ඡාතික ජන බලවේගයෙහි ආණ්ඩුව යටතේ සිදුවීමට නියමිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබද ධනාත්මක ස්ථාවරයක් මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු පැවති පළමු මාධ්‍ය හමුවේදීම(නොවැම්බර් 15) ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගෙන් ප්‍රකාශයට පත් වූ නමුත් ඊට සරිලන ධනාත්මක ප්‍රතිචාරයක් මෙරට ජනමාධ්‍ය මගින් හෝ පොදු සමාජයෙන් ඉදිරිපත් වූ බවක් නොපෙනුනි. සිදු වූ දේශපාලන පෙරළිය පිළිබඳ කතිකාවෙන් අනෙකුත් සියළු සමාජ දේශපාලන කතිකාවන් යටපත්ව ගොස් ඇති බවක් නිරීක්ෂණය වේ. මෙතෙක් එම කතිකාවෙහි සිටි සිවිල් සමාජ සංවිධාන අතරින් ද තවමත් එම සංවාදය ප්‍රමාණවත් තරමින් ගොඩනැගී ඇති බවක් දක්නට නොලැබේ. ඒ අතර,රටෙහි ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව පිළිබඳ දීර්ඝ කාලීන සංවාදයක් පැවති පසුබිමක , ඒ සංවාදය තව දුරටත් පුළුල් කිරීම සදහා මෙය ඉතා අනගි අවස්ථාවක් බව ඒ පිළිබඳ උනන්දු වන සමාජ ක්‍රියාකාරීකයන් ගේ මතය වී තිබේ.
සමාජ ක්‍රියාකාරීකයකු මෙන්ම ජාතික සාම මණ්ඩලය නියෝජනය කරන මානව හිමිකම් ක්‍රියාධරයකු ද වන ශාන්ත පතිරණ මේ පිළිබද අදහස් දක්වමින් කියා සිටියේ “පොදු ඡනයා අතර ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය සහ උනන්දුව ප්‍රවර්ධනය කිරීමට සමාජ ක්‍රියාකාරීකයන් හා සංවිධාන මේ මොහොතේ මැදිහත් විය යුතු ” බවයි.
ජාතික ජන බලවේගය ජනාධිපති ධුරය ජය ගැනීමෙන් පසු ,පාර්ලිමෙන්තු මැතිවරණයට පෙර, මේ සම්බන්ධයෙන් පැවති ගැටළුව වූවේ ව්‍යවස්ථා සංශෝධනයක් සදහා නව ආණ්ඩුවට පාර්ලිමෙන්තුව තුළ තීරණාත්මක බලයක් ලබාගත හැකි වේද යන්නය. ඊට අදාළව ,පාර්ලිමෙන්තු මැතිවරණයට පෙර පැවති පුවත්පත් සාකච්ජාවකදී අදහස් දක්වමින් සමාජ දේශපාලන ක්‍රියාකාරීකයකු මෙන්ම විචාරකයකු ද වන අහිලන් කදිරගාමර් කියා තිබුණේ, කරුණු කිහිපයක් මත එය රදා පවතින බවය. “එය තීරණය වන්නේ ඔවුන් නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද යන කාරණය මතයි.එය සත්තකින්ම රදා පවතින්නේ පාර්ලිමෙන්තුව තුළ ඔවුන්ට ඵය කිරීමට හැකිවන ආකාරයේ ශක්තිය මතයි.එහෙත් ඒ හරහා හෝ ඔවුන් ගේ හොඳ හිත පෙන්වීම සදහා විවිධ ආකාරයේ නීති සම්මත කළ යුතුය.” (නොවැම්බර් 18, ලංකාදීප) මේ වන විට අහිලන් දැක්වූ ඉහත අවශ්‍යතා සියල්ල පාහේ අඩු වැඩි වශයෙන් ඉටු වී තිබේ.බලය පිළිබඳ සාධකය ඉහළින්ම සපුරා ඇති අතර හොද හිත පෙන්වීමේ ක්‍රියාමාර්ග ද යම් පමණකින් ඉටු වී තිබේ. මාර්ග විවෘත කිරීම ආදිය එසේ හොඳ හිත පෙන්වීමට ගත් යම් ප්‍රමාණයක උත්සාහයන් ලෙස සැලකිය හැකිය. ඒ අතර ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සූදානම ද බලය ලබා ගත් පළමු මොහොතේම පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා ගේ මාධ්‍ය හමුවෙන් ප්‍රකාශයට පත්විය.
” 13 වැනි සංශෝධනය ගෙනැවිත් වසර තිහකට වඩා වැඩි කාලයක් ගත වුණත් ගෙන ඵ්මේදී ඉන් බලාපොරොත්තු වූ අරමුණු ඉටුකර ගැනීමට තවමත් නොහැකි වී ඇතැයි ද 15 වැනි දා පැවති මාධ්‍ය හමුවේ දී ඔහු කියා තිබිණි. “සාකච්ජා කර මීට වඩා පිළිගත හැකි විසඳුමක් දෙමළ ජනතාවට දිය යුතු බව ද ටිල්වින් සිල්වා මහතා පැවසීය.” (නොවැම්බර් 18; ලංකාදීප)
මේ වන විට. ජවිපෙ ඉදිරි පෙළ නායකයන් මෙන්ම සෙසු මහජන නියෝජිතයන් ද ඊට අනුරූපීව අදහස් දක්වමින් සිටිති. “මාලිමාවට ලබාදුන් අති බහුතර ජනවරම පාදක කර ගනිමින්,නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට තම ආණ්ඩුව පියවර ගන්නා බව “” අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර ද ප්‍රකාශ කර තිබිණි. (නොවැම්බර් 20,මව්බිම) දේශපාලන පසුබිමෙහි එවැනි සුබවාදී පසුබිමක් පැවතුනද සිවිල් සමාජ ක්ෂෙත්‍රයේ ඊට සරිලන උනන්දුවක් ප්‍රකාශ නොවීමට හේතු දක්වමින් ශාන්ත පතිරණ කියා සිටියේ ,තවම මැතිවරණ උණුසුම පහව ගොස් නොතිබීම ද ඊට ඵක් හේතුවක් විය හැකි බවයි. එහෙත් මෙම ගැටලුවෙහි බරපතල කම දන්නා පුරෝගාමී නායකත්වයක් ලෙස සිවිල සමාජ ක්‍රියාකාරීකයන් මේ මොහොතේ වහා ක්‍රියාකාරී විය යුතු බව ද ඔහු පවසයි.පවතින උනන්දුව ප්‍රමාණවත් නොවන බව ද ඔහු පිළි ගත්තේය. “ඒත් බොහෝ සංවිධාන අභ්‍යන්තරයෙහි මේ පිළිබඳ යම් සාකච්ජාවක් සහ උනන්දුවක් ඇති වී තිබෙන බව දකින්න පුළුවන් .තවම ප්‍රකාශයට පත් වී නැතත් යම් සංවාදයක් පවතින බව පෙනෙනවා. ඒ උනන්දුව ප්‍රකාශයට පත්වීම තව දුරටත් පමා නොවිය යුතුයි. ” ඔහු පැවසීය.
එවැනි වැඩපිළිවෙළක් සදහා සැලසුමක් ද නිසි නායකත්වයක් ද කඩිනමින් අද රටට අවශ්‍යව තිබෙන බව ඔහුගේ අදහසය.