පොලිසිය වීඩියෝගත කිරීමේ පුරවැසි අයිතිය පිළිබඳ කතාවේ තවත් පැතිකඩක්…  

පොලිස් නිළධරයන් ගේ ක්‍රියාකාරකම් වීඩියෝ ගත කිරීමේ අයිතියක් මහජනයා සතුව ඇතැයි පිළිගනිමින් පොලිස්පති කාර්යාලය 2024.10.30 දාතමින් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳ ගොඩනැගුණු කතිකාව නිසැකවම ‍, ඉන් ඔබ්බට ගෙන යා යුත්තකි. එහි කාලීන වැදගත් කම විවාද රහිතය.

1867 තරම් ඈත කාලයක‍,විශේෂයෙන් එවක පැවති යටත්විජිත සන්දර්භයෙහි උපත ලද එවකට ‍’සිලෝනයෙ‍’හි වූ පොලිසිය එතැන් සිට සිදු වූ විවිධ සමාජ දේශපාලන පරිවර්තනයන් හමුවේ යම් විකාශනයකට බදුන් වූ නමුත්‍,හරයාත්මකව ඵහි වූ අධිපතිවාදී ස්වරූපය පුරවැසි කේන්ද්‍රීය පදනමකට සෑහෙන තරමින් පරිවර්තනයකට ලක් වූ බවක් පෙනෙන්නට නැත.බොහෝ වෙනස් කම් සිදුව ඇත්නේ හරයාත්මකව නොව මතු පිටින්ය.

මහජනයාට පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝ ගත කිරීමට ඇති අයිතිය පිළිබඳ නිවේදනය ද සැලකිල්ලට ගත යුතුව තිබෙන්නේ ඒ පසුබිමෙහි තබමිනි.පුරවැසි දෘෂ්ටිකෝණයෙන් බලන විට එම නිවේදනය වැදගත් වන්නේ එය සමාජයෙහි පුරවැසි අයිතීන් පිළිබඳ වන අවකාශය පුළුල් කොට සළකුණු කරන බැවිනි. එමගින් පෙන්වා දී ඇත්තේ පවතින නීතිමය රාමුව තුළ පුරවැසියාට පොලිස් නිළධාරින් ගේ ක්‍රියාකාරකම් වීඩියෝ කිරීමට බාධාවක් නොමැති බවය.ඒ අනුව මේ නිවේදනයෙහි වැදගත්කම පිළිගනිමින්ම අවධානයට ගත යුතු වැදගත් කරුණක් වන්නේ පවතින නීති පද්ධතියෙහි අවකාශය හා සීමාවන් පිළිබඳ මේ රටේ පොලිස් නිළධාරින් තුළ ද සාමාන්‍ය පුරවැසියා තුළ ද ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බවයි.එසේ තිබේ නම් මෙවැනි නිවේදන නිකුත් කිරීමට අවශ්‍ය නොවේ. අදාළ නීති පනවා ඇත්තේ අද ඊයේ නොවන බැවිණි.

සමහර විට එවැනි අවබෝධයක් තිබියදීම එය නොතකා පොලිසිය ක්‍රියා කරන්නේ නම් එය ද ගැටලුවකි. එවිට එය අභියෝග යට ලක් කිරීමට සිදුව ඇත්තේ දැනුවත්‍, සක්‍රීය පුරවැසියාටය.

ඉහත නිවේදනය නිකුත් වන්නේ ද එවැනි පුරවැසි ක්‍රියාකාරිත්වයක් ⁣හේතු කොට ගෙනය.රියඅනතුරක් ආශ්‍රිතව පොලිස් නිළධාරියකුගේ හැසිරීම වීඩියෝ ගතකළ පුරවැසියකු පොලිසියේ අවහිරයට බදුන් වීම මේ නිවේදනය නිකුත් කිරීමට නිමිත්ත විය.මෙහිදී පුරවැසියා දැනුවත්ව හෝ නොදැනුවත්ව තම අයිතියක් භාවිතාකර‍, ඉන් නොනැවතී ඒ අයිතිය වෙනුවෙන් සටනක යෙදී ඇත.පොලිස් නිළධාරියා දැනුවත්ව හෝ නොදැනුවත්ව පුරවැසි අයිතියක් යටපත් කිරීමට කටයුතු කර ඇත. කෙසේ කළත් එය පවතින නීතිය නොතකා හැරීමකි. අවසාන ප්‍රතිඵලය පොලිස්පති ගේ නිවේදනයෙන් පුරවැසි අයිතිය වඩා නිශ්චිතව සළකුණු වීමය.

