You are currently viewing රාජ්‍යය නීත්‍යානුකූලව පුරවැසියන්ගේ මානව හිමිකම් කැඩීම..!

රාජ්‍යය නීත්‍යානුකූලව පුරවැසියන්ගේ මානව හිමිකම් කැඩීම..!

-කේ. සංජීව-

මේ වනවිට පසුගිය අප්‍රේල් 01 වෙනිදා මෝඩාභිමානය නම් ප්‍රහසන වැඩසටහනක් තුළදී, ප්‍රහසනයක් ඉදිරිපත් කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ, එම වැඩසටහන Colombo Comedy Central නම් යූ ටියුබ් නාලිකාවක් හරහා විකාශය කිරීමෙන් අනතුරුවය. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, ඇය ඉදිරිපත් කර ඇති ප්‍රහසන වැඩසටහන තුළින් ආගමික අපහාසයක් සිදුවී ඇතැයි යන සැකය මත අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවය.

ඉන්පසුව ඇයගේ ප්‍රකාශය විකාශය කළ නාලිකාවේ අයිතිකරුවා වන බෲනෝ දිවාකර ද එම පනත යටතේම අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහුට නැඟෙන චෝදනාව වන්නේ නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබල ලබාදීම ය.

නතාෂාගේ විහිළු වැඩසටහන අවසන් වනතුරු නැරඹූ බොහෝ දෙනෙක් අසන්නේ අයිසීසීපීආර් යනු කුමක්ද? යන්නයි. මේ ප්‍රශ්නයට වර්තමානයේ බොහෝ දෙනෙකුගේ උත්තරය වෙනු ඇත්තේ එය විරුද්ධ මත දරන්නන් මර්දනය වෙනුවෙන් සැකසූ නීතියක් බව ය. එයට හේතුව නීතියේ භාවිත වර්තමානය යි. ඇත්තටම මේ පනත ආවේ කොහොමද ? කොහෙන්ද ? කුමක් අරඹයාද ? යන්න මුලින්ම සොයා බැලිය යුතුය.

අයිසීසීපීආර් යනු ‘International Covenant on Civil and Political Rights’ යන්නෙහි කෙටි යෙදුමයි. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ලෙස මෙය සිංහලයට දමාගත හැකිය.

ජීවත්වීමේ අයිතියේ සිට භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස, තමන් කැමති ආගමක් ඇදහීම සඳහා පවතින නිදහස, මැතිවරණ සඳහා පවතින අයිතීන්, සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය වැනි පුද්ගලයන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්, ආරක්ෂා කිරීම, පවත්වාගෙන යාම මෙම සම්මුතියේ අරමුණයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල්වල නියෝජිතයන් අතර පැවති දීර්ඝ සාකච්ඡාවලියකින් පසුව මෙම සම්මුතිය 1966 දෙසැම්බර් 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල විසින් යෝජනා අංක 2200A (XXI) යටතේ සම්මත කරගෙන ඇත.

පසුව මෙම සම්මුතිය නීතියක් වශයෙන් 1976 මාර්තු 23 දින සිට බලාත්මක විය. ශ්‍රී ලංකාව මෙම සම්මුතිය සඳහා 1980 ජුනි 11 දින අත්සන් තබන අතර වසර 27කට පසුව එය ලංකාව තුළ බලාත්මක වෙන්නේ 2007 වර්ෂයේ දීය. ඒ ‘2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත’ ලෙස ය.

වෛරී ප්‍රකාශවලට විරුද්ධව

පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස ඇතුලුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පුළුල් කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා පිහිටුවනු ලැබූ මෙම නීතිය ලංකාව මෙතරම් කාලයක් ගොස් ස්ථාපනය කරන්නේ ඇයි? සහ ඒ කුමන පදනමකින්ද යන්න මෙහිදී සොයා බැලීම බෙහෙවින් වැදගත් ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන 2007 කාලයේදී මෙම සම්මුති පනත ලංකාවේ නීතිය ඇතුලට පැමිණෙන්නේ වෛරී ප්‍රකාශවලට විරුද්ධව ලංකාව තුළ ගොඩනැඟුණ පුරවැසි කතිකාවත නිසා ය. උස්ව නැඟුණ එම හඬට ප්‍රතිචාර වශයෙන් සහ යුරෝපා සංගමය පිරිනමන ජීඑස්පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා මෙම පනත ලංකාවේ නීතිය තුළ බලාත්මක කළත්, අසියානු මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ එය මෙරට තුළ පූර්ණ වශයෙන් ස්ථාපනය නොවුණ බවය.

