You are currently viewing තුනෙන් දෙකක් කුනුවු කල ඉතිරියෙන් ගත හැකි ප්‍රයෝජනයක් නැත

තුනෙන් දෙකක් කුනුවු කල ඉතිරියෙන් ගත හැකි ප්‍රයෝජනයක් නැත

ලංකාවට අලුතෙන් හඳුන්වා දෙන්න යන ප්‍රතිත්‍රස්ත පනත පාර් ලිමේන්තුවේ න්‍යාය පුස්කයට ඇතුල් නොකරගන්න පුලුවන් නම් එවැනි උත්සාහයක් ලාංකික ප්‍රජාතන්තන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ මානව නිදහස යටතේ ඇති කරගන්න පුලුවන් මහා ජයග්‍රහනයක්. 

එතකොට කෙනෙකුට අහන්න පුලුවන් ලංකාව තුල ත්‍රස්තවාදය සමඟ ගනුදෙනු කරන්න නීතියක් අවශ්‍ය නැද්ද කියලා? ඒ පිලිබඳව කිසිදු ප්‍රශ්නයක් තිබෙන්නට බැහැ. එහෙම නීතියක් අවශ්‍යයයි. නමුත් මෙලෙසට ගෙන එන්න හදන ප්‍රතිත්‍රස්ත පනත නම් එවැනි අවශ්‍යතාවයකට සරිලන්නෙ නැහැ. මේ පනත මුලු මනින්ම නීති විද්‍යාවටත් පටහැනියි. එය ක්‍රියාත්මක වුනොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් මානව නිදහසටත් මරු පහරක් වෙන බව නම් සිකුරුයි. වරක් එංගලන්තයෙ විනිසුරු වරයකු වු ඇක්ටන් සාමි කියා තිබුනේ බලය දුෂනයට හේතු වන බවත් උපරිම බලය උපරිම දුෂනයට හේතු වන බවයි. යම් හෙයකින් මෙම පනත ලංකාවේ ක්‍රියාත්මක වුවහොත් පනත මඟින් පොලීසියට සන්නද්ධ සේවා වලට ලබා දී ඇති උපරිම බලය දේශපාලන බලයක් සමඟ සමපාත වුවහොත් එමඟින් ඇති කලහැකි අනිටු ප්‍රතිවිපාක විය හැකිව තිබේ. නීතියට කියන්නේ වැරදි කල පුද්ගලයකු අධිකරනයකින් වැරදීමකින් නිදහස ලැබීමකට වඩා නිර් දෝෂි  පුද්ගලයකු නීතියක් මඟින් දඬුවම් ලැබීම අප්‍රතිකාරී වරදක් වන බවයි. නව ත්‍රස්ත පනත යටතේ නිර් දෝෂි පුද්ගලයකු එසේ වරදකට හසු කරලීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහල බව කිව යුතුව තිබේ. නීති විද්‍යාවට අනුව වරදක් පනවන කොට එහි ස්ථාවර භාවයක් අපේක්ෂා කරනවා. ඊයේ වරදක් නොවන ක්‍රියාවකට අද වරද ආරෝපනය කරන්නට යනවනම් ඒ සඳහා අනුගමනය කල යුතු පිලිවෙතක් තිබෙනවා. නමුත්  ප්‍රතිත්‍රස්ත පනත ඒ ගැන හිතලා නැහැ.

එහෙම හදන වරදක් පිලිබඳව පූර් වේක්ෂණය  කරපු හමුදාවෙ, පොලීසියෙ වෙරලාරක්ෂක නිලධාරියකුට උපරිම බලය යොදලා කිසි වග විභාගයක් නැතිව ගෙදරකට වරෙන්තුවක් නැතිව ඇතුලුවෙලා වරන්තුවක් නැතිවම අත්අඩංගුවට ගන්න පුලුවන්. අපරාධ නඩු විධාන සංග්‍රහය මඟින් මෙවැනි ක්‍රියාවක් නියාමනය කරන්න සීමාවන් හඳුන්වලදීලා තිබෙනවා.  ප්‍රතිත්‍රස්ත පනත මඟින් මේ සියලු සීමා ඉවත් කරලා නිලධාරීන්ට හිතුවක් කරන්න අවසර දීලා තියෙනවා. ඒ ත්‍රස්තවාදය නාමයෙන්. ත්‍රස්තවාදී ක්‍රියාවක්ම කරන්න අවශ්‍ය නැහැ එවැන්නකට ආධාර අනුබල දෙනබවට උපකල්පනය කරලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න පුලුවන්.

