එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය උතුරු සහ නැගෙනහිර කළාපයේ ජන අභිලාෂයන් ඒකරාශී කරගනිමින් නව පෙළගැස්මක යෙදෙන අයුරු මේ දිනවල නිරීක්‍ෂණය කළ හැකිය. පසුගිය ජනාධිපතිවරණයේදී බෙදී යාමක් පෙන්නුම් කළ උතුරු නැගෙනහිර ජනමතය මෙම පාර්ලිමේන්තු මැතිවරණය තුළ එක් කඳවුරක් තුළ ගොනු කිරීම තම අරමුණ බව එම පෙළගැස්මෙහි ප‍්‍රකාශකයෝ කියන සිටිති. උතුරු නැගෙනහිර දේශපාලන පක්‍ෂ මෙන්ම ඉන්දියාවද ඒ අරමුණ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති අයුරු පෙනෙන්නට තිබේ.
මෙම ඔක්තෝම්බර් 02 දා වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ තමිල් අරසු කච්චි නියෝජනය තුළ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් කියා තිබුණේ දෙමළ දේශපාලන පක්‍ෂ ඉදිරි මහමැතිවරණයේදී එක්ව තරග කරන ලෙස තමන් ඇතුළු පිරිසට ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා උපදෙස් දුන් බවකි. පක්‍ෂ ලෙස බෙදී තරඟ කළහොත් පාර්ලිමේන්තුව තුළ දෙමළ මහජන නියෝජනය දුබල විය හැකි බව වැඩි දුරටත් ඔහු කියා තිබිණි.
මාධ්‍ය හමුවේ ප‍්‍රසිද්ධ කළ මේ කරුණු හැරුණු විට කොළඹ පැවති ඉහත සාකච්ඡා තුළ නව ජනාධිපති වරයා ගැනද ඔවුන් අතර සාකච්ඡාවක් සිදුවී ඇත.
එහිදී දෙමළ පක්‍ෂ නියෝජිතයන් පවසා ඇත්තේ තමන්ට නව ජනාධිපතිවරයා ගැන කිවයුතු තරම් ප‍්‍රශ්නයක් නැති බවකි. එහෙත් ඔහු තුළ ජාතික ප‍්‍රශ්නය පිළිබඳ සැලකිය යුතු අදහසක් නැති බවත්, පෙනෙන්ට ඇති පරිදි චීනයට යම් ලැදියාවක් දක්වන බවක් දෙමළ පක්‍ෂවල අදහස වී තිබේ.
කෙසේ වෙතත් මේ සාකච්ඡාව පිළිබඳ තොරතුරු ජනාධිපතිවරයාටද එදිනම වාර්තා වී ඇති අතර ඔහු වඩා සංවේදී වී ඇත්තේ තමා ‘‘චීන ලැදියකු’’ ලෙස හැඳින්විම ගැනය. එබැවින් ඔහු පසුදාම ඉහත සාකච්ඡාවට සහභාගි වූ දෙමළ පක්‍ෂ නියෝජිතයකු සමග සාකච්ඡාවක් යොදා ගැනීමට කටයුතු කළේය. ඒ යාපනය හිටපු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන එස්.ශ‍්‍රීධරන් සමගය.
එය විශේෂ සාකච්ඡාවක් වුවේ පෙරදා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳ දෙපාර්ශවයම මෙහිදී කිසිවක් නොදන්නා සේ හොරගල් ඇහිඳිමින් සාකච්ඡාව ගෙනයෑමය.
එහෙත් ඉහත කී ඉන්දියානු සාකච්ඡාවේ මතුවු විවිධ කරුණු අතරින් තමා ‘‘චීන ලැදියකු’’ නොවන බව පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා විශේෂ උත්සාහයක් ගනිමින් සිටියේය. ශ‍්‍රී ධරන් මන්ත‍්‍රීවරයාද උතුරු නැගෙනහිර ප‍්‍රශ්න ලෙස මතු කළේ උතුරු නැගෙනහිර ජනයාගේ ඉඩම් හා දේපළ නිදහස් කර ගැනීම, විරු සැමරුම් පැවැත්වීමට නිදහස ලබාගැනීම, අධිආරක්‍ෂිත කළාප ඉවත් කිරීම වැනි යෝජනාය. ජාතික ප‍්‍රශ්නය හා පළාත්සභා සහ බලතල වැනි ‘‘බරපතල ප‍්‍රශ්න’’ සාකච්ඡාවට ගැනීමෙන් වැලකී සිටිමට මෙහිදී දෙපාර්ශවයම ප‍්‍රවේශම් වූන.
ආරම්භක මට්ටමේ සිදුවන මෙවැනි සාකච්ඡා වලදී තීරණාත්මක සමහර ප‍්‍රශ්න යටපත් කරගත හැකි වන නමුත්, ඊට මුහුණ දීමට සිදුවන මොහොතක් නිසැකවම එළඹේ. විශේෂයෙන් මේ වන විටත් පෙළගැසිමෙන් තිබෙන පාර්ලිමේන්තු මැතිවරණ සටනේ උතුරු නැගෙනහිර ජන අභිලාෂයේ තේමාව වනු ඇත්තේ මේ සාකච්ඡා තුළ යටපත් කළ ප‍්‍රධාන කරුණූ ය.
උතුර නැගෙනහිර එසේ වුවත් දකුණේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය තුළ මේ ප‍්‍රශ්න පිළිබඳ ප‍්‍රමාණයත් සංවාදයක් නොපැවතීමෙන් බරපතළ රික්තයක් එහි පවතී. එම රික්තය ප‍්‍රශ්නය තවත් උග‍්‍ර කිරීමට මිස විසඳීමට හේතුවක් නොවනු ඇත. ඒ සංවාදය ඇරඹිමට සුදුසු මොහොත මෙය වන අතර ප‍්‍රමාදය තවත් විනාශයකට හේතු විය හැකිය.
ඉන්දු – ලංකා සංවාදයේ – නව පියවරක්
ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් ඔක් 04 දින ලංකාවට පැමිණීම කලාපීය දේශපාලනය තුළ දෙරට අතර පවති සංවාදයෙහි නව පියවරක් සලකුණු කරයි. කලාපීය දේශපාලනය කෙරෙහි මෙන්ම රට අභ්‍යන්තරයෙහි ද විශේෂයෙන්, උතුරු නැගෙනහිර ජන අභිලාෂයන් සඳහා තිරසාර විසදුමක් සෙවීමේදීද ඉන්දීය සාධකය තීරණාරත්මක භූමිකාවක් ඉටුකරයි. මේ මොහොතෙහි ඇරඹෙන නව සංවාදය වඩා වැදගත් වන්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියානු විරෝධී සම්භාවකින් යුතු දේශපාලනයක් නියෝජනය කරන්නෙකු වන බැවිණි. එබැවින් ඇරඹෙන නව සාකච්ඡා පැරණි සැක සංකා දුරු කිරීමට සමත් විය යුතුය.
එම අතීතයෙන් මිදී නව දේශපාලන ගමනක් ඇරඹීමට නව ජනාධිපති වරයාට සිදුවනු ඇත. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය වරයාගෙන් ලැබෙන ඇරයුම පිළිගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ හමුවට සිය ප‍්‍රථම විදේශ නිලසංචාරය සඳහා තව නොබෝ දිනකින් නවදිල්ලිය බලා යාමට නියමිතය. බොහෝ විට ඒ දිනය පාර්ලිමේන්තු මැතිවරණයෙන් (නොවැ. 14) පසු දිනක් වනු ඇත.