You are currently viewing යහපාලනය පිළිබඳ තෙන්නකෝන් ප්‍රශ්නය..!

යහපාලනය පිළිබඳ තෙන්නකෝන් ප්‍රශ්නය..!

-කේ. සංජීව-

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව පැවති නඩු දෙකක් පිළිබඳව ඊයේ (26) ගරු අභියාචනාධිකරණය වැදගත් තීන්දු දෙකක් ලබාදෙන්නට කටයුතු කළේ ය. ඒ ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයාගැනීමේ සිද්ධියට අදාළ නඩුවට සහ 2022 මැයි 9දා ගෝල්ෆේස්හි ගෝඨාගෝගම අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළ නඩුවට යන නඩු ද්විත්වයට අදාළව ය.

එහිදී ජනාධිපති මන්දිරයෙන් සොයා ගැනුන මුදල් සම්බන්ධ නඩුවේ සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කළ සිතාසිය බලරහිත කර රිට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය මැයි 09 දා සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස මෙම උසස් පොලිස් නිළධාරියා නම් කිරීම ද බලරහිත කරන්නට කටයුතු කළේය.

එහිදී මෙම නඩුව විභාගයට ගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ඉහත නඩුවට දේශබන්දු තෙන්නකෝන් සැකකරුවෙක් ලෙස නම් කරන්නට තරම් ප්‍රමානවත් සාක්ෂි නැති බවය. මෙම පොලිස් නිළධාරියාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 314, 316 සහ 343 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, එසේ චෝදනා ඉදිරිපත් කිරීමෙන් ඔහුට අයුක්තියක් සහ අසාධාරණයක් සිදුවන බව ද අවධාරණය කර ඇත.

මෙහිදී මෙම උසස් පොලිස් නිළධාරියා සැකකරුවෙක් ලෙස නම් කළ නීතිපතිවරයා, එමගින් තමන්ට පැවරී තිබෙන බලය අබිබවා ගොස් කටයුතු කිරීමක් සිදු කර ඇතැයි ද අධිකරණය ප්‍රකාශ කර ඇත.

මේ අනුව ගෝල්ෆේස්හි පැවති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල පැවති මයිනාගෝ ගමට 2022 මැයි 09දා පහරදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 33 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය අප්‍රේල් 19දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත ව දුන් උපදෙස් ද අභියෝගයට ලක්වී ඇත.

මෙම ලියුම්කරුට මෙම නඩු තීන්දුව ගැන කතා කරන්නට හෝ එය විවේචනය කරන්නට කිසිඳු අදහසක් හෝ උවමනාවක් නැත. එහෙත් යහ – ආණ්ඩුකරණයට අදාළව කතා කිරීමේදී සහ සිතා බැලීමේදී මෙම ‘තෙන්නකෝන් ප්‍රශ්නය’ ඉතාමත් වැදගත් ය.

පසුගිය 2022 මැයි 09දා සිදු කළ කුප්‍රකට ප්‍රහාරයෙන් ලංකාව පුරාම විශාල සහාසිකත්වයක් සහ ප්‍රචණ්ඩත්වයක් ඇතුවුණ අතර ඒ නිසාම ජීවිත සහ දේපොළ රැසක් විනාශයට පත්විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීඅයිඩීය විශේෂ පරීක්ෂණයක් කළ අතර එහි ප්‍රථිපළ අධ්‍යයනය කළ නීතිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු පිරිසක් සැකකරුවන් ලෙස නම් කරන අතර, දේශබන්දු තෙන්නකෝන් යන උසස් පොලිස් නිළධාරියා සැකකරුවකු කිරීමට සාක්ෂි ඕනෑ තරම් ඇති බවට ප්‍රකාශ කළේය.

එහෙත් සීඅයිඩීය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු ලෙස නම් කළේ නැත. ඒ ඇයි? අඩුම තරමින් පොලීසිය, පොලිස්පතිවරයා මෙම නිළධාරියාට විරුද්ධව විනය ක්‍රියා මාර්ගයක් හෝ ගත්තේ නැත. අඩුම මෙම පරීක්ෂණ සිදුවන බස්නාහිර පළාත තුළ ඔහුගේ රාජකාරි කටයුතු නතර කර වෙනත් පළාතකට මාරු කරන්නට හෝ පොලීසිය පොලිස්පතිවරයා හෝ පොලිස් කොමිසම කටයුතු කළේ නැත. මෙය යහ – ආණ්ඩුකරණය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් ය.

ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට වැඩි මුදල අධිකරණයට ඉදිරිපත් නොකර නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට භාරදෙන ලෙස මෙම උසස් පොලිස් නිළධාරියා විසින් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කළ බලපෑම සම්බන්ධයෙන් සියළු තොරතුරු අධිකරණයට වාර්තා කර ඇත. එහිදී කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව යොදා තිබුණ රාජකාරි සටහන් පවා අධිකරණයට කරුණු ලෙස වාර්තා වී ඇත.

