You are currently viewing මුලතිව් අළු යට ගිනිවලට පිඹින කුරුන්දි විහාරය..!

මුලතිව් අළු යට ගිනිවලට පිඹින කුරුන්දි විහාරය..!

-කේ. සංජීව-

මහා විහාරය, අභයගිරිය, ජේතවනය මේ තුනම එකතුකළත් අක්කර 100ක් නෑ. ඔබතුමා මට ඉතිහාසය උගන්නනව ද නැත්තං මම ඔබතුමාට ඉතිහාසය උගන්වන්න ද? අක්කර 275ක් වෙන්න බෑ. දෙමළ බෞද්ධයෝ හිටිය තැනක් තමයි මේ විහාරය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනාධිපතිවරයාගේ මෙම අන්දෝලනාත්මක සාකච්ඡාව සමග නැවතත් රස්නය පිටතට පැමිණෙමින් තිබෙයි. මේ සිදුවන්නේ කුමක්ද? උතුරේ සහ දකුණේ ජනවර්ග දෙකක් අතර වාර්ගික ආතතිය ඇති කිරීමද? මේ පිළිබඳව පසුගිය සතියේ දීර්ඝව සාකච්ඡාවන් සිදුවෙනු පෙනුනි. අයිසීසී‍පීආර්(ICCPR) දඩයම සමග මේ සාකච්ඡාව තව තවත් උත්සන්න විය.

ඇත්තටම මුලතිව් කුරුන්දි විහාර ප්‍රශ්නය කුමක්ද?

වැලිඔය, නැඳුන්කර්ණි, කියන්නේ මම නිතරම යනඑන තැනක් ය. මේ ස්ථාන දෙකම අයිති වෙන්නේ මුලතිව්වලට බව කිවයුතුය. දැන් මුලතිව් ජනීජනයා පසු-යුධ තත්ත්වය තුළ ජීවත් වීමේ යුද්ධයක නිරතව සිටියි. මෙම ආර්ථික අර්බුද සමයේ මුලතිව් සිංහල කොළනිය වන වැලිඔය සිංහල ජනතාව ජීවත් වන්නේ කෙසේද? සම්පත්නුවර සහ කට්කුලම් අතර ගොවි ජනපද අප පසුකර යන්නේ වැලිඔය කතාවම නැවත නැවතත් අපට පෙන්වමින් ය.

මුලතිව් ප්‍රදේශයේ වගාවට තවමත් නිසි ජලසම්පාදනයක් නැත. කෙරෙන්නේ වැහි දියෙන් වගාව ය. වැලිඔය මෙන්ම මුලතිව් දෙසට ද වැව් ඇත. එහෙත් ඒවා පුරවන්නට දකුණෙන් වතුර දෙන්නට ක්‍රමයක් නැත. වැස්ස වැටුණ විට ඒ වැහි කඳුළ හෝ පුරවාගන්නට ඇල වේලී පිළිසකර කර නැත. බොහෝ වැව් ගොඩවී ඇත. අනුරාධපුර දිස්ත්‍රිකයේ පදවිය වැවේ සිට මුලතිව් දෙසට යනවිට වැව් බොහෝමයක් හමුවෙයි. ඒවා ගොඩවී ඇත. මේ වැව් අතර කැලේට වී සිටින තන්නිමුරුප්පු වැව තරමක් විශාල ය. ලංකා සිතියමකට මුහුන එබුවොත් ඔබටද මම මේ කියන කතාව පසක් වෙනු ඇත.

