සමාජ මාධ්‍ය කුමන්ත්‍රණයක් ගැන ‍,

 රාජ්‍ය මාධ්‍යයෙන් හෙළිදරව්වක් …. අවධානයෙන් ඉන්නැයි‍, රටෙන් ඉල්ලයි.

 ස්වාධීන රූපවාහිනී සේවය (ITN) (ඔක්:13) රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් ‍, මෙරට සමාජ මාධ්‍ය පිළිබඳ විවේචනාත්මක සටහනක් තබමින් මේ වන විට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ සිදුකරන්නට යන දැවැන්ත සමාජ වෙනස කඩාකප්පල් කිරීමේ උත්සාහයක සමාජ මාධ්‍ය නිරතව සිටින බවට චෝදනාවක් එල්ල කළේය. අයිටීඑන් රාත්‍රි ප්‍රවෘත්ති විකාශනය අතර පළ කෙරෙන “ඔබේ දැන ගැනීම පිණිසයි”යන විශේෂ අංගයක් යටතේ මෙම චෝදනාව එල්ල කෙරුණි.

ගුවන්විදුලි යුගයෙන් ආරම්භ වූ මෙරට ජනමාධ්‍ය දිගු ගමනක යෙදෙමින් අද වනවිට තාක්ෂණිකව වඩා සංවර්ධිත අවදියකට පිවිස ඇති නමුත් එමගින් ලැබෙන ප්‍රවෘත්ති අන්තර්ගතයන්හි සත්‍ය අසත්‍යතාව පිළිබඳ බරපතල ගැටලු මතුව ඇතැයි එමගින් වැඩිදුර පැහැදිලි කෙරුණි.නව මාධ්‍ය මගින් එම ප්‍රවෘත්ති බොහෝ විට පාඨකයා අතට පත්වන්නේ ඕපාදූප ස්වරූපයෙන් බව සදහන් කරමින්‍, ඊට උදාහරණයක් ලෙස දක්වා තිබුණේ මහනුවර අංකුඹුර ප්‍රදේශයේ මාලිමා කන්තෝරුවකට සම්බන්ධ පුවතකි.”මාලිමා කාර්යාලයක පින්තූර ගත්තැයි තල්ලු කළ අයෙක් ඇදවැටී මිය යයි. ” යන මැයෙන් පළවී තිබූ පුවත අසත්‍යයක් බැව් එම උදාහරණයෙන් පැහැදිලි කෙරුණි. සමාජ මාධ්‍ය තුළ මෙවැනි වාර්තා කිරීම් සාධාරණදැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන බව ද වැඩිදුරටත් එහි සදහන් විය. ජනතාව ඉල්ලා සිටින සමාජ පරිවර්තනය වෙනුවෙන් රාජ්‍යය මාධ්‍ය සීරුවට වැඩ කරමින් සිටින අතර එය අභියෝගාත්මක හා කල් ගතවන ගමනක් බව වැඩිදුරටත් ඔවුහු පවසති.සමාජ මාධ්‍ය ඊට එරෙහි කුමන්ත්‍රණයක යෙදෙන බවත් ‍,රාජ්‍ය මාධ්‍ය මගින් කරමින් සිටින වෙනස කඩාකප්පල් කිරීමට එමගින් උත්සාහ කරන බවත් ‍, පවසන අතර තමන් ඒ ගැන අවධානයෙන් සිටින බවත් ඔවුහු පවසති. “මේ නිහඩ කුමන්ත්‍රණය ගැන අවධානයෙන් සිටින්න.”යැයි මෙහිදී ඔවුහු අසන්නන්ගෙන විශේෂ ඉල්ලීමක් ද කරති. 

 මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් කියා සිටියේ මෙමගින් කියැවෙන සමහර කරුණු පිළිගත හැකි නමුත් ‍, තමන් බලයට පත්වීම සදහා සමාජ මාධ්‍ය හැකි හැම අයුරකින්ම භාවිතා කර බලයට පත්වූ ආණ්ඩුවක මාධ්‍ය ආයතනයක් නව ආණ්ඩුව බලයට පත්වී මාසයක් හෝ ගෙවෙන්නට පෙර කරන ලද මෙම ප්‍රකාශයෙන් තමා විශ්මයට පත්ව සිටින බවයි.එමෙන්ම මෙරට සමාජ මාධ්‍ය භාවිතය කුමන්ත්‍රණයක් ලෙස අර්ථ දැක්වීම මෙරට ප්‍රකාශන නිදහසෙහි අනාගතයට බිහිසුණු අනතුරු හැගවීමක් විය හැකි බවද ඔහු පවසයි.

නව රජය බලයට පත්වීමෙන් පසු රාජ්‍ය මාධ්‍ය වෙතින් ඍජුවම සමාජ මාධ්‍යට මෙවැනි චෝදනාවක් එල්ල වූවේ පළමු වතාවටය.