එසේ අත්අඩංගුවට ගන්න යන කොට අවශ්‍ය නම් වාහනයක් අහස්යාත්‍රාවක් හෝ නෞකාවක් පවා නවත්වලා අත්අඩංගුවට ගන්න පුලුවන්. තවත් අවශ්‍ය නම් කලාපයක්ම තහනම් ප්‍රදේශයක් බවට නම් කරලා ජනතාවගේ සංචරනය තහනම් කරලා පුද්ගලයකු හෝ තහනම් භාන්ඩ අත්අඩංගුවට ගන්න පුලුවන්. එසේම මහෙස්ත්‍රාත්වරයකුට දැනුම් දීලා අත්අඩංගුවට ගත් පුද්ගයාගේ පුද්ගලික ගිනුම් තහනම් කරන්න පුලුවන්. දුරකතනයට  සවන් දීම සඳහා තොරතුරු දුරකථන සමාගමෙන් ලබා ගන්න පුලුවන්. ඒ පුද්ගලයගෙ දත්ත, හඬපට ලබා ගන්න පුලුවන්. ඒ සියල්ල කරලා ප්‍රමානවත් නැති නම් අදාල පුද්ගලයා නිවාස අඩස්සියෙ තබන්නත් පුලුවන්. එහෙම ලබා ගන්න සාක්ෂි මත වරදක් කිරීමට අදාලව විතරක් නෙමෙයි වරදකට අනුබල දීම කුමන්ත්‍රනය කිරීම පදනම් කර ගෙන අදාල වරදට පනත නියම කරලා තිබෙන දඬුවම් මහාධිකරනයෙන් ලබා දීලා ඊට අමතරව ඒ පුද්ගලයා සතු පෞද්ගලික දේපලත් රාජසන්තක කරන්න පුලුවන්. වරදක් කරන ඊට අනුබල දෙන හෝ කුමන්ත්‍රනය කරන පුද්ගයන් පමනක් නෙමෙයි එවැනි වරදක් සිදුවන බව දනිමින් එය වසන් කරන පුද්ගලයන්ටත් වරදක ආරෝපනය කරන්න පුලුවන්  ප්‍රතිත්‍රස්ත පනත කියනවා.

මේ සියල්ල ත්‍රස්තවාදියකුට අත්විඳින්න වීමයි නිර් දෝෂි  පුද්ගලයකුට වැරදිලා හෝ අත්විඳින්නට වීමයි කියන්නේ තත්ව දෙකක් බව කිව යුතුව තිබේ. ප්‍රතිත්‍රස්ත පනත තුල වරද අර්ථ නිරුපනය කොට තිබෙන අයුර දෙස බලන කල නිලධාරියකුට එසේ වරදින්න හෝ වැරදි විදියට නීතිය නවන්න තිබෙන ඉඩකඩ සහ සමභාවිතාවය ඉහල ගොස් තිබේ.

ලංකාවට ත්‍රස්තවාදය කියන වචනය පුරුදු කලේ කුට්ටුමනීගේ ටීඑන්ටී කියන කන්ඩායමයි. එල්ටීටියෙ ප්‍රභාකරන් මෙරට තුල ත්‍රස්තවාදය ප්‍රචලිත කරනු ලැබුයේය. නමුත් ප්‍රභාකරන්ගෙ ත්‍රස්තවාදය 2009 පරාජය කරන ලද්දේ 1979 දී හඳුන්වාදුන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා නොව එය මිලිටරිමය ලෙස පරාජය කිරීම නිසාය. නැවතත් සර්හාන් 2018 දි ත්‍රස්තවාදය කියන වචනය අපට මතක් කොට දී තිබුනි. . 87-89 යුගයෙදි ජවිපෙයද  ත්‍රස්තවාදය දේශපාලන උපක්‍රමයක් ලෙස භාවිතා කොට තිබුනි.