“බලන්න මහත්තයෝ අපි සිංහල නිසා අපිට ඒ වැවේ මාළු අල්ලන්න යන්න දෙන්නේ නෑ. දෙමළ මුස්ලිම් අය සමිතියක් හදාගෙන මාළු අල්ලනවා. මේක විශාල වැවක්. අපි දැන් කොච්චර කාලෙක ඉඳලද බලධාරීන්ගෙන් මේ වැවේ මාළු අල්ලන්න නීත්‍යානුකූල අවසරය ඉල්ලන්නේ. තවමත් නෑ. දැන් අපේ කොල්ලෝ හොරාට මාළු අල්ලනවා. බලන්න ළඟදිම වෙන වැඩේ මුන් දෙගොල්ලෝ තුන්ගොල්ලෝ මේ වැවට මරාගන්න ඉඩ තියෙනවා” මේ කතාව තන්නිමුරුප්පු වැව ගැන ය.
අර්බුදයේ මූලය
ලංකාවේ ප්‍රතිපත්ති සාදන උන්නැහේලා නියපොත්තෙන් කඩන්නට තිබෙන දල්ල මහා ගසක් සේ වැඩෙන කම් බලාසිටින්න හරිම දක්ෂය. යුද්ධය අවසන් කළ පසුව රාජ්‍ය හරියට හදාගත්තා නම් මේ කිසිඳු අවුලක් ඇති වන්නේ නැත. එබැවින් තුත්තිරිගස් සේ තිබුණ මෙවැනි ප්‍රශ්න මහා කරුවල ගස් තරම් උසට වැඩුණේ ය.
තිස් අවුරුදු යුද්ධය නිසා උතුරු නැගෙනහිර පුරා විද්‍යා උරුමය, බොහෝ විට වනාන්තරය යටකර ගත්තේ ය. සමහර ස්ථාන මේ නිසාම සුරක්ෂිත වුණ අතර තවත් ස්ථාන කැලෑ තුළ පැවති එල්ටීටීඊ ක්‍රියාකාරකම් නිසා විනාශය විය. යුද්ධය අවසන් වූ පසුව දෙමළ ජනතාවගේ ඉඩම් ඔවුන්ට නැවත ලබාදෙන නිසි ක්‍රමයක් තිබුණේ නැත. ඒ වෙනුවට සිදු වූයේ මහා පරිමාණ ඉඩම් මංකොල්ලයයි. නැගෙනහිර මුහුද අවට සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන රාජ්‍යයේ මංකොල්ලකෑමට ලක්විය. පානම ඉඩම් මංකොල්ලය එයට හොඳම නීදර්ශනය යි. මෙම නව තත්ත්වය යටතේ දෙමළ ජනතාවද හිතුමතේ ඉඩම් අත්පත් කරගැනීම සිදුවිය. එහි කිසිඳු වැරැද්දක් නැත. මේ වනවිට වගාකර තිබෙන ඉඩම් වල ගූගල් සිතියම් අවුරුදු 20ක් පසුපසට නිරීක්ෂණය කළා නම් මම මේ කියන කතාව ඔබට වැටහෙනු නියතය.

නැගෙනහිර උරුම කළමනාකරණය

2020 ජූනි මස 2 දිනැති අංක 2178/17 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා කාර්ය සාධක බලකායක් පත් කළේය. එම කාර්ය සාධක බලකාය ඒක-වාර්ගික විය. එනිසාම එයට උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවගෙන් කිසිඳු සහයෝගයක් ලැබුණේ නැත.

එහි ප්‍රධානත්වය ජෙනරාල් කමල් ගුණරත්නට ලබාදීම තත්ත්වය තවත් බරපතළ කළේය. එම කාර්‍යසාධක බලකායේ සෙසු සාමාජිකයන් ලෙස දෙරණ හිමිකරු දිලිත් ජයවීර, පූජ්‍ය එල්ලාවල මේධානන්ද, පූජ්‍ය පනාමුරේ තිලකවංශ, ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක (එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්), චන්ද්‍රා හේරත් (එවක ඉඩම් කොමසාරිස් ජනරාල්), ඒ. එල්. එස්. සී. පෙරේරා (මැනුම් පති), මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය කපිල ගුණවර්ධන, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එච්. ඊ. එම්. ඩබ්ලිව්. ජී. දිසානායක (නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් ) පත්වීම් ලැබීය.

