-කේ. සංජීව-
තිස් වසරක ජනවාර්ගිය යුද්ධයෙන්, 1988/89 දකුණේ භීෂණයෙන්, 2005-15 මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිදුවූ අනීතික ඝාතනවලින්, නිපන් තුවාල වලින් තවමත් අප පීඩා විඳිමින් සිටින්නෙමු. එම තුවාල සුව කරගෙන ජාතිය නිරෝගී කර ගැනුමට අපහට කිසිඳු උවමනාවක් නැත.
මෙනිසා යුක්තිය පිළිබඳ ප්‍රශ්නය ලංකාවේ ජනසමාජය පිළිකාවක් සේ අල්ලාගත් ප්‍රශ්නයක් ය. සත්‍ය සොයා ගැනීම හරහා යුක්තිය හිමිකර දෙමින් වගවීමේ යාන්ත්‍රනයක් ඇති කරගැනීමෙන් තොරව මෙම ගැටලුවට පිළිතුරක් නැත. මේ ගැටලුවට පිළිතුරක් සොයාගන්නා තෙක් අපට ඉදිරි ගමනක් ද නැත. ලාංකේය සාමූහික ජන විඥානයේ නිධන්ගත යුක්තිය පිළිබඳ ප්‍රශ්නයට, වාර්ගික ආතතීන් සහ පසමිතුරු ආකල්ප පසෙක ලා විසඳුම් සෙවිය යුතුය.
මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ කුමන ප්‍රදේශයකින් මතුව ආවත් සමූහ මිනීවළක් යනු මේ කියන තුවාලය නැවත පාරා අපව පීඩාවට පත් කරන සිදුවීමක් ය. ජනවාර්ගික ආතතිය නැවත ඉහළ නන්වන තත්ත්වයක් ය.
මුලතිව් සමූහ මිනීවළ
මුලතිව් දිස්ත්‍රික් ජල සම්පාදන සේවකයින් පසුගිය ජුනි 29 වැනි දිනයේදී කොක්කුතුඩාවායි ප්‍රදේශයේ ජල නල එළීමකට කාණුවක් කැපීමේදී, පළමු වරට මිනිස් අස්ථි කොටස් හමුවුණ අතර මේ හමුවීමත් සමගම ලංකාවේ සමූහ මිනී වළවල් පිළිබඳ මෑත ඉතිහාසය අලුත් විය.
මෙම සිදුවීමෙන් පසුව මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට අදාළ ස්ථානය ලක්වූ අතර ඒ සමගම කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැනීම් ආරම්භ විය. එම කැනීම් පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා දෙවන වරට ආරම්භ වූ අතර මේ වනවිට මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ පූර්ණ මිනිස් අස්ථි කූඩු 14ක් ද පූර්ණ මිනිස් අස්ථි සැකිලි තුනක් ද ගොඩගෙන ඇත.
මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය කනසභාපති වාසුදේව, යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය එස්. පිරනවන්, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, ඇතුළු කණ්ඩායමක් මේවනවිට ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ, මෙම කැනීම් සිදුකරමින් තිබෙන බව වාර්තා වෙයි. කැනීම් සඳහා ප්‍රමානවත් මුදල් සහ සම්පත් රජයේ පාර්ශවයෙන් නොසැපයෙන පසුබිමක කැනීම් කටයුතු සිදුවෙයි.
සමූහ මිනීවළක සහ සුසානයක වෙනස
මේ ලියුම්කරු මීට ප්‍රථම මාතලේ සමූහ මිනීවළේ සහ මන්නාරම තිරුකේතීස්වරම් කෝවිල සමීපව සොයාගත් සමූහ මිනීවළේ කැනීම් කටයුතු වාර්තා කරන්නට මාධ්‍යවේදියෙක් ලෙස එහි ගිය අතර එහිදී මාහාචාර්‍ය රාජ් සෝමදේව මහතා සමග මෙන්ම ප්‍රකට අධිකරණ විශේෂඥ වෛද්‍ය ඩී.එල් වෛද්‍යරත්න මහතා සමගද සමූහ මිනීවළවල් පිළිබඳව කතාබහ කරන්නට හැකිවිය.
එහිදී ඔවුන් පැවසූ මූලිකම කාරණය, සමූහ මිනීවළක් බැලූ බැල්මටම සුසානයකින් වෙන කරගත හැකිය යන්නය. සුසානයක මිනීවළ දමන්නේ නිස්චිත ක්‍රමයකටය. අවමඟුල් චාරිත්‍රවාරිත්‍ර නිසා සුසානයක මළ මිනිසෙක් මිහිදන් කිරීම විදිමත් ය. යම් ක්‍රමයකට හැඩයකට අනුගතය. එහෙත් අනීතිකව මිනිසුන් ඝාතනය කර හදිස්සියේ වළ දමන සමූහ මිනීවළක, සුසානයක තිබෙන නිහැඬියාව, නිවුන බව, ක්‍රමවත් බව නැත. ඒ වෙනුවට එහි ඇත්තේ අවිදිමත් බවය. හදිස්සි බවය. සත්‍ය වසා දමන්නට ඉක්මන් වීමේ ස්වරූපයක් ය.