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ අඩංගු සියලුම කරුණු සපිරි පනතක් තුළින් ස්ථාපනය කළ නීතියක් ලංකාවට නැති බව ප්‍රකාශ කරන එම කොමිසම, මෙසේ වැඩිදුරත් ප්‍රකාශ කරන්නේ “අයිසීසීපීආර් පනතෙන් කෙරෙන්න තිබුනේ එකයි. එයින් ප්‍රකාශයට පත් කරන්න තිබුන ජාත්‍යන්තර සම්මුතියේ ඇති අයිතිවාසිකම් ලංකාවේ නීතියට ඇතුල් කරන බවත්, ඒ මගින් ඒවා කඩන පුද්ගලයන්ට අපරාධ නීතිය යටතේ දඬුවම් කරන බවත් යන මූලික අදහස. එහෙත් එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ” යන්න යි. -1

මෙවැනි වටපිටාවක් තුළ බාගෙට වාගේ ස්ථාපනය කළ නීතිය අද විරුද්ධ මත දරන්නන් තලාපෙළන බුල්ඩෝසරයක් ලෙස භාවිතාවට ගනිමින් සිටියි. ඒ අනුව දේශපාලන අයිතීන් ආරක්ෂා කරගැනීම උදෙසා නිර්මානය කළ ලෝක සම්මුතිය රාජ්‍ය අනුග්‍රහයෙන් ලංකාව තුළ දේශපාලන අයිතීන් කෙළසීම සඳහා භාවිතා කරමින් තිබීම පිළිකුල් සහගතය. මේ අවභාවිතාව දිගින් දිගටම සිද්ධ වන්නේ මේ පනතේ 3වෙනි වගන්තිය යොදා ගනිමින් ය.

3 වෙනි වගන්තිය

2015 පෙබරවාරි 02 දා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙම අයිසීසීපීආර් පනතේ තුන් වෙනි වගන්තිය අවභාවිත කරමින් මුලින්ම අත්අඩංගුවට ගත් අතර ඉන්පසුව ලේඛක සක්තික සත්කුමාර, රහීම් මසාහිනා, රම්සි රසීක්,  ෆාසල් මුහම්මද් නිසාර්, මාධ්‍යවේදී සේපාල් අමරසිංහ, අත්අඩංගුවට ගත් අතර මෙම පිරිස අතරින් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේ ලේඛක සක්තික සත්කුමාරය. ‘අර්ධ’ නමින් කෙටිකතාවක් ලියූ නිසා ඔහුට නිකරුණේ සිරගතව සිටින්නට සිදුවූ කාලය දින 130 කි. පසුව නීතිපතිවරයාගේ නියමයෙන් නඩුව අවසන් කෙරුණි. ඒ 2021.01.25 නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් මූලස්ථානයට යොමුකළ ලිපියකට අනුව අධිකරණයට කරුණු දැක්වූ පසුවය. දින 130ක් ගතවූ පසුව නීතිපති දෙපාර්තමේන්තුව එම ලිපිය මාර්ගයෙන් අවධාරණය කර සිටියේ චූදිතයාට විරුද්ධව තවදුරටත් නීතිය මගින් කටයුතු කරන්නට බලාපොරොත්තු නොවෙන බවය. අහෝ අවභාවිතාවේ තරම කෙතරම්ද?

‘මතවාදී ජිහාඩයක්’ කළ යුතුයැයි මුහුනු පොතේ ලියූ රම්සි රාසික් හට ඒ වෙනුවෙන් මෙම තුන්වෙනි වගන්තිය ක්‍රියාත්මකවී මාස 05කට වඩා වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ තපින්නට සිදුවිය. ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ද මුලින් මේ පනතේ මේ වගන්තිය යොදාගෙන අත්අඩංගුවට ගෙන තිබුණත් පසුව පොලීසිය චෝදනා සංශෝධනය කළ බව වාර්තා වෙයි. නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගන්නට ප්‍රථම මෙවැනිම සිදුවීමක් අරඹයා දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නට පොලීසිය සූදානම් වූ අතර ඒ අතර තුර කාලයේදී ඔහු සිංගප්පූරුව බලා පිටත්වී තිබුණි. මෙහිදී ප්‍රකාශ වුණේ මේ දේවගැතිවරයාට රටින් පිටවීම සඳහා පොලීසිය යම් සහන කාලයක් ලබාදී ඇති බවය. මෙයින් පෙනෙන්නේ පනත අවභාවිතා කරන පරිමාව සහ එය කරණ ස්වරූපයයි. මෙයින් කියවෙන්නේ ලංකා රාජ්‍ය පනත අවභාවිතාවත් අවභාවිතා කරන බවය.

ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ 3වෙනි වගන්තය මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ අවභාවිතා කිරීම පිළිබඳව සිය නිරීක්ෂණ වාර්තාවකට ගොනුකරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (ආචාර්‍ය දීපිකා උඩගම සභාපති ලෙස සිටි කාලයේ ) ප්‍රකාශ කරන්නේ ලංකාව තුළ ක්‍රියාත්මක පනතේ 3වෙනි වගන්තිය අන්තර්ජාතික සම්මුති පනතේ 20වෙනි වගන්තිය හා අන්තර්ගතයෙන් සමාන වෙන බව ය.

20 වෙනි වගන්තියට අදාළ අන්තර්ජාතික නීති රාමුව කුමක්ද? එම අන්තර්ජාතික සම්මුතියේ 20 වෙනි වගන්තිය මෙසේ ය. “20-01 යුද්ධය සඳහා කෙරෙන සෑම ප්‍රචාරයක්ම නීතියෙන් තහනම් කළ යුතුය, 20-02 වෙනස්කමට වෛරයට හෝ සහාසික ක්‍රියාවලට පොළඹවන ජාතික වාර්ගික හෝ ආගමික ද්වේශය පැතිරවීම නීතියෙන් තහනම් කළ යුතු වේ.”

මෙහිදී එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්‍යාලය නිර්දේශ කරන්නේ අයිසීසීපීආර් සම්මුති පනතේ අදහස් ප්‍රකාශනයේ නිදහස පිළිගෙන ඇති 19 වැනි වගන්තිය සමග මෙම 20 වැනි වගන්තිය එකට කියවිය යුතු බව ය. එක්සත් ජාතීන් මෙසේ නිර්දේශ නිකුත් කරන්නට හේතුව කුමක්ද? එයට හේතුව මෙම 20 වෙනි වගන්තිය අවභාවිතා කරන්නට ඕනෑවටත් වඩා ඉඩහසර මෙම සම්මුති පනත මගින්ම විවරකර දී ඇති නිසා ය.

Rabat Plan of Action

අයිසීසීපීආර් සම්මුතියෙහි 20 වැනි වගන්තිය යටතේ පැවරෙන රාජ්‍ය වගකීම පැහැදිලි කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්‍යාලය විසින් දියත් කරනු ලැබූ “වෙනස්කමට, වෛරයට, හෝ සහාසික ක්‍රියාවලට පෙළඹවීම සිදුවන ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේශය පැතිරවීම තහනම් කිරීම” සඳහා වූ විශේෂඥ වැඩමුලු මාලාවකට සහභාගී වූවන් විසින් 20 වැනි වගන්තියෙහි අන්තර්ගත ආකාරයේ වෛරී පැතිරවීම් හඳුනා ගැනීම සඳහා අංග 06කින් සමන්විත පරීක්ෂණ ක්‍රියාවලියක් (threshold test) සම්පාදනය කර ඇත.

මෙම ක්‍රියාවලියෙහි අවසන් ප්‍රථිපලය රබාත් සැලැස්ම (Rabat plan of Action) ලෙස එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්‍යාලය ප්‍රකාශයට පත්කර ඇත.

එම සැලැස්ම පහත පරිදිය –

1/ සන්දර්භය – පැතිරවීම සිදුවන අවස්ථාවේ පවතින දේශපාලන සහ සමාජීය වාතාවරණය

2/ කතාකරන්නා – වෛරය පතුරවන පුද්ගලයාට තම අසන්නන් කෙරෙහි කිසියම් බලපෑමක් ඇති කිරීමට බලයක් තිබේද යන්න

3/ චේතනාව – කිසියම් පුද්ගලයෙකු තම ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාකයන් දැන දැනම ස්වෙච්ඡාවෙන් වෛරී අදහස් පතුරුවන්නේ නම් සහ එවන් ප්‍රතිවිපාකයන් වහාම සිදු වේ යැයි දැනුම ඇත්තේ නම් එවන් පුද්ගලයෙකුට මෙම වරදට අවශ්‍ය චේතනාව තිබේ.

