හොරු ඇල්ලීමේ යහපාලන ඛේදවාචකය, පුනරුදයේ විගඩමක් නොවනු පිණිස….
මුල් සිඳිය යුතු දූෂණ පද්ධතිය
2024 ජනාධිපතිවරණ සටන් බිමෙහි ඉහළින්ම හඩ නැගුණු සටන් පාඨයක් වූවේ දූෂණ විරෝධයයි.දැන් බොහෝ දෙනෙකුට අමතකව ඇති නමුත්, පුදුම විය හැකි කාරණයක් නම් අදින් තිස් වසරකට පෙර මෙහි පැවති ජනාධිපතිවරණ සටන ද මෙසේම වූ වගයි.1994 ජනාධිපතිවරණය මතක ඇත්තෝ සිටිත් නම්, එවකට ජනකාන්ත ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තම ජයග්‍රහණයෙන් පසු මේ රටේ දූෂිතයන් කුදලා ගෙන විත් ගෝල්පේස් පිටියේ එල්ලා දමා මේ ප්‍රශ්නය අවසන් කිරීමට ගිවිසූ අයුරු අමතක වීමට හේතුවක් නැත. එහෙත් අවසානයේ ඇය ද තම දේශපාලන ගමන නිම කළේ චෞර රැඡන යන විරුදාවලියෙනි. මේ තිස් වසර තුළ ද, අඩු වැඩි වශයෙන් ඊට පෙර ද දූෂණය මේ රටෙහි ප්‍රශ්නයක් ලෙස වැඩෙමින් තිඛිණි.මේ වන විට එය රට ගිලිගත් පිළිකාවකි. ඵක් මොහොතක මහාචාර්ය ඉන්ද්‍රරත්න කීවේ දුෂණය හේතුවෙන් වාර්ෂිකව රටේ දළ ජාතික නිශ්පාදනයෙන් 10% ක් රටට අහිමිවන බවයි. දුෂණයට එරෙහිවීම හා ඊට එරෙහිව ක්‍රියාත්මකවීම ආවේගාත්මක හා ජනකාන්තවාදී සටන් පාඨයක් වුවද , තවමත් අපට දුෂණයට එරෙහිව සැබෑ ප්‍රතිපත්තිමය රාමුවක් හා එවැන්නක් පදනම් වන දර්ශනයක් ගොඩනගා ගැනීමට නොහැකිව තිබෙන බව මේ වන විට පැහැදිලි සත්‍යයකි . මෙම නොහැකියාව පසුගිය යහපාලන ආණ්ඩුවේ ද දේශපාලන විනාශයට හේතුවක් වූවේය. එදා යහපාලන ආන්ඩුව කීවේ මහින්දලා සොරකම් කළ සල්ලි නැවත රටට ගෙන එන බවය. තාජුඩීන්, ප්‍රගීත් එක්නැලිගොඩ හා තරුණයන් 11 දෙනක් අතුරුදහන් කළ පුද්ගලයින් අල්ලන බවය. එසේම දූෂිත මිග් ගනුදෙනුව නිරාවරණය කරන බවය. අද වන විට මාලිමාව ආන්ඩුව නියෝජනය කරමින් එහි ප්‍රධානීන් කියන්නේද එයමය. ඊට අමතරව කියන්නේ මහ බැංකු මංකොල්ලය නිරාවරණය කොට දුෂිතයන් නීතිය ඉදිරියට ගෙන එන බවය. එසේම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලන බවය. සත්‍ය වශයෙන් ගත් කල ඔය කියන එකදු සිද්ධියකට හෝ අදාළව හොරෙක් හෝ දුෂිතයකු හදුනාගෙන අධිකරණයක් ඉදිරියේ නඩු දමා දඩුවම් පනවන්නට හැකිවන්නේ නම් එය ආශ්චර්යකි. මෙය කටුක සත්‍යකි. මෙමගින් කියන්නේ ඇල්ලිය හැකි හොරු සිටිනවා නම් නොඅල්ලා සිටිය යුතු බවක් නොවේ. ඵය කළ හැකි වඩා ප්‍රායෝගික ප්‍රවිශ්ඨයක් දැන් රටට අවශ්‍යව ඇති බවය. ඵබැවින් පළමුකොට වත්මන් ආණ්ඩුව දුෂණයට එරෙහි ප්‍රතිපත්තියක් වහා ගොඩනගා ගත යුතු යැයි අප යෝජනා කරන්නෙමු. හොරෙකු ඇල්ලීම වෙනුවට එම හොරා ක්‍රියාත්මකවු දුෂිත පද්ධති හදුනාගෙන එම පද්ධතියට පිලියම් යෙදීම වඩා ප්‍රශස්ත විසදුම බව වර්ථමානයේ දුෂණයට එරෙහිව පර්යේෂණ කරන වෘත්තිකයන්ගේ මතයවී තිබේ. හොරා ඇල්ලීම යනු හදුනාගත් එක් දුෂිත ක්‍රියාවක් පසුපස හඹා යාමයි. එහිදී හොරා ඇල්ලුවද හොරකමට පාදකවු පද්ධතිය නොවෙනස්ව ඉදිරියට