මුලතිව් අලුතින් සොයාගත් මෙම සමූහ මිනීවළ පසුගිය සැප්තැම්බර් 14 දා වනවිට අටවන දිනට ද කැණීම් සිදුකර ඇති බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කරයි. එම වාර්තාවට අනුව එහිදී අලුතින් මිනිස් සිරුරු පහක අස්ථි මතුකරගෙන ඇත.
මෙහි නිදන්නේ කවුද?
කාන්තා තනපට, එල්ටීටීඊ කාන්තා සාමාජිකාවන් හැඳ සිටියා යැයි සිතිය හැකි කැලෑ ඇඳුම් කට්ටල, සයිනයිඩ් කරලක්, එල්.ටී.ටී.ඊ. සාමාජික අංක තහඩු, පතුරම් උණ්ඩයක්, දැනට හමුවූ අස්ථි කොටස් අතර තිබී ගවේශකයන් විසින් සොයාගෙන ඇත.
බීබීසී සිංහල වෙබ් අඩවිය ප්‍රකාශ කරන ආකාරයට මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ මෙම ස්ථානය, යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනිවළක් විය හැකි බවය. උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටි.රවිහරන් ‘බීබීසී සිංහල වෙබ් අඩවිය’ වෙත ප්‍රකාශයක් කරමින් මෙසේ පවසයි.
“යුද්ධ කාලයේ 1984 අවුරුද්දේ ඉඳලා 2011, 2012 විතර වෙනකම් ඔය පැත්තේ යුද හමුදාව ඇරෙන්න වෙන කවුරුවත් හිටියේ නෑ. ඒ කාලයේ ජන ශූන්‍ය ප්‍රදේශයක් තමයි කොක්කුතුඩුවායි ප්‍රදේශය. ඒ කාලයේ ඔය පැත්තේ සිදුවුණ දේ දන්නේ ආරක්ෂක අංශ විතරයි. අවසන් යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් එල්.ටී.ටී සාමාජිකාවන් බහුතරයක් දෙනා යුද්ධය නිමා වී වසර 14 ක් ගතවුවත් තවමත් අතුරුදහන් වෙලා ඉන්නවා. ඒ අයට සිද්ධවුණ දෙයක් තවමත් අභිරහසක්. එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනීවළක් මෙතෙන තියෙන්න පුළුවන් කියලා අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ද සැක කරනවා”.
මෙම සමූහ මිනීවළ කැනීම් කටයුතු නිසා උතුරු – නැගෙනහිර අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආරම්භ කර පවත්වාගෙන යමින් සිටින, සත්‍ය සොයාගැනීමේ සහ යුක්තිය දිනාගැනීමේ දීර්ඝතම අරගලයට නව ශක්තියක් සහ ජවයක් ලැබී ඇත. ඔවුන්ට නව බලාපොරොත්තුවක සේයාවක් පෙනෙයි. තම සමීපතයින්ට සිදුවුණේ කුමක්ද? එය සොයාගැනීමට හැකිවන දිනය වැඩි ඈතක නැත. ඔවුන්ගේ නව බලාපොරොත්තුව එයයි.
එහෙත් උතුරේත් දකුණේත් සමූහ මිනීවළ කැනීම් ඉතිහාසය පිරික්සීමේදී අපට පෙනෙන්නේ බළධාරීන් සත්‍ය කාලයේ වැලිතලාවෙන් වසාදැමීමට උපන් හපනුන් බවය.
සමූහ මිනීවළ ඉතිහාසය..
මාතලේ දිසා රෝහල් පරිශ්‍රයේ ජීව වායු ඒකකයක් ඉදිකිරීමේ කටයුතු සඳහා කැණීම් කාර්යයක නිරතව සිටි කම්කරුවන් පිරිසකට මිනිස් ඇට සැකිළි හමුවන්නේ 2012 නොවැම්බර් 26 වැනිදා ය. වධ හිංසාවන්ට පාත්‍ර කිරීමෙන් අනතුරුව, ශරීර අවයව වෙන්කොට වළ දැමුවායැයි සිතිය හැකි මිනිසුන් 154 දෙනෙකුගේ සිරුරු එයින් ගොඩගත් බව ඔබට මතකද? එම කැනීම් කටයුතු අවසන්ව කොතරම් කාලයක් ගතවී ඇත්ද?