මෙම පත්කිරීම් සිදුවීමත් සමග පූජ්‍ය පනාමුරේ තිලකවංශ භික්ෂුවගේ නැගෙනහිර ඉඩම් අත්පත් කරගැනීම් ඉතිහාසය සහ හැසිරීම් පිළිබඳව විශාල චෝදනා පැමිණියත් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එය ගණනකට ගත්තේ නැත. දැන් එම ක්‍රියාවලියේ ප්‍රථිපල පැමිණෙමින් තිබෙයි. කුරුන්දි විහාර අර්බුදය යනු දෙමළ ජනතාවගේද සිංහල ජනතාවගේද සිත් රිදවන්නේ නැතිව නිසි රාජ්‍ය කළමනාකාරීත්වයක් සහ නිසි පුරාවිද්‍යා මැදහත්වීමක් මාර්ගයෙන් විසඳාගන්නට තිබුණ ප්‍රශ්නයක් ය.

මෙවර අශ්වයා ගිය පසු ඉස්තාලය වසන්නට වුණේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහට ය. ඔහු කිසිඳු ඉවක් බවක් නැතිව දඩෝස් ගා දොර වසන්නට ගොස් දැන් ඉස්තාලයේ දොර දෙපළු වී ඇත. දැන් ඒ පළඳු පිරියම් කර නැවත දොර සාදාගැනීමට ජනාධිපතිවරයා මේ දොර කමිටුවකට භාර දෙන්නට සූදානම් ය.


පුරාවිද්‍යා රක්ෂිතය පිළිබඳ සත්‍ය කතාව

වව්නියාව ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලය සිය මුහුනු පොතට මෙම පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව සත්‍ය කතාව යැයි සටහනක් එක්කර ඇත. මෙම ස්ථානය කැනීම් කළ සහ සංරක්ෂණයට දායකවූ මෙම පිරිස දක්වන අදහස් වැදගත් නිසා මෙසේ උපුටමි.

“මෙම පුරාවිද්‍යා ස්ථානය මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ නාගචෝලේ වන රක්ෂිතයේ පිහිටා ඇති අතිශය වැදගත් බෞද්ධ ආරාමික නටබුන් පරිශ්‍රයකි. මළු තුනක් ආකාරයෙන් සකසා ඇති කඳු ගැටයක ඉහළම මළුවේ පිහිටා ඇති මෙම නටබුන් අතර කබොක් ගල්වලින් ඉදිකර ඇති ස්ථුපයක්, ප්‍රාකාර බැමි, ශිලා කුලුණු සහිත ගොඩනැගිලි, සඳකඩ පහන් සහ කැටයම් සහිත ශිලාමය උළුවහු සහිත පිළිම ගෙයක්, දැකගක හැකි අතර කුරුන්දි වැවට පහළින් ද බෞද්ධ ආරාමික නටබුන් හමුවන ස්ථානයක් පවතී.

අට්ඨකථාවන් හි සහ වංශකතාවන් හි “කුරුන්දක”, “කුරුන්ද”, “කුරුඥපාසක” යන නම්වලින් හඳුන්වා ඇත්තේ මෙම ස්ථානය යි. ඛල්ලාඨනාග රජු ක්‍රි.පූ 109-104 දී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවන අග්බෝ රජු ක්‍රි .ව. 571-604දී “කුරුන්දක” විහාරය පිළිසකර කරවා “කුරුන්දවාපි” නම් වැවක් ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවත්, පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව. 1055-1110) ද කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහ දැක්වූ බවත්, දෙවන පැරකුම්බා රජු විසින් (ක්‍රි .ව. 1236-1270) මෙහි පැවති කාලිංග මාඝගේ බල කඳවුරක් විනාශ කළ බවත් මහාවංශයේ සඳහන් වේ.

1905 පුරාවිද්‍යා පාලන වාර්තාවල මෙම ස්ථානයෙන් හමු වූ තුන්වන මිහිඳු රජුට අයත් සෙල්ලිපියක් ගැන සඳහන් වේ. එහි මෙම ප්‍රදේශය කුරුන්ගම නමින් හඳුන්වා ඇත. වැවේ පැවති දිය ආරවුලක් සංසිඳුවා මෙම සෙල්ලිපිය පිහිටවූ බව එහි සඳහන් වේ.  මෙම ස්ථානයේ පවතින නටබුන් පිළිබඳව යටත් විජිත සමයේ සිවිල් නිලධාරීන් වූ හෙන්රි පාර්කර්, ජේ.පී. ලෙවිස් විසින් වැඩිදුර විස්තර සඳහන් කර ඇත.

