You are currently viewing ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ස.ජ.බ. ගෙන එනු ලබන යෝජනා කෙටුම්පත් පිලිබඳ විවරණය:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ස.ජ.බ. ගෙන එනු ලබන යෝජනා කෙටුම්පත් පිලිබඳ විවරණය:

1.       4 වන ව්‍යවස්ථාව  සංශෝධනය  කරමින් 4(ආ) ඡේදයෙ සඳහන් විධායක බලය හසුරුවන  ජනාධිපතිධුරයේ ස්වරූපය ජනාධිපති හා කැබිනට් මණ්ඩලයට පවරයි. මෙම සංශෝධනය බැලු බැල්මට 83 ව්‍යවස්ථාව  අනුව ජනමත විචාරණයකට තුඩු නොදෙන්නකි.

2.       එසේම 4(ඉ) ව්‍යවස්ථාව  සංශෝධනය කරමින් ජනාධිපතිවරයකු පත් කරගැනීමේ ඡන්දයක් පැවැත්වීම මින් මතුවට ජනතාවගේ පරමාධිපත්‍ය භාවිතා කිරීමේදඡන්දය භාවිතා කිරීමක් ලෙස නොසලකයි.මෙම සංශෝදනය බැලු බැල්මට 83 ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයකට තුඩු නොදෙන්නකි.

3.       නමුත් 4 ව්‍යවස්ථාව  යනු,  3 ව්‍යවස්ථාව  මගින් විධිවිධාන සලසා ඇති පරමාධිපත්‍ය විස්තර කරනු ලබන ව්‍යවස්ථාව  වන නිසා ඉහත සඳහන් සංශෝධන  දෙකම 3 ව්‍යවස්ථාවේ  සඳහන් ජනතාවගේ විධායක බලය සහ ඡන්ද අයිතියට ගෙන එනු ලබන සංශෝධනයක්  වන්නේය යයි තර්ක කල හැකි වන අතර ඒ අනුව 83 ව්‍යවස්ථාවට පටහැනිවීමේ පදනමින් එම සංශෝධනය  අනුමත කර ගැනීම සඳහා 3/2 බලයට අමතරව ජනමත විචාණයකට යා යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් නියෝග කිරීමේ ඉහල සම්භාවිතාවක් පවතී.

4.       ඒ අනුව ඉහත 4 වන වගන්තියට ගෙන එනු ලබන සංශෝධන  දෙක අනුමත වන්නේ නම් රටේ විධායක ජනාධිපති ධුරය නාමික විධායකයක් බවට පත්වනු ලබයි.

5.       3 වන සංශෝදනය මගින් 30 ව්‍යවස්ථාවට සංශෝධන  ගෙන එනු ලබන අතර ඉහතින් යෝජනා කොට ඇති නාමික විධායක බලතල හෙබි ජනාධිපති වරයාගේ බලතල හා තෝරා පත් කිරීම හා තනතුර පවත්වා ගෙන යාම විස්තර කිරීම සඳහාය. මෙම  සංශෝධනයද බැලු බැල්මට 83 ව්‍යවස්ථාව  අනුව ජනමත විචාරණයකට තුඩු නොදෙන්නකි. ඒ අනුව,

       I. ජනරජයේ ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා නොවන බවත් නව ජනාධිපතිවරයා ආ.ක්‍ර.ව්‍ය.ට අනුකුලව

          ක්‍රියාත්මක වන ජනාධිපතිවරයකු බව ප්‍රකාශ කොට තිබේ. {3(අ)}

       II. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසින් රහසිගත ඡන්දයෙන් තෝරා පත් කරනු ඇත {(3(ආ), (ඉ)}

       III ධූර කාලය වසර පහක් වන්නේය.

 6. නමුත්, 31 ව්‍යවස්ථාව සංශෝදනය කිරීම යනු,  3 ව්‍යවස්ථාව  මගින් විධිවිධාන සලසා ඇති පරමාධිපත්‍යය විස්තර කරනු

     ලබන ව්‍යවස්ථාවේ  විධායක බලය සීමා කිරීමට ගෙන එනු ලබන සංශෝදනයක් වන්නේය යැයි තර්ක කල හැකි වන

      අතර ඒ අනුව 83 ව්‍යවස්ථාවට පටහැනිවීමේ පදනමින් එම සංශෝධන  අනුමත කර ගැනීම සඳහා 3/2 බලයට

      අමතරව ජනමත විචාරණයකට යායුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් නියෝග කිරීමේ ඉහල සම්භාවිතාවක් පවතී.

 7. ඉහත යෝජිත ප්‍රතිපාදන අනුව ආ.ක්‍ර.ව්‍ය. තුල දැනට පවතින 31 වන ව්‍යවස්ථාව  එනම් ජනාධිපතිවරයා තෝරා පත්

    කරගැනීම හා ධුර කාලයට අදාල ප්‍රතිපාදන අනවශ්‍ය වන බැවින් 4 වන සංශෝධනය  මගින් 31  ව්‍යවස්ථාව  කපා හැර

    තිබේ.