කෙසේ වෙතත් සමහර පොලිස් නිළධාරින් මේ නිවේදනය මගින් සළකුණු වූ තත්ත්වය දෙස බලන්නේ තම වෘත්තිය කටයුතු වලට එල්ල වන යම් අවහිරයක් ලෙසය. ප්‍රසිද්ධියේ නැතත් පුද්ගලිකව අදහස් පළ කරන සමහර පොලිස් නිළධාරින් එවැනි අදහස් පල කරන අයුරු අසන්නට හා දකින්නට ලැබේ.

එහිදී‍, මෙවැනි අයිතියක් වගකීම් සහගතව භාවිතා කිරීමේ ශික්ෂණයක් පුරවැසියාට ද තිබිය යුතු බව විවාද රහිත කාරණයකි.පොලිස් නිළධාරියා තුළ මෙන්ම පුරවැසියා තුළ ද ඒ ශික්ෂණය හා අව⁣බෝධය ප්‍රවර්ධනය නොවන්නේ නම් මේ අයිතීන් පලදායීව භාවිතා කිරීම ගැටලු සහගත වනු නිසැකය.එක් අතකින් මෙහිදී මහජන අධ්‍යාපනය ඉතා වැදගත්ය.

ඵහෙත් වඩා ප්‍රමුඛ වන්නේ පොලිසියෙහි දැනුම‍, අවබෝධය හා ක්‍රියාකාරීත්වයය. මෙහිදී රජයට‍, විශේෂයෙන් ‍මෙම විෂයට අදාළව පොලිසිය වැනි ආයතන තුළ අධ්‍යාපනික වැඩසටහන් මගින් ඒ අවබෝධය පුළුල් කිරීමේ විශේෂ වලකීමක් ඇත‍,නිවේදන පමණක් නිකුත් කිරීම ප්‍රමාණවත් වන්නේ නැත. මේ සංවාදයට නිමිති වූ විෂය දෙස බලන විට නම් පැහැදිලි වන්නේ පොලිසිය තුළ එම අවබෝධය ඉතා දුර්වල බවය.

 අනෙක් අතින් පොදුවේ බලන විට මේ ගැටළුව සමග බැදී ඇති සන්දර්භය බෙහෙවින් පුළුල්ය‍, සංකීර්ණය. එය මෙවැනි අහඹු හා සරල පියවරකින් විසදිය හැකි නොවේ.මෙරට මානව හිමිකම් අවකාශය පුළුල් කිරීමත්‍, පොලිසියෙහි වෘත්තිමය භාවය හා ඒ සමග බැදුනු විනය ගරුක බව දියුණු කිරීමත් එහිලා ගත හැකි තීරණාත්මක පියවරයන්ය.ඒ සදහා පොලිසියට පුළුල් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට ද අලුත් තර්ක අවශ්‍ය නැත. 

එවැනි ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයට මෙරටෙහි දීර්ඝ ඉතිහාසයක් තිබෙන අතර වඩා විධිමත් සැලැස්මක් මෙයින් දහතුන් වසරකට පෙර පවා ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවෙහි අවධානය දැන් යොමු විය යුතුව ඇත්තේ එවැනි පුළුල් ප්‍රතිසංස්කරණ කෙරෙහිය.

දෛවෝපගත කරුණක් වන්නේ දැනට ඉදිරිපත්ව ඇති එම සැලසුම් යෝජනාවලියෙහි ද එක් විසදුමක් ලෙස ‘කැමරාව’ පිළිබඳ සදහන්ව තිබීමය. ඒ පුරවැසියා ගේ පැත්තෙන් නොව‍,නිළ වශයෙන්ම පොලිස් නිළධාරියාගේ පැත්තෙනි. නිළ ඇදුමටම සම්බන්ධව ඉදිරි පසින් පැළද සිටින ක්ෂුද්‍ර උපකරණයක් ලෙස දේහ කැමරාවක් (Body Cam) පැළදීමට එමගින් යෝජනා කර දැන් බොහෝ කල්ය.මෙම දේහ කැමරාව දැනටමත් ලෝකයේ දියුණු පොලිස් සේවාවන් පවතින බොහෝ රටවල භාවිතා වන්නකි. එක් අතකින් එය පොලිස් නිළධාරියාගේ රාජකාරියට තාක්ෂණික සහායක් සපයන අතර අනෙක් අතින් පොලිස් නිළධාරියාගේ හැසිරීම ද ස්වයං නිරීක්ෂණයකට බදුන් කරයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම හා ප්‍රවර්ධනය සදහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2011 -2016) මගින් මේ යෝජනා ඉදිරිපත් කර දැනට දහතුන් වසරකුත් ගත වී ඇත.

