සජීව විජේවීර විසිනි
(නීතිඥ ශිරාල් ලක්තිලක තැබූ සටහනක් ඇසුරෙන්)
රටේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණ පද්ධතිය අතර කාලයක සිට ඇතිවෙමින් තිබූ ගැටුමක් සිකුරාදා (26) පාර්ලිමේන්තුවේ දී කරළියට පැමිණියේය.
ඒ අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද විශේෂ දේශනයක දී ය. සිකුරාදා අලුයම ජනාධිපතිවරණය සඳහා දින නියම කරමින් ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟම වෙන කිසිම දිනක දක්නට නොවූ තරමේ හදිසියකින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දශක තුනක කාලයක් තමන් නායකත්වය දැරූ පක්ෂයත් එහි පාක්ෂිකයනුත් අමතක කරමින් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළේය.
ඇප මුදල් තැන්පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට දන්වා තිබුණේ පොලිස්පතිවරයාගේ ධූරය සම්බන්ධයෙන් තමන්ට මැදිහත් වීමට නොහැකි බවයි. තමන් ජනාධිපතිවරණයේ අපෙක්ෂකයකු වීම ඊට හේතු කාරණා ලෙස ඔහු සඳහන් කර තිබූ බව ප්‍රකාශ විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එසේ ඇඟ බේරාගනිද්දී ඔහු වෙනුවෙන් “කොස් ඇට බාන්න ගිය බළලාගේ කාර්යය” ඉටුකළ අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඇතිවෙමින් තිබූ සීතල යුද්ධයකට ගින්දර අවුලුවන්නට කටයුතු කළේය.
ඔහු මේ ප්‍රකාශය කළෙ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමිනි. පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ වෙනත් තැනක දී ඒ කතාව නීතිය හොඳින් දන්නා අගමැතිවරයා විසින් නොකරන බව අපට විශ්වාසය.
ව්‍යවස්ථාදායකයට සහ විධායකයට ඇඟිලි ගසන්නට අධිකරණයට බලයක් නැතැයි නීතිඥයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාලයක සිට කියාගෙන යන කතාවකි. මෙයින් අධිකරණය සතු ස්වාධීනත්වය සහ බලය පිළිබඳ ගැටලුවක් මතුකිරීමට ඔහු උත්සාහ ගෙන ඇත. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ උත්සාහයක් බව අපි සෘජුව පවසන්නෙමු.
ව්‍යවස්ථා සංශෝධනයකින් පිහිටුවන ලද ස්වාධීන ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් බව ජනාධිපතිවරයාගේ මතය වී ඇත. සැබැවින්ම එය ඔහු තම දේශපාලන වාසිය සඳහා ගොඩනගාගත් හුදු ප්‍රලාපයක් පමණි.
කාලයක සිට රටේ මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයා ලෙස ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට උතාසාහ ගනිමින් සිටි වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ඉහළම විධායක තනතුරට පත්වීමෙන් පසු කරන මේ ක්‍රියාවන් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරකි. දැන් ඔහු කරන්නේ තමන්ට හිටපු ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස ලැබුණු බලය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක ඇති මූලික අවශ්‍යතා නිශේදනය කිරීමයි.
ව්‍යවස්ථාදායක සභාව යනු ආණ්ඩුක්‍රමයේ පවතින තුලන සහ සංවරනයේ කොටසක් මිසක් විධායකයේ කොටසක් නොවේ. ලිබරල් රාජ්‍ය ක්‍රමයේ පලමු මුලධර්ම (first principles of liberal constitution) මගින ඒ බව තහවරු කරයි.
මේ වනවිට පෙනී යන්නේ ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයකට රනිල් ගමන් කිරීමට සූදානම් වෙමින් පවතින බවයි.
රනිල්ට පෙර මෙරට හිටපු ජනාධිපතිවරු ව්‍යවස්ථාව පවා වෙනස් කරමින් ඒකාධිපති බලය තමන් වටා කේන්ද්‍ර කරගනිද්දී රනිල් වික්‍රමසිංහ ඊට එරෙහිව නැගී සිටියේය. එමෙන් ම ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ දී ව්‍යවස්ථාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගෙන ඒමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේය. නමුත් විධායක ජනාධිපති ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහට මෙරට ජනාධිපතිවරුන්ට පොදුවේ තිබූ ඒකාධිපති රෝගයේ ලක්ෂණ මතුවෙමින් තිබෙන්නේ ඔහු ඉතාමත් සූක්ෂම ලෙස තමන් වටා ඒකාධිපති බලයක් ගොනු කරගැනීමට කටයුතු කරමින් සිටින බව ප්‍රදර්ශනය කරමිනි.