මෙහිදී රබාත් ක්‍රියා සැලසුමට අනුව මෙවැනි පෙළඹවීමක තීරණාත්මක ලක්ෂණය වන්නේ චේතනාව යි. (2002 ජූලි 1 සිට ක්‍රියාත්මක අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියට අනුව චේතනාවේ අන්තර්ගතය පහත පරිදි වෙයි. රෝම ප්‍රඥප්තිය 30 (2) වගන්තිය – (අ) යම් කිසි ක්‍රියාවකට අදාළව පුද්ගලයෙකු එවන් ක්‍රියාවක නිරතවීමට අදහස් කළ බව, ආ) යම්කිසි ප්‍රතිවිපාකයකට අදාළව පුද්ගලයෙකු එවන් ප්‍රතිවිපාකයක් ඇති කිරීමට අදහස් කළ බව හෝ එවන් ප්‍රතිවිපාකයක් සාමාන්‍ය සිදුවීම් මාලාවක කොටසක් ලෙස සිදුවේ යැයි දැනුවත් බව)

4/ ප්‍රකාශනයේ අන්තර්ගතය සහ ස්භාවය – ප්‍රකාශනයේ ප්‍රකෝපකාරී ස්වභාවය, එහි ඉදිපත් කර ඇති තර්කය, භාවිතා කර ඇති ප්‍රකාශන මාධ්‍ය, ප්‍රකාශනයේ ස්වරය.

5/ ප්‍රකාශනයෙහි පරිමානය – ප්‍රකාශනය පොදු ස්‍ථානයකදී සිදුවේද? අසන්නන්ගේ ප්‍රමානය ආදිය..

6/ ආසන්න ලෙස සිදුවිය හැකි හානිය – පෙළඹවීමක් හේතුවෙන් ආසන්නයේම හානියක් සිදුවේයැයි සාධාරණ ලෙස අනුමාන කළ හැකි විය යුතුය.

මෙම රබාත් සැළසුම ගැන ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවේ මානවහිමිකම් කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කරන්නේ අයිසීසීපීආර් සම්මුති පනතේ 3 වෙනි වගන්තිය කඩකළා යැයි යම්කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නේ නම් එසේ ගන්නට ප්‍රථම මෙම කරුණු හය ඔස්සේ විමර්ෂනයක් සිදුකර ඉන්පසුව මෙම පනත යටතේ කටයුතු කරනවා දැයි තීරණය කළ යුතු බවය.

දිගින් දිගටම දේශපාලන පළිගැනීමක් වශයෙන් මෙම අයිසීසීපීආර් පනත යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය සැලකිල්ල දක්වමින් මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නිර්දේශයන් ඉදිරිපත් කරන්නේ 2019/08/29 වැනී ඈත දිනකදී ය. මෙම නිර්දේශයන් ඔබට පහතින් කියවිය හැකිය.

එහෙත් ලංකා රාජ්‍යය මෙම කොමිසමේ නිර්දේශයන් තුට්ටුවකට හෝ මායිම් කළ බවක් පෙනෙන්නට නැත. එසේ මායිම් කලානම් ‘ලබ්බ’ යන වචනය භාවිතා කළ සේපාල් අමරසිංහ හෝ විහිළු වැඩසටහනක් කළ නතාෂා එදිරිසූරිය හෝ අත්අඩංගුවට ගන්නට විදිහක් නැත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය සහ අයිසීසීපීආර් සම්මුති පනතේ 19 වැනි වගන්තිය මගින් ආරක්ෂා කර ඇති භාෂණයේ නිදහස සඳහා වන මූලික අයිතිය මේ අත්අඩංගුවට ගැනීම් හරහා නිරන්තරයෙන් ලංකා රාජ්‍යය විසින් සෘජුවම උල්ලංඝනය කරයි. එනිසා රබාත් සැළැස්ම භාවිතාවට ගන්න යැයි ලංකාවේ පොලීසියට වහාම බලකළ යුතුය.

අඩුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය සහ අයිසීසීපීආර් ජාත්‍යන්තර සම්මුති පනතේ 19වැනි වගන්තිය මෙම අදාළ තුන් වෙනි වගන්තිය සමග එකට කියවා ඒ ඔස්සේ කරුණු විමර්ෂනය කර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ යුතුයැයි පොලිස්පතිවරයා පොලිසීයට චක්‍රලේඛයක් නිකුත් කළ යුතුය.

එවැනි දෙයක් කළ නොහැකි නම් මේ පනත වහාම සංශෝධනයට ලක් කළ යුතු ය.

උපුටාගැනීම් -1 – https://sinhala.srilankabrief.org/?p=31568

ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කළ යෝජනාවලිය

ශක්තික සත්කුමාර නිදහස් කිරීම සඳහා නීතිපති යොමුකළ ලිපිය