මෙම පුරාවිද්‍යා පරිශ්‍රය සහ අවට ප්‍රදේශය වර්ෂ 1933 මැයි 12 දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් අක්කර 78ක භූමි කොටසක් පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 2020 වසරේ නොවැම්බර් 26,27, 28, 29 දිනවල එම පැරණි මායිම් වසර 87කට පසු පාදාගැනීමේ කාර්යය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන්, මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කරන ලදී. එම සීමා මායිම් ගල් ඝන කැලය තුළ සියයට 90ක්ම නිරුපද්‍රිතව පැවති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මෙම සීමාවට ආවරණය නොවූ පුරාවිද්‍යා සාධක ඇති බව නිරීක්ෂණය වීමෙන් පසු 2020 වසරේ දෙසැම්බර් 02 දින වව්නියාව ප්‍රාදේශිය පුරා විද්‍යා කාර්යාල ගවේෂණ කණ්ඩායම විසින් කුරුන්දි වැවට පහළින් වනයෙන් වැසී ඇති ප්‍රදේශය, සහ කුරුන්දි ස්තූපය ඇතුලු සාධක විසිර ඇති ප්‍රාදේශිය වටා ගවේෂණය (ස්මාරක හඳුනා ගැනීමේ ගවේෂණයක්) කිරීමෙන් පසු මෙම ආරාමික පරිශ්‍රයේ ස්මාරක තවත් අක්කර 229ක පමණ විශාල ප්‍රදේශයක විහිදී ඇති බව නිරීක්ෂණය විය.

එම ස්මාරක සහ නටබුන් අතරට අනුරාධපුර යුගයේ අවසාන භාගයේ උදය IV (ක්‍රි .ව.946-954) රජුට අයත් පුවරු ලිපිය (අභයගිරිය ආරාමයට අනුබද්ධිත සිරිසඟබෝ රජමහ විහාරය නම් ආරාමයක් සම්බන්ධයෙන්, හා ඊට කල පුද සිරිත් පිළිබඳවත්, භික්ෂූන් වහන්සේලාගේ පොදු කැමැත්තෙන් තුන් නිකායවල් සමඟි කිරීම සම්බන්ධව එකඟ වූ කතිකාවතක් සහ අභයගිරි විහාරයේ සෙවයේ නියුතු නිලධාරීන් විසින් මෙම ස්ථානයේ තිබූ පධානඝරයටත්, පිළිම ගෙයටත් දෙන ලද දීමනා, වතාවත්, පුදසිරිත් පිළිබඳ අන්තර්ගත ලිපියකි)

මෙම සෙල්ලිපිය හමුවූ බව මුලින් හෙන්රි පාර්කර් විසින් වාර්තා කර තිබූ අතර 1949 පුරාවිද්‍යා පාලන වාර්තාවේ මෙම ලිපිය 1931දී ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර මහතා විසින් වාර්තාගත කර ඇත. වෙන්කළ අක්කර 78ක භූමියෙන් පරිභාහිරව මුරගල් ශිලා කුලුණු, පැරණි ගඩොල්, උළු සහිත ගොඩැගිල්ලක සාධක සහ ඒ අවට පිහිටි ශිලා කුලුණු සහ ගඩොල් සහිත ගොඩනැගිලි 10ක පමණ සාධක හමුවී ඇත.”

දැන් ප්‍රශ්නය විසඳන්නේ කෙසේද?
දැන් මහා විහාරයට කොතරම් ඉඩම් තිබුණා ද, අභයගිරියට ඉඩම් කොතරම් තිබුණාද, ජේතවනයට ඉඩම් කොතරම් තිබුණාද, වැනි ළමා ප්‍රශ්න වලින් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකි බව ඔබට අවබෝධ විය යුතුය.

