දේශපාලන සිස්ටම් චේන්ජ් ඵක මැතිවරණ වියදම් පනතෙනුත් කළ හැකියි.

මැතිවරණ වියදම් නියාමනය හදුන්වා දෙන මුල් අවස්ථාවේ ඒ ආශ්‍රිතව විවිධ ගැටලු පැන නැගී, තව දුරටත් පවතින නමුත්‍, ඵය විධිමත්ව ඉදිරියට ගෙන යාමෙන් මේ රටේ පවතින දේශපාලන සංස්කෘතියෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමට හැකි වනු ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය. වැඩිදුරටත් ඔහු කියා සිටියේ ” මැතිවරණ වියදම් නියාමන පනත හදුන්වා දෙන විට ඵය සාර්ථකව ක්‍රියාත්මක වනු ඇතැ” යි මේ රටේ බොහෝ දේශපාලන පක්ෂ විශ්වාස නොකළ බවය. “ඔවුන් සිතුවේ ඵය කාන්තා නියෝජනය හදුන්වා දුන් අවස්ථාව වගේ වෙයි කියා.” ඔහු කීවේය. එබැවින් මෙම පනතට අදාළ ආදායම් හා වියදම් වාර්තා තබා ගැනීමට ද දේශපාලන පක්ෂ එතරම් උනන්දු වූ බවක් පෙනෙන්නට නැතැයි ද ඔහු කියා සිටියේය.
One Text Initiative වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පැෆරල් අධ්‍යක්ෂ වරයා වැඩිදුරටත් කියා සිටියේ ඉහත තත්ත්වය යටතේ අපේක්ෂකයන් වැඩි දෙනකුගෙන් ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් විවිධ ගැටලු පවතින බවයි.යම් අයගේ වාර්තා නියමිත ආකෘති මගින් ඉදිරිපත් නොකළ අවස්ථා තිබූ අතර තිදෙනකුගේම වාර්තා නිසි කාල සීමාව තුළ ලැබී තිබුණේ ද නැත.
ඵමෙන්ම වාර්තා මගින් ඉදිරිපත් කර තිබෙන තොරතුරු කොතරම් නිවැරදි ද යන වග සනාථ කිරීම ද ගැටලු සහගතය. ඊට හේතුව පැහැදිලි කරමින් ⁣හෙට්ටිආරච්චි කියා සිටියේ පනත යටතේ ඒ සදහා බලය තිබෙන්නේ පොලිසියට නමුත් එම වගකීම ඉටුකිරීම සදහා ඔවුන් සතු ප්‍රමාණවත් ධාරිතාවක් තිබේද යන්න සැක සහිත බවයි.
එහිදී වැඩිදුරටත් අධ්‍යක්ෂ වරයා දැක්වූ අදහස් මෙසේය. “ආරම්භයේ දී දේශපාලකයන් මෙම පනත කෙරෙහි උනන්දුවක් නොතිබුණු නිසා ඔවුන් විධිමත්ව තම වාර්තා තබාගෙන නැති බව පෙනෙනවා. එනිසා සමහර පක්ෂ ඉතා අවිධිමත්ව පිටුව‍, දෙක වශයෙන් දීර්ඝ විස්තර මැතිවරණ කොමිසමට ලබා දී තිබෙනවා. ඵමෙන්ම සමහර පක්ෂ මෙම වාර්තා පිරවීමේදී ඇති වූ ගැටලු හා බාධා පිළිබඳවත් පැමිණිලි කර තිබෙනවා.මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව ඔවුන් ගේ දුක් ගැනවිල්ලයි. මේ හේතුවෙන් ඔවුන් අභියෝග ගනනාවකට ‍, විශේෂයෙන් ‍,නීතිමය ගැටලු ආදියට පවා මුහුණ දීමේ අවදානමක් මතු වී තිබෙනවා. “

මේ ආකාරයෙන් පැන නගින ප්‍රායෝගික ගැටලු අතර මේ දෙස බැලිය හැකි සුබවාදී දෘෂ්ටිකෝණයක් ද තිබෙන බව රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
“එනම් ‍,මේ ගැටලුකාරී තත්ත්වය තුළ මැතිවරණ අපේක්ෂකයන්ට හා දේශපාලන පක්ෂ වලට විකල්ප මාර්ග වෙත යොමු වීමට සිදු වී තිබීමයි, තම වියදම් සීමා කිරීමට සිදු වීම තුළ විකල්ප ප්‍රචාරක ක්‍රමෝපායන් කෙරෙහි යොමු වීමට අපේක්ෂකයන්ට සිදු වෙනවා. එයින් මෙරට මැතිවරණ ප්‍රචාරක ක්‍රමයේ සුබවාදී වෙනසක් විය හැකියි. මේ වන විට මැතිවරණ කොමිසම පවා එවැනි ක්‍රමවේදයක් හදුන්වා දීමට උත්සාහ කරමින් සිටිනවා. එහිදී ඔවුන් උත්සාහ කරන්නේ සියලු අපේක්ෂකයන් පිළිබඳ තොරතුරු ඇතුළත් ඇප් එකක් නිර්මාණය කිරීමට යි. අපේක්ෂකයන් මෙතෙක් තම මනාප අංකය පමණක් ජන්ද දායකයාට ලබාදුන් ක්‍රමය මෙයින් වෙනස් වෙනවා. තමන් ගේ වෙනත් සුදුසු කම් ද එමගින් ඉදිරිපත් කිරීමට පුළුවන්. මේ වන විට අපත් ඒ අරමුණින් යුතු තවත් උත්සාහයක නිරතව සිටිනවා. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ මෙරට මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඇතුළු‍, දේශපාලන සංස්කෘතියේ ගුණාත්මකව කැපීපෙනෙන සුබවාදී වෙනසක් අපේක්ෂා කළ හැකියි.”
යනුවෙන් අදහස් දැක් වූ පැෆරල් විධායකන අධ්‍යක්ෂ වරයා “එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී බොහෝ විට මෙම ක්‍රම වේද ඔස්සේ ගොඩනැගෙන විකල්ප දේශපාලන සංස්කෘතියක ළකුණු දැකගත හැකිවනු ඇතැයි ද කියා සිටියේය.