8. 5 වන සංශෝධනය මගින් 33 ව්‍යවස්ථාවේ  සඳහන් ජනාධිපතිවරයාගේ බලතල නාමික ජනාධිපතිවරයකුට සරිලන පරිදි

    සංශෝධනය  කර තිබේ.

9. 6 වන සංශෝධනය මගින් 33 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ඇති බලතලයක් ලෙස :

     I. මහජන ආරාක්ෂාවට අදාල හදිසි නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව පවරා දී තිබේ.

     II. නමුත් එම බලයද ඇතුලුව ජනාධිපතිවරයා භාවිතා කරනු ලබන සියලු බලතල අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව

         ක්‍රියා කල යුතු බවට විධි විධාන සලසා තිබේ.

10. 7 වන සංශෝධනය මගින් 34 ව්‍යවස්ථාව සඳහන් අපරාධ දන්ඩනයක් ලද තැනැත්තුකට සමාව දීමේදී ජනාධිපතිවරයා

    අගමැති වරයාගේ සහ විපක්ෂනායක වරයාගේ එකඟත්වයෙන් කටයුතු කලයුතු බව දැක්වේ.

11. 8 වන සංශෝදනය මගින් 35 ව්‍යවස්ථාවේ සඳහන් ජනාධිපති සහිත මුක්තිය තව දුරටත් සීමා කොට තිබේ. ඒ අනුව

      ජනාධිපතිට එරෙහිව ඒ වන විටත් පවරා ඇති නඩුවකට අදාලව හෝ ජනාධිපති යටතේවු විශයකට අදාලව පවරන නඩු

      වලින් මුක්තිය ලැබීමට තිබු අයිතිය ඉවත් කොට තිබේ.

 12. 9 වන සංශෝධනය  මගින් 37 වන ව්‍යවස්ථාව  සංශෝධනය  කොට ජනාධිපතිගේ නොහැකියාව මත එම ධුරයේ වැඩ

       බැලීම සඳහා කතානායක වරයා පත් කිරීමට යෝජනා කොට තිබේ. එසේම 37(2) ව්‍යවස්ථාව යටතේ

       ජනාධිපතිවරයාගේ අශක්නුතාවයක් මත නව ජනාධිපතිවරයකු පත් කිරීමේ කාර්ය පටිපාටිය සංශෝදනයට ලක් කොට

       තිබේ.

   13. 10 වන සංශෝධනය  මගින් 38 වන ව්‍යවස්ථාවේ  2 උප ව්‍යවස්ථාවේ  දැක්වෙන දෝෂාභියෝගයට අදාල විධිවිදාන

         සංශෝධනය  කරමින් පාර්ලිමේන්තුවේ ⅓ යෝජනාවක් මත ගෙන එනු ලබන යෝජනාවක් මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් අඩක්  

        සම්මත කිරීමෙන් ජනාධිපති ඉවත් කල හැකි බවට ප්‍රතිපාදන සලසා තිබේ.

 14.11 වන සංශෝධනය ජනාධිපතිවරයා 39 ව්‍යවස්ථාවේ  දැක්වෙන අශක්නුතාවයකට යටත් වන කල එම තනතුරේ වැඩ

        බැලීමට අදාල සංශෝධන  වන්නේය.

  15. 12 වන සංශෝධනය මගින් 40 ව්‍යවස්ථාවේ දැක්වෙන ජනාධිපතිවරයකුගේ ධුරය හිස්වීම හා අනුප්‍රාප්තියට අදාල

         විධිවිදාන කපා හැර තිබේ.

   16.13 වන සංශෝධනය මගින් 41 ව්‍යවස්ථාවේ දැක්වෙන ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය නිර්ණය කිරීම කැබිනට්

          මණ්ඩලය යටතට පත් කොට තිබේ.

    17. 14 වන සංශෝධනය මගින් 20 සංශෝදනය මගින් ආ.ක්‍ර.ව්‍ය. 41 ව්‍යවස්ථාවට එකතු කරනු ලැබු VII ඡේදය ඉවත්

          කොට සංශෝධන සහිතව නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හඳුන්වාදී තිබේ. මෙහිලා ස.ජ.බ යෝජනා සහ

          විජේදාස රාජපක්ෂ යෝජනා අතර සන්සන්දනයක් ඇති කර ගැනීම වැදගත් වන්නේය.