වර් තමාන  ලෝකය තුල ත්‍රස්තවාදය යන්න මිනිස් සමාජය සමග අතිනත බැඳ ගත් සංකල්පයක්වී තිබේ. එම නිසා ත්‍රස්තවාදයට වැට බැඳීමට නීති අවශ්‍යව තිබේ. දේශපාලන විද්‍යාවට අනුව ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදී ක්‍රියා කරන්නන්ගේ මනෝභාවයට අනුව ත්‍රස්තවාදය වර් ගීකරනයකට ලක් කොට තිබේ. ඒ අනුව ත්‍රස්තවාදය පුද්ගයකු විසින් තනිව කරන ක්‍රියාවක් ලෙස හෝ දේශපාලන ගොනුවක් විසින් භාවිතා කරනු ලබන දේශපාලන උපක්‍රමයක් ලෙස ත්‍රස්තවාදය භාවිතා කිරීම මෙන්ම බොරු ත්‍රස්තවාදය ලෙස හඳුන්වාදී තිබේ. සේපාල ඒකනායක අලිටාලියා ගුවන් යානය පැහැරගන්නා විට එය හැඳින්විය හැක්කේ පුද්ගල ත්‍රස්තවාදයක් ලෙසටය. 70 දශකයේ පීඑල්ඕ සංවිධානය වෙනුවෙන ලයිලා කලීඩ් නමැති කාන්තාව ගුවන් යානයක් පැහැර ගනිද්දී එය දේශපාලන ත්‍රස්තවාදයක් ලෙස හඳුන්වනු ලැබීය. බෝම්බයක් ඇතැයි කටකතාවක් සමාජය තුල වපුරා සමාජය බිය ගැන්වීම බොරු ත්‍රස්තවාදය ලෙස ගැනෙති. මෙයින් පෙන්වන්නේ ත්‍රස්තවාදය අරුත් ගැන්වීමට ඇති අසීරුතාවයයි. එම නිසා ත්‍රස්තවාදයට ඒකමානීය අර්ථයක් ලබාදීමට යාම එතරම් ගුනදායක වන්නේ නැත. නමුත්  ප්‍රතිත්‍රස්ත පනත තුල දක්වා ඇති වරද මගින් උත්සාහ දරා ඇත්තේ එවන් ඒකමානීය වරදක් ගොඩනැංවීමටය. එසේ කලවිට සිදුවන්නේ උද්ඝෝෂණයක පවතින කැරලිකාරීත්වය හා ත්‍රස්තවාදය අතර පවතින ගුනාත්මක වෙනස බොඳවීමයි. එම ක්‍රියාවන් දෙකෙහි අරමුනු වෙනස්වුවද එම අරමුනු සඳහා භාවිතා කරනු ලබන බොහෝ ක්‍රියා එක ගොඩකට ලා සැලකීමට බලධාරීන්ට අවස්තාවක් හිමිකර දීමයි.

මේ වෙනස තේරුම් ගැනීමට නම් අපට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1947 දෙසැම්බර් මස 17 දින ප්‍රකාෂයට පත්කල මානවහිමිකම් ප්‍රඥප්තියේ පුර් විකාව කියවිය යුතුව තිබේ. පූර් විකාව කියන්නේ රටක නීති මඟින් එරටේ මිනිසුන්ගේ මානවහිමිකම් ආරක්ෂා නොකරන කල ජනතාව කැරලි ගැසීමට පෙලඹෙන බවය. එසේ කැරලිගැසීම වැලැක්වීමට නම් රටක නීති මඟින් එරට මිනිසුන්ගේ මානවහිමිකම් හා මුලික ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කල යුතු බවය.

නමුත් කැරලිකාරීත්වයට හා උද්ඝෝෂනයන්ට එරෙහි පැරනි චින්තන ගුරුකුල සිතුවේ දැඩි දඬුවම් හඳුන්වාදීම මඟින් සමාජය තුල කැරලිකාරීත්වයන් උද්ඝෝෂනයන් මෙන්ම ත්‍රස්තවාදයද මැඩ පවත්වා සමාජය තුල නීතියේ ආධිපත්‍ය පවත්වා ගත හැකි බවය. මේ සඳහා හොඳම උදාහරන සපයන්නේ උතුරු අයර්ලන්ත කැරලි කරුවන් සමඟ සටන් කරන අවධියේ එවකට වු බ්‍රිතාන්‍ය රාජ්‍ය විසින් හඳුන්වාදුන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා එම අවදියේදීම දකුනු අප්‍රිකාවේ වර් න බේදවාදී රාජ්‍ය විසින් හඳුන්වාදී තිබුන ප්‍රතිකොමියුනිස්ට් පනතයි.

ශ්‍රී ලංකාවද 1979 දී ඉහත රාජ්‍යයන් අනුගමනය කරමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හඳුන්වාදී තිබුනි. එම පනතේ පුර් විකාව  මඟින් කියා තිබුනේද දැඩි දඬුවම් හා කාර් ය පටිපාටික නීති හඳුන්වාදෙමින් ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කලයුතු බවත් එමඟින් නීතියේ ආධිපත්‍ය රැකගැනීමේ වැදගත්කමය. 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හඳුන්වාදුන්නේ තාවකාලික විධිවිධාන පනතක් ලෙසටය. එම නිසාම ශ්‍රේෂ්ඨාධිකරනය ඒ තුල පැවති මුලික මානවහිමිකම් උල්ලංඝනය වන බවට අර්ථ නිරෑපනය කරන්නට ගියේ නැත. එම පනත උතුරේ හා දකුනේ පැවති කැරලි දෙකක් පවතින අවධියෙහි ක්‍රියාත්මක වුයේය. ත්‍රස්තවාදය මැඩ පැවත්වීම කෙසේ වෙතත් එම පනත ක්‍රියාත්මකවීම තුලින් පුරවැසියන්ගේ මානවහිමිකම් උල්ලංඝනයවීම් පිලිබඳව දැඩි කතා බහක් එදා සිට අද දක්වාම සමාජය තුල මතුවී තිබුනි.

