානයෙන් ගිලිහී යන අවස්ථා ද ඇති බව පෙනේ. උදාහරණයක් ලෙස ABBA සංදර්ශණයේ විවාදය ගතහොත් “ ඇත්තටම එහි ප්‍රශ්නය කුමක්දැයි?” යම් කෙනකුට ඇසිය හැකිය.එවිට යම් යම් පුද්ගලයන් තුළ තම තමන්ට ආවේණික නොයෙකුත් පිළිතුරු තිබිය හැකිය. එහෙත් හරයාත්මකව මග හැර යා නොහැකි සාධකයක් ඇත. එනම්‍, මෙම විවාදය තුළ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරය හා නියෝජනය කරන දේශපාලන කතිකාව කුමක්ද යන සාධකයයි. එම කතිකාව තීරණාත්මක වන්නේ රටක කිසියම් ප්‍රජාවක් යම් දේශපාලන කදවුරක් සමග සම්මුති බද්ධ වන්නේ එම කතිකාව මත පදනම්ව බැවිණි. ඒ අනුව අලුත් ආණ්ඩුව නියෝජනය කරමින් ඉහත අවස්ථාවට සහභාගි වූ කණ්ඩායම ‍, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ මේ රටෙහි ගොඩ නැංවූ සමාජ‍,දේශපාලන‍,ආර්ථික හා සංස්කෘතික කතිකාවත කුමක්ද? එහි ආර්ථික හා දේශපාලනික පදනම සමාජවාදී හා වාමාංශික වූ අතර සංස්කෘතිය ද වාමවාදී විකල්ප දෘෂ්ටිවාදී පදනමක විය. දේශපාලනිකව දකුණ සම්බන්ධයෙන් පමණක් නොව‍, පැරණි වම සම්බන්ධයෙන් පවා ඔවුනට ආර්ථික විවේචනයක් මෙන්ම සංස්කෘතික විවේචනයක් ද විය. “මේ වාමාංශික නායකයෝ දවල්ට ඉන්නේ කම්කරුවන් අතර වුවත් රෑට ඉන්නේ නයිට් ක්ලබ් වල” යනු ඔවුන්ගේ එක් විවේචනයක් විය. අවසන් ජනාධිපතිවරණයේදී ජවිපෙ ලේකම් වරයා තමන්ගේ කතා කූට ප්‍රාප්තියට ගෙන ගිය “කුසට සාගිනි -හදට සෝගිනි -නැගිටපල්ලා නැගිටපල්ලා.. ” කවි ගායනය ඔවුන් ගේ කදවුරෙහි කතිකාවතද දෘෂ්ටිවාදය ද මැනවින් සංකේතවත් කරන ලද්දකි. රටෙහි ප්‍රජාව එම කදවුර වටා ගොඩ නැගුනේ එම කතිකාව මත පදනම්වය. එවිට එහි පවතින්නේ එම කතිකාව මත ගොඩ නැගුනු සම්මුතියකි. එවන් පසුබිමක ජවිපෙ නායක නායිකාවන් ABBA සංදර්ශණයට සහභාගිවෙමින් එය රසව්දීමෙන් මහා විනාශයක් වන්නේ නැතත් සංකේතාත්මකව එය ඔවුක් ගේ සම්මුතියට ‘පේලි අතරින්’ බලපෑම් කරන්නකි. එය වඩාත් බලපෑම් සහගත වන්නේ මෙතෙක් ඔවුන් ගොඩනැගූ විකල්ප සංස්කෘතියක් පිළිබද කතිකාව යථාර්ථයක් වන ළකුණකුත් නැති තත්වයක් යටතේ ඒ කතිකාවේ පූරකයන් ගොස් ABBA ඉදිරියේ අත්පොලසන් දෙන අයුරු දැකීමෙනි. අනෙක් අතින් විකල්ප ආර්ථිකයක් පිළිබඳ වූ පැරණි සම්මුතියද මුලුමනින්ම බිදහෙලා අවසන්ය. ⁣IMF ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නොකඩවා සාර්ථකව ඉදිරියට යමින් ඇත. මෙම තතු යටතේ අද පවතින්නේ සියලු සම්මුති බිද වැටීමෙ⁣න් ආණ්ඩුවට සම්බන්ධ පැරණි කදවුරෙහි සුඡාතභාවය මුළුමනින්ම අභියෝගයට ලක් වන තත්ත්වයක්ය. එය ABBA සංදර්ශණයේ සමාජ මාධ්‍ය සංවාදයෙන් ඔබ්බට ගිය ගැඹුරු දේශපාලන ගැටළුවක් වන අතර ආණ්ඩුව ඊට කඩිනමින් විසදුම් සෙවිය යුතුව ඇත. රටටද එය අවශ්‍යව ඇත.