        සංයුතිය;

           ස.ජ.බ යෝජනා.                                                                    

            I. කතානායක

            II. අග්‍රාමාත්‍ය

            III. විරුද්ධ පක්ෂ නායක

            IV. අග්‍රාමාත්‍ය හා විපක්ෂ නායක එක්ව පත් කරන තැනැත්තන් 5ක්

             V. අග්‍රාමාත්‍ය හා විපක්ෂ නායක අයත් නොවන පක්ෂ වල

                 පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත ජනාධිපති

                 පත් කරනු ලබන තැනැත්තකු

       විජයදාස රාජපක්ෂ යෝජනා:

             I. අග්‍රාමාත්‍යවරයා,

             II. කතානායක

             III. විරුද්ධ පක්ෂ නායක

             IV.  ජනාධිපති පත් කරන පා.ම. වරයකු

             V. අග්‍රාමාත්‍ය හා විපක්ෂ නායක එක්ව පත් කරනු ලබන පා.ම. 2

             VI. වෟත්තීයවේදීන්ගේ සංගමය විසින් පත් කරන වෟත්තීයවේදියෙක්

             VII.ශ්‍රී ලංකා වානිජ සභාව විසින් නම් කරනු ලබන තැනැත්තෙක්

             VIII විශ්ව විද්‍යාල කොමිෂන් සභාව නිර්දේශ කරන මහාචාර්යවරයෙක්

              IX. අග්‍රාමාත්‍ය හා විපක්ෂ නායක අයත් නොවන පක්ෂ වල පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත ජනාධිපති

                 පත් කරනු ලබන මන්ත්‍රීවරයකු

පත්කරනු ලබන කාර්ය පටිපාටිය බොහෝ දුරට යෝජනාවන් දෙකෙහිම සමාන වන්නේය.

ඉහත ස.ජ.බ යෝජනාවන්හි  IV යටතේද වි.රා. යෝජනා යටතේ V,VI,VII යටතේ පත් කරනු ලබන තැනැත්තන් වෘත්තීය  හා සමාජීය විවිධත්වය හා බහුත්ත්ව ලක්ෂන පෙන්නුම් කරන, විශිෂ්ඨ හා අවංක කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්දයක් නැති තැනැත්තන් පාර්ලිමේන්තුවේ අදහස් විමසීමෙන් අනතුරුව පත් කල යුතුය.

එම තැනැත්තන්ගේ නාම යෝජනා ජනාධිපතිට ඉදිරිපත් කොට දින 14 තුල පත් කලයුතු අතර එසේ නොවන්නේ නම් ඔවුන් දින 14 අවසානයේ දී නිතැතින්ම පත්වීම ලබයි.

සභාවේ ප්‍රධානත්වය කතානායකට හිමි වන්නේය. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද විටදී ද අනාගත ආණ්ඩුව පිහිටුවන තෙක් බලපැවැත්වෙන්නේය.

පත් කිරීම් වලට අදාල ස.ජ.බ යෝජනා:

රජය තනතුරක් සඳහා පත් කිරීම සඳහා සභාවේ නිර්දේශ අනිවාර්ය වන අතර ජනාධිපතිගේ පත් කිරීමෙන් පසු සභාවේ අනුමැතියද අනිවාර්ය වන්නේය. පත් කිරීම සඳහා වන නිර්ණායක 41ආ(3) වගන්තිය මගින් දක්වා තිබේ. නිර්දේශ මත දින 14 තුල පත් කිරීම ජනාධිපති විසින් නොකරන්නේ නම් එම නිර්දේශ අතරින් පලමු තැනැත්තා පත්වීම ලබයි.

උප ලේඛනයේ සඳහන් සියලු කොමිශන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට ප්‍රතිපාදන සලසා තිබේ. මේ යටතට කොළඹ වරාය නගර ආර්ථික කොමිශන් සභාවද ඇතුලත් කර තිබේ.

ඉහල අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීමේදී අගවිනිසුරු විමසිය යුතු බවට ප්‍රතිපාදනය කොට තිබේ.

18. 15 වන සංශෝදනය මගින් ආ.ව්‍ය.වේ VIII වන ඡේදය ඉවත් කොට නව 42 ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා බලතල සඳහා නව විධිවිදාන සලසා තිබේ. ඒ යටතේ ජනරජයේ ආණ්ඩුවේ පාලනයට අදාල විධානය කැබිනට් මන්ඩලය විසින් ලබා දෙන බවද, කැබිනට්ටුව සාමුහිකව පාර්ලිමේන්තුවට වගකියන බවද, එහි ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයා වන බවද, පර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමව සතු මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා විසින් පත් කල යුතු බවටද, එසේ තෝරා පත් කරනු ලබන පලමු අවස්ථාවේදීම විශ්වාසය පල කිරීමේ යෝජනාවක් ගෙන ආයුතු බවටද විධිවිදාන සලසා තිබේ.

නව 43 ව්‍යවස්ථාව  යටතේ ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් මත අමාත්‍යවරුන් සංඛ්‍යාවද, අමාත්‍යංශ සංඛ්‍යාවද විෂය පථයන්ද නිර්ණය කරනු ඇත.