මේ රෝග ලක්ෂණ අනාගතයේ ජනාධිපතිවරයකු බවට පත්වන ඕනෑම අයකුට වැළඳිය හැකි බව අප පවසන්නේ එය මෙරට ලාංකීය දේශපාලනඥයන්ගේ ජානගත දුර්වලකමක් තරමට ම පෙන්නුම් කරන බැවිනි. රාජ්‍ය බලය නොමැති කාලයේ දී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෝ ජනාධිපති පුටුවේ වාඩි වූ වහාම ඒකාධිපතියෝ වෙති.
රාජ්‍ය පාලනයට පදනම් වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන්, එම ව්‍යුහය තුළ තීරණ ගන්නා ක්‍රියාපටිපාටිය සහ එම තීරණ ගැනීමේ දී අදාළ කරගන්නා දේශපාලනමය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආකල්ප රටේ දේශපාලනයට තදින්ම බලපාන තෙවැදෑරුම් කරුණු ලෙස හැඳින්විය හැකියි. මේ ත්‍රිත්වයේ ක්‍රියාකාරීත්වය අනුව රාජ්‍ය පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම තීරණය වෙයි.
කලින් බලයට පත්ව සිටි රාජපක්ෂලා සිදුකළේ මේ තෙවැදෑරුම් සාධක අතරින් පළමුවැන්න වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් වෙනස් කිරීමයි.
දැන් ජනාධිපති වික්‍රමසිංහ එලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය වෙනස් කරන්නේ නැත. ඔහු ඉතාමත් සූක්ෂම ලෙස එම ව්‍යුහයන් තුළ තීරණ ගන්නා ක්‍රියාපටිපාටිය වෙනස් කරමින් සිටියි. කවදත් උපායශීලී දේශපාලකයකු ලෙස ප්‍රසිද්ධ වික්‍රමසිංහ මේ කටයුතු කරමින් සිටින්නේ උපායෙන් ම ක්‍රියාපටිපාටිය අවුල් කර තවදුරටත් බලය තමන් වෙත ම සංකේන්ද්‍රගත කරගැනීමේ ය.
අධිකරණය හෝ පොලිසිය වියවුලට පත් කිරීමෙන් තම බල අරමුණු ඉටුකරගත හැකි යැයි ඔහු සිතනවා විය යුතුය. එහි දී ජනතාව තේරුම්ගත යුත්තේ එම උත්සාහය තවත් පුළුල්වනු ඇති බවයි.
ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නට යැයි මෙරට ප්‍රකට කියමනකි. ජනාධිපති වික්‍රමසිංහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත සම්බන්ධයෙන් අධිකරණමය මතය පාර්ලිමේන්තුවේ දී අභියෝගයට ලක් කළේය. ඩිජිටල් ආරක්ෂණ පනත සම්මත කිරීම සම්බන්ධයෙන් ද අදටත් ගැටලුවක් ඉතිරිව තිබේ. නව අගවිනිසුරුවරයකු පත්කරගැනීමට උත්සාහ ගත්තේ නීතිපතිගේ ධූර කාලය ද මාස 06කට ව්‍යවස්ථා සභාව හරහා දික් ගරගැනීමටය.
තමන් විසින් පත්කරන ලද අගමැතිවරයා ලවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලමේන්තුවේ දී කියවූයේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ රාජකාරී කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් වාරණය නිවැරදි නොවන බවයි. අගමැතිවරයා එහි දී කීවේ ව්‍යවස්ථාදායකය විසින් ගත් තීරණයක් අභියෝගයට ලක්කිරීමට අධිකරණයට බලයක් නොමැති බව කියමිනි. එම වාරණය තාවකාලික බැවින් දේශබන්දු තමත් තනතුරේ රැඳී සිටින බවත් ඒ හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ද ඔහු කීවේය. මෙය පැහැදිලිවම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාපටිපාටිය වියවුල් කරන අර්ථකථනයකි.
විනිසුරන් පත් කිරීම ගැටලුවක් වූ විට වික්‍රමසිංහ ජනාධිපතිවරයා මානව හිමිකම් නඩුවක අතුරු තහනම් නියෝගයකට මුවා වී ඉහළ අධිකරණවලට විනිසුරන් පත් කිරීම සම්පුර්ණයෙන්ම නතර කර දැමුයේය. එම හැසිරීම නිසා සමස්ත අධිකරණ පද්ධතියම අද අකර්මන්‍ය වී තිබේ.
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් රනිල් අනුගමනය කරන්නට උත්සාහ එම ආදර්ශය ම බව අගමැති වරයාගේ කතාවෙන් තහවරු වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති වියරුවට සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඒකාධිපති ගමන්මගට බොහෝ දෙනෙක් බිය වූහ. එකළ නිර්මල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් ගැන කතා කළ රනිල් වික්‍රමසිංහ දැන් සැබෑ ලෙසම ඒ බිය නැවත ඇතිකරමින් සිටී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට තිබූ ආර්ථික අර්බුදය හොඳින් කළමනාකරණය කළේය. ඒ සම්බන්ධයෙන් ඔහුට ගෞරව හිමිවිය යුත්තේ ඔහු හැර වෙනත් අයකුට එය එසේ කළමනාකරණය කළ නොහැකි යැයි සිතෙන තරමට ම ඔහු හොඳින් ඒ කාර්යය කළේය.