 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අවකාශය පුළුල් කිරීමට මෙන්ම ‍,⁣පොලිස් සේවය පුරවැසි කේන්ද්‍රීය කිරීම සහ විනය ගරුක කිරීම සදහා ද මේ වන විට අවශ්‍යව ඇත්තේ ඵබදු පුළුල් හා විධිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකි.

Update – 12 Nov 2024 පොලිසිය වීඩියෝ කිරීමේ අයිතියට ආයුෂ දෙසතියයි. 

 පොලිස් නිළධරයන් ගේ ක්‍රියාකාරකම් වීඩියෝ ගත කිරීමේ අයිතියක් මහජනයා සතුව ඇතැයි පිළිගනිමින් නිවේදනයක් නිකුත් කළ පොලිස්පති කාර්යාලය ඉන් දෙසතියක් ගත වීමටත් පෙර යළි එය බලරහිත වන ලෙස අර්ථ දක්වමින් නව නිවේදනයක් නිකුත් කර ඇත. ඔක්තෝබර් 30 දාතමින් නිකුත් කළ මුල් නිවේදනයට අනුව පොලිස් නිලධාරීන් සිදු කරන රාජකාරි සහ නිලධාරීන් ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ කිරීමේ අයිතියක් ඇතැයි කියවුන ද දෙවනුව (නොවැම්බර 06 දාතමින් ) නිකුත් කළ නිවේදනය මගින් කර තිබෙන අර්ථ කථනයට අනුව එම අයිතියට සීමාවක් පැනවී තිබේ. දෙවනුව (2024.11.06 දාතමින්) නිකුත් කළ ලිපියේ මෙසේ සදහන් ය. “……‍..එවැනි වීඩියෝ ගත කිරීමක් හේතුවෙන් පැහැදිලිවම විමර්ශණයට/රාජකාරියට බාධාවන අවස්ථාවකදී ඵ් පිළිබඳව එම තැනැත්තා වෙත කරුණු පැහැදිලි කර දී තව දුරටත් ඔහු වීඩියෝ ගත කිරීමෙහි නිරත වන්නේ නම් අධිකරණය වෙත කරුණු වාර්තා කර නෛතික ක්‍රියා මාර්ග ගැනීමට බාධාවක් නොමැති බව දන්වා සිටිමි. ” මේ වගන්තියෙන් ප්‍රකාශ වන්නේ පොලිසිය වීඩියෝ ගත කිරීමකට ලක් වූ විට ‘රාජකාරියට බාධා කිරීම’ යටතේ එම වීඩියෝගත කිරීම වැලැක්විය හැකි බවය.එහි දී පෙර නිවේදනය මගින් ප්‍රකාශිත නිදහස සීමා කර ඇත. පොලිසියේ පළමු නිවේදනය නිකුත් වූ විට එය පාදක කොට ගෙන ඒ මොහොතේ අප කියා සිටි පරිදිම නිකුත් වී ඇති මේ නව ප්‍රකාශනයෙන් ද සනාථ වන්නේ “… මේ ගැටලුව සමග බැදී ඇති සන්දර්භය බෙහෙවින් පුඵල් හා සංකීර්ණ ” බවය.ඒ සදහා ජනප්‍රියවාදී ⁣විසදුම් නැති බවය. පැලැස්තර විසඳුම් නිෂ්ඵල බවය. පුළුල් ‍, ප්‍රතිසංස්කරණ විසඳුමක් ඊට අවශ්‍ය බවය.

කොටින්ම  මීට අදාළව අද මේ රටට අවශ්‍යව ඇත්තේ‍, රැල්ලට යන විසදුම් වෙනුවට විධිමත් අධ්‍යනයකින් යුතුව සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අකාශය පුළුල් කරන අතරම‍, පොලිසිය ද වඩා විනයගත කිරීමට ඉවහල් වන පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් බව මෙම සිදුවීමෙන් යළි සනාථ වේ.