ඊට අමතරව මෙම සිදුවීම පිළිබඳව විශේෂ පොලිස් විමර්ශනයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකළ අතර එහිදී එම ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.එස්. වික්‍රමසිංහට අප මේ කතාකරන නියෝජ්‍ය පොලිස්පතිවරයා බලපෑම් සිදුකර ඇත. ඒ තර්ජනාත්මකවය. මෙම තොරතුරුද කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දී ඇත.

මෙහිදී ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ යැයි තර්ජනාත්මක දූරකථන ඇමතුමක් දී මෙම විමර්ෂන නිළධාරියාට කළ තර්ජනය පිළිබඳව එම පොලිස් නිළධාරියා පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇත. ඒ මෙම නඩු තීන්දුව ලැබෙන්නට සෑහෙන්න කාලයකට කළින් ය. එහෙත් සිදුවූ දෙයක් නැත.

දිගින් දිගටම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව මෙහෙම සිදුවීම් සිදුවුණත් ඔහුට එරෙහිව කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් හෝ ගන්නට පොලීසියට හෝ පොලිස් කොමිසමට නොහැකි වෙන්නේ ඇයි? ඒ වෙනුවට සිදුවන්නේ මෙම මුදල් සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකළ විශේෂ විමර්ශන ඒකකයෙන් එම විමර්ශනය ගලවා එයත් සීඅයිඩීයට භාර කිරීමය. මෙහිදී විමර්ෂනයට බලපෑම් කිරීම එක්තරා විදිහක අධිකරණයට අපහාස කිරීමක් වෙන විට පවා ඒ පිළිබඳව මෙම ආයතනය හෝ අදාළ කිසිඳු බලධාරියෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ඔහුට විරුද්ධව ගන්නේ නැත.

මෙය යහ – ආණ්ඩුකරණය පිළිබඳ බලවත් ප්‍රශ්නයක් ය. මහජන ආරක්ෂාව සහ මහජන සාමය පවත්වාගෙන යන්නට සහ නීතිය සැමට සමානව බලාත්මක කරන්නට රාජ්‍යය විසින් ගොඩනගා තිබෙන පොලීසිය මෙසේ කටයුතු කිරීම රාජ්‍යයේ අනාගතයට බරපතළ ප්‍රශ්නයක් ය.

මීළඟ පොලිස්පති කවුද යන්න පිළිබඳව මේ වනවිට පොලීසියේ උසස් නිළධාරීන් අතර විශාල බල අරගලයක් නිර්මානය වී ඇත. පොලීසියේ උසස් නිළධාරීන් මාරු කිරීම සම්බන්ධ ප්‍රශ්නයකදී පසුගිය දා මෙම ගැටුම කරළියට ආ අතර එය අරභයා ජනතාව අතරද විශාල කතාබහක් ඇති විය. එම ගැටුමේම ප්‍රථිපලයක් ලෙස පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ ප්‍රශ්නය යළි කරළියට ආ අතර  එහි ප්‍රථිපලයක් ලෙස ප්‍රහාරයෙන් වසර 04කට පසු රාජකාරී පැහැර හැරි පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා පත්‍ර, එම නිලධාරීන් වෙත යැවීමට පොලිස්පති සී. ඩී වික්‍රමරත්න කටයුතු කළේය.

මෙහි එක චෝදනා පත්‍රයක් අපගේ කතානායකයා වන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හටද ලැබුණ අතර එහෙත් සිදුවුණ දෙයක් නැත. මෙයින් පෙනෙන්නේ මේ වනවිට පොලිස් යාන්ත්‍රනය සම්පූර්ණයෙන්ම දේශපාලණීකරණය වී පොලීසිය විනාශවී යන මට්ටමට එය උග්‍ර වී ඇති බවය. පොලිස් කොමිෂම ද එය පිහිටුවනු ලැබූ අරමුණෙන් පීලි පැන ඉබාගාතේ යමින් සිටියි. මෑතකදී අලුතින් පත්ව ආ කොමිසමද තවමත් වැඩ පෙන්වන ස්වරූපයක් නැත.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි අවස්ථා ලාංකේය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ වැදගත් අවස්ථාවන් ය. එහෙත් අපහට දියුණු දේශපාලන සංස්කතියක් නොමැතිකම නිසා ඒ සියළු අවස්ථා ගඟට කැපූ ඉණි මෙන් අපතේ ගියේ ය. එනිසා අප තව දුරටත් යහ – පාලනයක් යහ – ආණ්ඩුකරණයක් අපේක්ෂා කරන්නේ නම්, අප වහාම අපගේ දේශපාලන සංස්කතිය වෙනස් කරගත් යුතුය. එය දියුණු කරගත යුතුය. තෙන්නකෝන් ප්‍රශ්නයට උත්තරය එයයි.