මාතලේ සමූහ මිනීවළ සම්බන්ධ ප්‍රධාන වෝහාරික අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අජිත් ජයසේන ප්‍රකාශ කරන්නේ, මාතලේ සමූහ මිනීවළ පරීක්ෂණවලට අත්වූ ඉරණම ඛේදනීය බවය. ඔහුගේ මතය වන්නේ මෙම සමූහ මිනීවළ 1986-90 කාල පරාසයට අයත් වෙනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් දේශීයව පරීක්ෂණ සිදුකළ මහාචාර්‍ය රාජ් සෝමදේව මහතාගේ මතයද එය බව දැනගන්නට ලැබෙයි. මෙම පරීක්ෂණ සහ කැනීම් සිදුවන වකවානුවේ මේ ලියුම්කරු මහාචාර්‍ය රාජ් සෝමදේව සමග මේ කැනීම් සහ නිරීක්ෂණ පිළිබඳව එවක රාවය පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ ‘කාල නීර්ණය පිළිබඳ සැන්විච් න්‍යායට’ අනුව මෙම සමූහ මිනීවළ පරීශ්‍රයේ කාලය 80 දශකයේ අගභාගයට යනබවය.
කැනීම් පරීශ්‍රයේ පස් ස්ථර අතර හමුවන සුවිශේෂ නියැදීන් සහ ද්‍රව්‍ය සාම්පල වල භාවිත සහ නිශ්පාදිත කාලයන් අනුව මෙම ගණනයන් සිදුවෙයි. කුමක් සිදුවුණ ද, අධිකරණ ක්‍රියාමාර්ග ගැනුනද, අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි තිබෙන නිසා ඩී එන් ඒ පරීක්ෂණ කළ යුතුයැයි නිර්දේශ ඉදිරිපත් වුණද, අවසානයේ අද වනවිට කිසිත් සිදුවුණ බවක් නැත. යුක්තිය මාතලේ සමූහ මිනීවළටම දමා උඩින් පස් දමා වසාදමා ඇත.
ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් මතුවුණ, අනෙකුත් සමූහ මිනීවළවල් වලටද සිදුවුණේ අඩුහෝ වැඩි වශයෙන් මාතලේ සමූහ මිනීවළට සිදුවුණ සන්තෑසියමය. දකුණෙන් සුරියකන්ද, වනවාසල, මාතලයේ තත්ත්වයද, උතුරෙන් චෙම්මනි, මිරිසවිල්, යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගනයේ තත්ත්වයද, මන්නාරමෙන් තිරුකේතීස්වරම්, සතොස ගොඩනැගිල්ල ආශ්‍රිත සමූහ මිනීවළ තත්ත්වයද, ආදී මේ බොහෝ කැනීම් ස්ථානවලින් යුක්තියේ ඝෝෂාව නඟමින් මිනිස් අස්ථි කොටස් මතුව ආ අතර ඒ කිසි දේකින් යුක්තිය පිළිබඳ නොනවතින ගැටලුවට විසඳුමක් ලැබුණේ නැත. තුවාලය එමගින් තව තවත් පාරවා දමන ලද අතර දැන් තාවකාලික කබොල්ලක් විසින් තුවාලය වසාදමා ඇතුලතින් පැසවන්නට කාලය ලබාදී ඇත.
යුක්තිය සොයා යන්නන්..
උතුරේත් දකුණේත් සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ බේදයක් නැතිවම යුක්තිය සහ සත්‍ය සොයනා මිනිසුන් මේ සමූහ මිනීවළවල් පරීශ්‍රයන් වෙත ආ අතර ඔවුන් එයින් අතුරුදන් වූ තම සමීපතමයන්ගේ සළකුණු සොයන්නට විය. ඒ සඳහා ඔවුන් අරගලයක නිරතවුණත් සිද්ධවුණ දෙයක් නැත. එහෙත් ඔවුන් තම අරගලය හෝ තම සමීපතමයන් හෝ අමතක කරන්නට සූදානම් නැත.
එහෙත් ලංකා රාජ්‍යය යුක්තිය වෙනුවෙන් සත්‍ය වෙනුවෙන් ඇස් කන් වසාගෙනමය. රාජ්‍ය සත්‍ය සොයාගැනීමේ අභිලාෂයෙන් නැඟිටින කම් මේ ප්‍රශ්නයට විසඳුමක් නැත. මේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන කම් ලංකාවට සංහිඳියාවක් හෝ නිවීමක් නැත.
එනිසා පොළවෙන් මතුව උඩට එන සෑම සමූහ මිනීවළක්ම එකසේ වැදගත් ය. ඒවා නිසි ගවේශනයකට ලක්කළ යුතුය. එහෙත් තවමත් සිදු නොවන්නේත් එයමය.