ජාතික වැදගත්කමක් සහිත පුරාවිද්‍යා පරිශ්‍රවල ප්‍රධාන ස්මාරකයේ සිට යාර 400ක (මීටර් 365.76) විහිදී යන භූමයක් එම පුරාවිද්‍යා පරිශ්‍රයට අයත් වේ කියන නිර්ණායකය සහ පවතින පුරාවිද්‍යා සාධක ආවරණය වන අයුරින් මෙම අක්කර 229ක භූමි ප්‍රමාණය හඳුනාගත් බව වව්නියාව පුරාවිද්‍යා කාර්‍යාලය ප්‍රකාශ කරන තත්ත්වය තුළ සහ මේ රක්ෂිතය අවට ඉඩම් අත්පත් කරගැනීම් සිදුව ඇත්තේ 2018න් පසුව යන කරුණු සමග මේ ගැටලුව තවත් සංකීර්ණ වෙන බවයි මේ ලියුම්කරුගේ හැඟීම.

එහෙත් නිසි රාජ්‍යකරණයක් තුළින් මේ අවුල ලෙහාගන්නට බැරි නැත. ඒ පුරාවිද්‍යා උරුමය යනු එක ජාතියකට පමණක් අයිතිවෙන දෙයක් නොවෙන බැවින් ය. මෙම ස්ථානයේ කෝවිලක් පැවතී තිබෙන්නේ නම් ඒ සඳහා ද අවස්ථාව දිය යුතුය. එයද වහාම සංරක්ෂණය කළ යුතුය. මුලින්ම හිටෙව්වේ මොන ගලද යන සංකල්පයෙන් මේ ප්‍රශ්නය විසඳාගන්නට බැරි බව අප තේරුන් ගත යුතු ය.

අනෙක් පැත්තෙන් මෙම පුරාවිද්‍යා ස්මාරයකය අවට මේ වනවිට දෙමළ ජනයා වගාකටයුතු කරන්නේ නම්, ගෙවල් දොරවල් සාදා තිබෙන්නේ නම් ඊට විකල්ප ඉඩම් සහ වන්දි ලබාදිය යුතුය. මෙවැනි පුරාවිද්‍යා ස්ථානයක් ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාමට නොහැකිවීම ඒ ජනතාවගේ වරදක් නොව රාජ්‍යයේ වරදක් ය. එනිසා මෙම රක්ෂිත බිම නිසා කුමන හෝ ජනවර්ගයකට අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ සඳහා රාජ්‍යය වහාම මැදහත්ව කටයුතු කළ යුතුය.

එමෙන්ම මෙලෙස අලුතින් සොයාගන්නා පුරාවිද්‍යා ස්ථාන නැවත පන්සල් බවට පත් කිරීම හෝ භික්ෂූන් අතට පත් කිරීම නොකළ යුතුය. මෙම ස්ථාන සොයා පහදාගෙන සංරක්ෂණය කර පවත්වාගෙන යාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමය. ඔවුන් එම වඟකීම එක එක භික්ෂූන් වහන්සේලාට භාරකර අතපිහදාගැනීමත් මෙම ප්‍රශ්නය උත්සන්න වීමට එක හේතුවක් ය. යාල රක්ෂිතය ඇතුලත තිබෙන නටබුන් විහාරාම ගැන සිතූවොත් එම ස්ථාන මෙලෙසම භික්ෂූන් අත්පත් කරගන්නට ගියහොත් තත්ත්වය කෙබඳු විය හැකිද?

මේවනවිට මෙම කුරුන්දි විහාරයට විහාරාධිපති භික්ෂුවක් සිටී. එම භික්ෂුවට මෙම ස්ථානය අයිතිවන්නේ කෙසේද ආණ්ඩුව එය පැහැදිලි කළ යුතුය. විශේෂයෙන් උතුරු නැගෙනහිර මෙවැනි පුරාවිද්‍යා බිම් සංරක්ෂණය කිරීමේදී නැවත පන්සල් බවට පත් කිරීම නිසා ජනවාර්ගික ආතතිය ඉහළ යා හැකිය. අප ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.