යන්නේය. එම නිසා දුෂිත පද්ධතිය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තව තවත් හොරුන් අනාගතයේදී බිහි කරනු නියතය. මේ සදහා හොදම උදාහරණ සපයන්නේ මහ බැංකු හොරකම හා සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුවුන හොරකමයි. අර්ජුන මහේන්ද්‍රන් සිරකිරීම හේතුවෙන් මහ බැංකුව තුළ සිදුවු හොරකම අනාගතයේදී සිදු නොවන බවට සහතිකයක් ලැබෙන්නේ නැත. ( මේ බව තේරුම් ගැනීම සදහා Central bank forensic audit report එක අධ්‍යනය කල යුතුව තිබේ.) හිටපු සෞඛ්‍ය ඇමතිට දඩුවම් කළ පමණින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපපයුම් අංශයේ දුෂණ හමාර වන්නේ නැත. දුෂිත තීරණ ගැනීමේ හා තිරණ ක්‍රියාත්මක කිරීමේ පද්ධතියක් හදුනාගැනීම යනු රටක දුෂණයට එරෙහි ප්‍රතිපත්තියක පැවැත්ම මත තීරණය වන්නකි. අප වර්ථමාන ජනාධිපතිවරයාට කියන්නේ එවැනි ප්‍රතිපත්තියකට වහාම අවතීර්ණවන ලෙසටය. දුෂිත පද්ධතියක් හදුනාගන්නට වන්නේ චෝදනා ලබන දුෂිත ක්‍රියාව ඔස්සේම ඒ පිලිබදව සොයා බැලිමෙනි. එහිලා කිව යුත්තේ ඔනෑම දුෂණ පද්ධතියක පැවැත්ම සාධක 3 මත රදා පවතින බවය. එනම්;
1. දුෂණයට හේතුවන ඔනෑම ක්‍රියාවක පැවැත්ම බහුවිධ පාර්ෂවකරුවන්ගේ පැවැත්ම මත රදාපවතින බව,
2.එකී බහුවිධ පාර්ෂවකරුවන් විසින් බහුවිධ ආයතන ගණනාවක් තුළ ක්‍රියාත්මකවී අදාළ දුෂිත ක්‍රියාව බිහි කරනු ලබන බව. (බහුවිධ පද්ධතින්හි ක්‍රියාකාරීත්වය)
3. එකී බහුවිධ පද්ධති, දේශපාලනික, ආර්ථික, සමාජීය අරමුණක් පෙන්වමින් බලධාරියකු හෝ බලධාරි කණ්ඩායමක් විසින් සම්බන්ධීකරණය කරමින් අදාළ දුෂණ ක්‍රියාව පරිසමාප්තියට ලක් කරනු ලබනු බව. ඒ අනුව බලන කල දුෂිත පද්ධතියක් ක්‍රියාත්මක වන්නේ
1. ජාලගත ක්‍රියාන්විතයක් තුළිනි.
2. පිළිගත් පද්ධතියක් තුළ පවතින යහපත් පුරුදු හා ප්‍රතිමාණයන් අවභාවිතා කිරීමෙනි.
3. බලය ( දේශපාලනය/මුදල්/පුද්ගලික අරමුණු පෙරදැරි කොටගෙන) තුළින් පවතින පද්ධතිය අකර්මන්‍ය කොට දුෂිත පද්ධතියක් නිර්මාණය කිරිමෙනි. මේ ආකාරයට පද්ධතිගත දුෂණය තුළින් බිහිවිය හැකි දුෂණ වර්ග 4 කි.
1. Transitional corruptions; ජාත්‍යන්තර මට්ටමේ දුෂණ, උදා. මිග් ගනුදෙනුව
2. Corruption schemes, උදා.ටෙන්ඩර් මගඩි
3. Corruption scandals, උදා.තජුඩීන්, ප්‍රගීත් එක්නැලිගොඩ, තරුණයන් 11 අතුරුදහන් කිරීම
4. Corruption systems, උදා.මහ බැංකු හොරකම.
ඉහතින් පෙන්වන්නේ දුෂණයට එරෙහිව ක්‍රියාමාර්ගයක ගැනීම සදහා පදනමකි. එවැන්නකින් තොරව ජනකාන්තවාදී හොරුන් අල්ලන්නට යාමෙන් වර්ථමාන රජයට මෙන්ම එහි සුබපතන්නන්ට අත්විය හැක්කේ දේශපාලනික ඉච්ඡාභංගයක් පමණකි.
යහපාලන ආන්ඩුවේ හොරු ඇල්ලීම ඛේදවාචකයක් වුයේය. මෙවර එය විගඩමක් නොවන තැනට වර්තමාන ජනාධිපතිවරයා වගබලා ගන්නේ නම්, එය ඔහුටත් හොදය. රටට නම් එය කොහොමත් හොදය.