16 වෙනි BRICS සමුළුව අදින් ආරම්භ වී 24 දින දක්වා (ඔක්තෝබර් 22-24 දිනවල )රුසියාවේ කZසාන් හි දී පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉහළ පෙළ නිළධාරින් මීට සහභාගි වන නමුත් රාජ්‍ය නායකත්වයෙහි සහභාගිත්වයක් සිදු නොවේ. ඊට හේතුව මේ දිනවල පැවැත්වෙන මැතිවරණය බව රජයේ ප්‍රකාශකයන් සදහන් කරන නමුත් එම තීරණය මෙරට දේශපාලන ක්ෂෙත්‍රයේ විවාදයකට බදුන් වී ඇත. පසු ගියදා (ඔක්:15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සජබ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ආණ්ඩුවේ මෙම තීරණය සම්බන්ධයෙන් කණගාටුව පළ කර තිබිණි. ඊට හේතුව ලෙස ශ්‍රී ලංකාවට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව එහිදී ඔහු පෙන්වා දී තිබිණි. හිටපු මන්ත්‍රී වරයාගේ එම ප්‍රකාශයෙන් කියවෙන්නේ ආණ්ඩුවේ මෙම තීරණය මගින් මෙරට නොබැඳි පිළිවෙතට හාණියක් වන බවය.
බ්‍රිතාන්‍ය ,රුසියාව ,ඉන්දියාව , චීනය හා දකුණු අප්‍රිකාව යන රටවලට අමතරව මේ වර්ෂයේ දී එහි නව සාමාජිකයන් ලෙස එක්වූ ඊජිප්තුව, ඉරානය ,ඉතියෝපියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සාමාජිකත්වය අපේක්ෂා වෙන් පසුවන සවුදි අරාබිය ද ඊට එක්වනු ඇත. මෙවර සත්කාරක රාජ්‍ය වන රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුටින් සමුළුවේ සභාපතිත්වය දරන්නේය. උතුරු අමෙරිකාවේ හා බටහිර යුරෝපයේ පොහොසත් රාජ්‍යවල ආර්ථික හා දේශපාලන බලාධිපත්‍යයට අභියෝග කරමින් ලොව වඩාත් වැදගත් සංවර්ධනය වෙමින් පවත්නා රාජ්‍යන්ගේ එකතුවක් ලෙස BRICS බිහිවිය. මේ සදහා මූලික වූ රටවල් හතර එකතු වූවේ 2006 වසරේදී ය. ලොව නැගී එන ආර්ථිකයන් නියෝජනය හා එම රටවල හඩ බවට පත්වීම එහි අභිප්‍රාය වේ.දේශපාලන මෙන්ම ආර්ථික අභිලාෂයන් ඔස්සේ එය ක්‍රියාකරන්නේ සාමාජික රටවල් සම්බන්ධයෙන් සමානාත්මතා පදනමෙන් යුතුව හා අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්වන පරිද්දෙනි .මෙම අරමුණු සාධනය කරගැනීම වෙනුවෙන් 2015 වසරේ දී නව සංවර්ධන බැංකුවක් ද ස්ථාපිත කළ අතර ඉන් මේ දක්වා සාමාජික රටවල යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් ඇ.ඩොක්ටර් බිලියන 33 ක පමණ ණය ලබා දී ඇත.ඇ.ඩොලර් බිලියන 100 ක විදේශ මුදල් සංචිතයක් පවත්වා ගැනීමට ද සාමාජික රටවල් එකග වී තිබේ.එය හදිසි අවස්ථාවක දී සාමාජික රටවලට උපකාරී වනු ඇත.ඇ.ඩොලර් වෙනුවට BRICS මුදල් ඒකක වලින් ගනුදෙනු කිරීමට එය දක්වන නැඹුරුව ඩොලරයට තර්ජනයක් වෙමින් පවතී. මෙම 2024 වසරේ දී BRICS රටවල ආර්ථික වර්ධනය 3.6% වනු ඇතැයි පුරෝකථන කර තිබේ. G-7 රටවල එය 1% පමණ වේ. ශ්‍රී ලංකාව ද BRICS හවුලට එකතුවීම සදහා මේ වනවිට ඉල්ලීම් කර ඇති අතර එහිදී සාමාජික රටවල සහාය අපේක්ෂාවෙන් ලිඛිතව ඉල්ලීම් කළ බව ද විදේශ අමාත්‍ය වරයා පවසා තිබේ.කෙසේ වුවද, මහමැතිවරණය හේතුවෙන් ජනාධිපතිවරයා හෝ තමන් මෙවර සමුළුවට සහභාගි නොවන බවද විදේශ අමාත්‍යාංශයේ ලේකම් වරිය ඊට සහභාගි වන බවද අමාත්‍ය වරයා එහිදී ප්‍රකාශ කර ඇත. මැලේසියාව, පාකිස්තානය හා බෙලරුස් රාජ්‍ය ද BRICS සාමජිකත්වය සදහා අයදුම් කර ඇති අතර BRICS පුළුල් වීම යනු ගෝලීය දකුණ වඩාත් ශක්තිමත්ව නැගී සිටීමක් බව විචාරක මතයයි.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ ඇමැතිවරුන් සහභාගි නොවන බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් අද(22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය. මේ මොහොතේ කැබිනට් මණ්ඩලයේ වගකීම් දැරීමත්, මැතිවරණය පැවැත්වීමත් නිසා ජනාධපතිවරයා හෝ ඇමැතිවරුන් ඊට සහභාගි නොවන බව වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මේ මස 24 දින සිට 26 දින දක්වා සැමෝවාහි අපියාහිදී “අභියෝගයන්ට මුහුණදිය හැකි අනාගතයක්: අර්ථකාරී පොදු රාජ්‍ය මණ්ඩලයක්” යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතව ඇත.