එම කතිකාව තුල මතු කරන ලද්දේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංඝනය කරන බවය. එම පනතේ සඳහන් ඇතැම් කාර් ය පටිපාටික නීති පවතින පොදු නීති වන අපරාධ නඩු විධාන සංග්‍රහය හා සාක්ෂි නීතිය මඟින් හඳුන්වාදී තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය කරන බවය. එසේම හඳුන්වාදී තිබුනු වරද හා ඒ සඳහා නියම කොට තිබු දඬුවම් පොදු නීතිය වන දන්ඩ නීති සංඝහය මඟින් එවැනි ඝනයේ වැරදි සඳහා පනවා දඬුවම් සමඟ සමග සංසන්දනය කරන කල වරද හා දඬුවම අතර පවතින සම්බන්දය අනුපාතික නොවන බව හා අසාධාරන බවය. එම පනත මඟින් අපරාධ යුක්තිය හා චුදිතයාගේ අයිතිවාසිකම් අතර පවත්වාගෙන යායුතු සමතුලිතතාවය බිඳ දමා ඇති බවය. එසේම රාජ්‍යයක් ලෙස දැනටමත් අප අනුමත කොට පිලිගන්නා ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ මුලධ ර් මයන්ට පටහැනි වන බවය.

ඒ අනුව එකී කතිකාව තුලින් මතුවු සමාජමය එකඟතාවුයේ; ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවා එම පනත පූර් න ලෙස අත්හිටුවන්නටය. තවද ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා නව නීති හඳුන්වාදෙන්නේ නම් එම වරද හා දඬුවම්. දන්ඩ නීති සංඝ්‍රහය තුලටත් කාර් ය පටිපාටික නීති අපරාධ නඩු විධාන සංඝ්‍රහයටත් ඇතුලත් කිරීමට වගබලගන්නා ලෙසටය. එසේම කුමන ආකාරයකට හෝ හඳුන්වාදෙන නව ත්‍රස්තවිරෝධී පනතක් තුල ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මඟින් පිලිගන්නා මුලික රාමුවක් තුල ක්‍රියාත්මක කරන ලෙසටය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පිලිබඳ සමාජ කථිකාවද සමාජ එකඟතාවයන් එසේ තිබියදී වර් තමාන ප්‍රති ත්‍රස්ත පනත හඳුන්වා දී තිබෙන්නේ 1979 ට පෙර අප විසු අවධියට යන්නය. ඇතමෙකු එම පනත මඟින් හඳුන්වාදී ඇති චුදිතයන් ගේ අයිතිවාසිකම් මෙන්ම මානව හිමිකම් කොමිසමට හා අධිකරන විමර්ෂනයන්ට පනත යටතේ ගනු ලබන ඔනෑම ක්‍රියාවක් යටත් කොට ඇති බව කියමින් යම් සංශෝදනයන්ට යටත් කලහොත් එහි ගතයුත්තක් ඇතැයි කියන සෙයක් පෙනෙති. නමුත් අඹ ගෙඩියකින තුනෙන් දෙකක් කුනුවු කල ඉතිරියෙන් ගත හැකි ප්‍රයෝජනයක් නැත. මෙය පරිසමාප්ත අර් ථයෙන්ම මෙම පනත orwalian පන්නයේ නීතියකි. එහි තේරුම නම් එම නීතිය එකාධිපති පාලනයකට,පොලිස් රාජ්‍යයකට අතවනනු ලබන පනතක් බවය.. වරෙක අමරිකානු දේශපාලඥයකු වු තෝමස් ජෙෆර්සන් ප්‍රකාෂ කොට තිබුනේ මිනිසුන් දෙවියන් ලෙස හැසිරෙන්නේ නම් අපට රාජ්‍යයක් අවශ්‍ය නොවන බවයි. දෙවියන් ලෙස නොහැසිරෙන මිනිසුන් සිටින සමාජය එවැනි මිනිසුන් විසින් තෝරාපත් කරගන්නා පාලනයකට මෙවැනි නීතියක් ලබා දීම අතිශය බියකරු අත්දැකීමකට සමාජයක් මුහුනදීමට නොහැක්කේ යයි අපට තර් ක කල හැකිද? එම නිසා කල යුත්තේ මෙම ප්‍රති ත්‍රස්ත පනත පාර් ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයට පවා ඇතුලුවීම වලක්වාලීමය.

Leave a Reply