නමුත් මේ ඒකාධිපති වියරුව නිර්මාණය වන්නේ ද අටේ ආර්ථිකය පිළිබඳ වික්‍රමසිංහ ජනාධිපතිවරයා දරන චිනන්තනය හේතුවෙනි. රනිල් සිතා සිටින්නේ ආර්ථිකය තවදුරටත් කළමනාකරණය කිරීමට නම් ඒකාධිපති බලතල අවශ්‍ය බවයි. එය ඉතා පැරණි සහ යල්පැනගිය චින්තනයකි.
දකුනු කොරියාවේ ද, තායිවානයේ ද, මලයාසියාවේ ද සිංගප්පූරුවේ ද 1960 දශකයේ දී අත්හදා බැලු සංකල්පයකි. නමුත් ඒ සඳහා ඒ ඒ රටවල් දැරු මානව වියදම ඉතා ඉහළය. කාර්මික විප්ලවයේ සිව්වැනි කාර්තුවට පිවිස සිටින 21 වැනි සියවසේ තුන්වැනි දශකයේ දී ආර්ථිකය ගොඩනැගීමට ඒකාධිපතිත්වය යොදා ගැනීම අත්හදා නොබැලිය යුතු කාර්යයක් ලෙස දියුණු ලෝකය පිළිගනේ. ශ්‍රී ලංකාවට එය සිතීමට පවා නොහැකි දෙයකි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූයේ මහජන ඡන්දයෙන් නොවේ. ඔහුගේ නායකත්වයෙන් තරඟ කළ එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් පමණි. මාස ගණනකට එම මන්ත්‍රීධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැතිධූරයට පත්කර ගත්තේ ආර්ථිකය කළමනාකරණය කරගැනීමටය. ඉන් පසු ගෝඨාභය ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ විට රනිල් ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වුව ද ඔහුට මහජන කැමැත්ත නම් තිබුණේ ම නැත.
නමුත් ආර්ථිකය කළමනාකරණය කිරීමෙන් ඔහු යම් සාර්ථකත්වයක් ලබා ඇති බැවින් ඔහු ඇතුළු ඔහුගේ කඳවුර විශ්වාස කරන්නේ ඉදිරි ජනාධිතිවරණයෙන් ජයගැනීමට හැකි බවයි. ඔහු මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් කුමන තත්වයකට රටේ පාලනය ඇද දමනු ඇත්ද යන්න පිළිබඳ වික්‍රමසිංහ මේ දිනවලා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාපටිපාටිය අවුල් සහගත කිරීමට දරන උත්සාහය සියුම්ව අධ්‍යයනය කිරීමෙන් තේරුම්ගත යුතුය.
නීතිවේදීන් පෙන්වා දෙන්නේ, රටේ ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ බලය අතික්‍රමණය කරන ලද ඕනෑම ක්‍රියාවකට එරෙහිව මැදිහත් වීමට අධිකරණයට අයිතියක් හා බලයක් ඇති බවයි.
පොලිස්පතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු නියෝගය මගින් කියවෙන්නේ නඩුවක් අසා නිමවී ලබාදෙන අවසාන තීන්දුවක් අපතේ නොයෑම සඳහා ලබාදුන් තාවකාලික නියෝගයක් පමණක් බවයි. එවැනි නියෝගයක් නිකුත් කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කරන ලද පැමිණිල්ල විභාගයට ගත හැකි නඩු නිමිත්තක් බැවිනි. එමෙන්ම ඔහු දරණ තනතුරෙහි ඔහු තවදුරටත් කටයුතු කරමින් සිටින්නේ නම් එයින් නඩුවට යම් බලපෑමක් ඇති විය හැකියැයි අධිකරණයට සනාථ වී ඇති බැවිනි. නඩුව අසා අවසන් වුව ද දේශබන්දුගේ තනතුර අහිමිවීමට හැකියාව ඇත්ද නැද්ද අප පූර්ව නිගමනවලට එළැඹෙන්නේ නැත. නමුත් අධිකරණය මෙහි දී ක්‍රියාකර ඇත්තේ සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලිය අනුවය.
එසේම එම අතුරු තීන්දුවෙන් අදාල පුද්ගලයා එම තනතුර දැරිම නිශ්ක්‍රිය කරලනු ලැබ තිබේ. එසේම එම අතුරු තීන්දුව ක්‍රියාත්මක කල යුත්තේ කෙසේද යන්න පිලිබඳවත් අධිකරණය නියෝග කර තිබේ. වැඩ බලන පොලිස්පතිවරයකු පත්කිරීමේ කාර්ය පටිපාටිය ඉතා පැහැදිලිය.
