ජනාධිපති ජෝ බයිඩන් තරගයෙන් ඉවත්වෙයි..!

-කේ. සංජීව-

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගිය 21 වෙනිදා හදිස්සියේම නිවේදනය කළේ තමන් නැවත ජනාධිපති ධුරයට තරග කිරීම අත්හරින්නට තීරණය කළ බවය. එසේ ඔහු තමන්ගේ තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස කමලා හැරිස් නම් කරන බවය. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන් තරග‍යෙන් ඉවත් වන්නේ පක්ෂයේ සහ රටේ යහපත වෙනුවෙන් බවය.

81 වියේ පසුවෙන ඇමරිකානු ජනාධිපතිවරයා සිය වයස් ගත වීම නිසාම පසුගිය කාලයේ නොයේක් ප්‍රශ්නවලට මුහුන දුන්නේය. මතකය අහිමිවීම්, නිවැරදි කල්පනාවෙන් තොර නිමේශයන් ඒ අතර විය. එම තත්ත්වයන් ඇමරිකානු මාධ්‍යයේ තද විවේචනයට බදුන් විය. එම තත්ත්වය තුළ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා වැනි ඩිමොක්‍රටික් ප්‍රබලයන් කියා සිටියේ ජෝ බයිඩන් තරගයෙන් ඉවත්ව වෙනත් අපේක්ෂකයෙක් ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවය.  එම විවේචනයන් වල අවසන් ප්‍රථිලය මෙම නිවේදනය බව පැහැදිලිය.

බයිඩන් 59 හැවිරිදි කමලා හැරිස්ගේ නම මීළඟ අපේක්ෂකයා ලෙස යෝජනා කිරීමත් සමග ඇය ප්‍රකාශ කර ඇත්තේ බයිඩන්ගේ සහය ප්‍රසිද්ධියේ ම ලැබීම තමාට ගෞරවයක් බවය.  තමන් නාමයෝජනාව දිනා ගැනීමට කැපවී කටයුතු කරන බව කියන්නී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ  ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමේ හැකියාව තමන් සතු බවය. 

මැතිවරණයට දින 100ක් පමණ තබාගෙන ඇමරිකානු දේශපාලනය තුළ සිදුවූ මෙම වෙනස්කම සමග ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර යම් උද්‍යෝගයක් හටගෙන ඇති බව පෙනෙයි. ඒ අතර ඩිමොක්‍රටික් ප්‍රබල ආණ්ඩුකාරවරුන් මෙන්ම නැන්සි පොලෝසි  වැනි ප්‍රබල චරිතයන් ද ජෝ බයිඩන් ගේ තරගයෙන් ඉවත්වීම හොඳ සහ විය යුතුම දෙයක් ලෙස දකිමින් එයට සිය සහාය පළකරමින් සිටියි. 

කමලා හැරිස්ගේ නම යෝජනා වීම පිළිබඳව ද ඩිමොක්‍රටික් ප්‍රබලයන් අතර හොඳ මතයක් නිර්මානය වී තිබුණත් ඇයට අපේක්ෂකත්වය හිමිවෙනවාද නැද්ද යන්න ලබන අගෝස්තු මාසයේ පැවැත්වෙන ඩිමොක්‍රටික් ජාතික සමුළුව තුළින් තීරණය වෙනු ඇත. 

මේ අතර තමන්ගේ අපේක්ෂකයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව තීරණය කළ රිපබ්ලිකන්වරුන් කියා සිටින්නේ කමලා හැරිස් පරාජය කිරීම බයිඩන් පරාජය කරනවාට වඩා ලෙහෙසි කාර්‍යයක් බවය. 

හිටපු ජනාධිපති බරක් ඔබාමා, සෙනෙට් නායක චක් ෂූමර් , හිටපු කතානායක නැන්සි පෙලෝසි වැනි ඩිමොක්‍රටික් ප්‍රබලයන් බයිඩන් ගේ නිවේදනය පිළිබඳව ප්‍රශංසා සිදුකළත් ඔවුන් කමලා හැරිස්ගේ නම යෝජනා කිරීම පිළිබඳව එතරම් දෙයක් කියා නැත. ඊට ප්‍රථිපක්ෂව හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මෙන්ම, හිටපු ඩිමොක්‍රටික් අපේක්ෂිකාවක වන හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරන්නේ අපේක්ෂකත්වය සඳහා කමලා හැරිස් නම් කිරීමට තමන් සහාය දුන් බවය.

මෙසේ ඩිමොක්‍රටික් ප්‍රබලයන් දෙපිල බෙදෙන බවක් පෙන්නුම් කරයි. ඒ අනුව කමලා හැරිස්ට සිය අපේක්ෂකත්වය දිනාගැනීම ලේසි පහසු කාර්‍යයක් නොවෙනු ඇත. එහෙත් දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන ආකාරයට කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම්, පෙන්සිල්වේනියා ආණ්ඩුකාර ජොෂ් ෂපීරෝ, හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු වන පීට් බූටජජ් වැනි ඩිමොක්‍රටික් ප්‍රබලයන්ගේ සහාය කමලාවන් වෙත ලැබෙමින් තිබීම ඇයට අස්වැසිල්ලක් වෙනු ඇත. 

එහෙත් උප ජනාධිපති ලෙස කමලා හැරිස් ජෝ බයිඩන්ගේ මානසික වියවුල් තත්ත්වය සැඟවූවා යන චෝදනාව මේ වනවිට ඇයට විරුද්ධව එල්ලවෙමින් ඇත. එය බරපතළ චෝදනාවක් ය. 

ජෝ බයිඩන්, කමලා හැරිස් තමන්ගේ උප ජනාධිපතිවරිය පිළිබඳව සඳහන් කරමින් ප්‍රකාශ කරන්නේ ඇය හොඳ සහායිකාවක් බවය. පසුගිය කාලයේ පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව හමුවීම් වැනි දේ තුළ ජෝ බයිඩන්ගේ මානසික වියවුල මැනවින් ප්‍රදර්ශනය වූ අතර එම තත්ත්වයන් සමනය කරගනිමින් කටයුතු කිරීමට උප ජනාධිපති කමලා හැරිස් ට හැකිවූවත් ඇය එම තත්ත්වයන් සඟවා කටයුතු කළා යන්න බැහැර කරන්නට බැරි චෝදනාවක් බව විරුද්ධවාදීන්ගේ මතයයි.