මීට දින කිහිපයකට පෙර පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ නියෝග පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් දින 03 ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා තිබෙනවා. කොමිසමේ ලේකම් එම් ඒ බී දයා සෙනරත් මහතා විසින් අදාළ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර තිබෙනවා.
මැයි මස 27 වනදා දිනැතිව පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පිරිසකට යොමු කළ ලිපියක දැක්වුණේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එදින යොමු කළ ලිපියකට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකර ඇති බලතල පැවරීම ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සේවයේ අවශ්‍යතාව මත ස්ථාන මාරු කිරීමට නියෝග කරන බවයි. එලෙස ස්ථාන මාරු කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ඩී ආර් එස් දමින්ද සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල් කේ ඩබ්ලිව් කේ සිල්වා යි.
ඒ අනුව අදාල ලිපිය තුළින් පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු ස්ථාන මාරුකර ඇති බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී අවධානය යොමු කළ බව සඳහන්. එමෙන්ම එම ලිපියේ සඳහන් වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්,ස්ථාන මාරුකිරීමේ බලතල අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පටිපාටිවලට අනුකූලව සිදුකිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පවරා ඇති බවයි.
නමුත්, එවැනි ස්ථාන මාරු කිරීමේ පටිපාටි කිසිවක් කොමිෂන් සභාවේ අනුමැතියට ඉදිරිපත් කර නොමැති නිසා නිලධාරීන් මාරු කිරීමට පෙර සිය කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු බවට ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇති බව එම ලිපියේ සඳහන් වෙනවා.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් ඔහුට පවරා දී ඇති බලතල ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දින 03 ක් ඇතුළත රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන බවයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.
අදාළ වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි ජූනි 03 වන දිනට පෙර තමන් වෙත යොමු කරන ලෙස ද එම කොමිසමේ ලේකම්වරයා, අදාළ ලිපිය මගින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා තිබෙනවා.