දැන් ජනාධිපතිට තිබෙන්නේ කාර්යපටිපාටිය අනුගමනය කිරීමයි. අධිකරණය විසින් දන්වා ඇත්තේ මෙම නඩුව විභාගයට ගන්නා තුරු දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති තනතුරේ කාර්යය ඉටුකිරීම වාරණය කරන බවයි. එමෙන් ම ජනාධිපතිවරයාට අවශ්‍යනම් එම තනතුරට වැඩබලන පොලිස්පතිවරයකු පත්කළ හැකි බව ද නියෝගයේ දක්වා ඇත.
ජනාධිපතිවරයා රටේ විධායක නායකයා, කැබිනට් මණ්ඩලයේ නායකයා සහ ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ඔහුට පැවරෙන ව්‍යවස්ථාමය වගකීම වන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි. එමෙන් ම මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට මැතිවරණ කොමිසම ඉල්ලා සිටින අවශ්‍ය පහසුකම් සැපයීම ද ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත වගකීමකි.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ කවරක් සඳහන් වුව ද තම අභිමතය පරිදි වැඩබලන පොලිස්පතිවරයකු පත් නොකර සිටීමට ද ජනාධිපති වික්‍රමසිංහට හැකියාව ඇත. නමුත් එහි දී සිදුවන්නේ රටේ විධායක ජනාධිපතිවරයා ලෙස තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරෙන වගකීම ඉටු නොකර සිටීමයි.
එය ඉටු නොකළා යැයි ඔහුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ද කිසිවෙකුට නොහැකි ආකාරයේ මුක්තියක් ජනාධිපතිවරයාට හිමිව ඇත. මෙය ඉටු නොකිරීමෙන් ලැබෙන අනිටු දේශපාලන ඵලවිපාකවල වගකීම ද, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් නොපැවැත්වීමේ වගකීම ද, නීතිය හා සාමය නිසි පරිදි ආරක්ෂා නොකිරීමේ වගකී ම ද වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දැරිය යුතු වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ඉටු නොකළ ද දේශබන්දු තෙන්නකෝන්ට එම නියෝගය පිළිනොපැදීමෙන් අධිකරණය හමුවේ යම් දිනක වරදකරු වීමට සිදුවනු ඇත. ජනාධිපතිවරයකුට හිමිවන මුක්තිය පොලිස්පතිවරයකුට හිමි නොවන බව දේශබන්දු තෙන්නකෝන් සිහි බුද්ධියක් ඇත්නම් තේරුම් ගත යුතුය.
යම් නීතියක් හෝ විධායකයේ ක්‍රියාවක් අර්ථ නිරුපනය කිරීමේ බලය තිබෙන්නේ ඉහල අධිකරනයන්ටය. එම බලය විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට නැත. අගමැති වරයාට ඒ සම්බන්ධ ගැටලුවක් හෝ චෝදනාවක් ඇත්නම් ඔහු කළ යුත්තේ නැවත අධිකරණයට ගොස් ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපනයක් ඉල්ලා සිටීමයි.
ඒ සඳහා අවශ්‍ය පූර්වාදර්ශ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ම මීට ඉහත දී ලබා දී තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටිය දී හදිසියේ ම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කළේය. ඉන් පසු පාර්ලිමේන්තුවත් විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ද නිකුත් කළේය. රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් අධිකරණයේ මතය විමසූ අවස්ථාවේ දී අධිකරණය විධායකය වැරදි බවට තීරණය කෙරිණි. විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාව අධිකරණය විසින් නතර කර දැමුවේය. එදා නැවත රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස රාජකාරී ආරම්භ කළ ද අද ඔහුගේ අගමැතිවරයා වහසිබස් දොඩමින් කියන්නේ විධායකයට නියෝග දීමට අධිකරණයට බලයක් නොමැති බවයි.
අගමැතිවරයාට තවත් ක්‍රමයක් තිබේ. නව පනතක් හෝ ව්‍යවස්තා සංශෝදනයක් ගෙනැවිත් තමන් මතු කරන හිස්තැන මඟහරවන්නට හැකියාව ඇත. ඒ කිසිවක් නොකොට අගමැතිවරයා හරහා ජනාධිපතිවරයා විසින් කොස් ඇට බාන්නට දරන උත්සාහය පරාජය කල යුතුය.
මේ මොහොතේ අපි රනිල් වික්‍රමසිංහගෙන් එක් දෙයක් ඉල්ලා සිටිමු. මේ රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අත නොතබනු !
මේ ප්‍රජාතන්ත්‍රවාදී උත්සාහය නතර කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ම පමණි.