නව 46 ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මන්ඩලය 25 නොඉක්මවිය යුතු අතර රාජ්‍ය ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ මුළු සංඛ්‍යාව 25 ක් නොඉක්මවිය යුතුය.

නව 48 ව්‍යවස්ථාවට අනුව අගමැති ධුරය දැරීම නතර වු විට කැබිනට් මණ්ඩලය විසිරෙන්නේය.

නව 52 ව්‍යවස්ථාවට අනුව අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම අගමැතිගේ උපදෙස් මත ජනාධිපති සිදුකරනු ලබයි.

විජයදාස රාජපක්ෂ යොජනා අනුව 44 ව්‍යවස්ථාව සහ 45 ව්‍යවස්ථාවේ (1) ජේදය සහ (2) ජේදය සංශෝදනය කර අගමැති උපදෙස් මත අමාත්‍යවරුන් සහ නියොජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට ද ,46 ව්‍යවස්ථාව ‘අගමැතිගේ උපදෙස් මත ‘ ලෙස සංශෝධනය කර ඇත.එසේම 47 වන ව්‍යවස්ථාව අවලංගු කිරීමට ද මෙමගින් යෝජනා ක්ර ඇත.

19. 16 සංශෝදනය මගින් ව්‍යවස්ථාවේ 54 වගන්තිය සංශෝදනය කොට රාජ්‍ය සේවා කොමිශන් සභාවේ සංයුතිය 9 දක්වා වෙනස් කොට තිබේ.

20. 17 හා 18 වන සංශෝදන මගින් 61ඉ (ආ) ව්‍යවස්ථාව ද, 65 ව්‍යවස්ථාව ද සංශෝදනය කරමින් වගන්ති පරස්පරතා නැති කොට තිබේ.

21. 19 සංශෝධනය මගින් 70 ව්‍යවස්ථාව සංශෝදනය කරමින් නිශ්චිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පාර්ලිමේන්තුවේ අඩකට නොඅඩු යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමකට ජනාධිපතිගෙන් ඉල්ලා සිටිය හැකි බවට ප්‍රතිපාදන දක්වා ඇති අතර නිශ්චිත කාලවකවානුවකින් මෙපිටට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල ජනාධිපති වරයාගෙන් ඉවත් කොට තිබේ.

22. 20 සංශෝදනය මගින් 78 ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක් න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට දින 14 පෙර ගැසට් කල යුතු බව දක්වා පුරවැසියන්ට අධිකරණය ඉදිරියේ පනතක් අභියෝග කිරීමට ලබා දී ඇති දින 7 ක කාලය දීර්ඝ කිරීමට යෝජනා කොට තිබේ.

23.21 සංශෝදනය මගින් 80 ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සලසා ඇති ආකාරයට පනත් කෙටුම්පතක් සහිතක කිරීම ජනාධිපති අපොහොසත් වන අවස්ථාවක හා ජනමත විචාරණය වලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබියදීත් ජනාධිපති එය සහතික නොකරන අවස්ථාවක එකී කෙටුම්පත සහතික කිරීමට අපොහොසත් වන දිනයේ සිට දින 14 කට පසුව එය සම්මතවුවා යයි සැලකිය යුතු බවට යෝජනා කොට තිබේ.

24. 22 සංශෝදනය මගින් 85 ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සලසා ඇති ආකාරයට පනත් කෙටුම්පතක් ⅔ කින් අනුමත කොට ජනමත විචාරණයට යොමු කිරීමට නියම කොට තිබියදී ජනාධිපති එම කාර්ය පැහැර හැරියහොත් එම කෙටුම්පත ජනමත විචාරණයකයකට යොමුකොට සම්මතවුවා යයි සැලකිය යුතු බවට යෝජනා කොට තිබේ.

25. 25සංශෝධනය මගින් 91 වන ව්‍යවස්ථාව සංශෝධනය කර 25(xiii) සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන් සඳහා මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට,41ව්‍යවස්ථාවේ සඳහන්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු වීමට සහ 41 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් කොමිෂන් සභාවක සාමාජිකයෙකු වීමට ඇති අවස්ථාවන් ඉවත් කිරීමට යෝජනා කර ඇත.

26. 23,24,26,27 සංශෝධන මගින් නාමික ජනාධිපතිධුරයක් ඇති කිරීම තුලින් 88,89,91,92,93 තුල ඇතිවන භාෂාමය අනනුකුලතා ඉවත් කිරීමට සිදු කරන යෝජනාවන් වන්නේය.

27. 28 සංශෝදනය මගින් 94 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයකු තෝරා පත් කිරීමට අදාල ප්‍රතිපාදනය ඉවත් කොට තිබේ.

28. 29 සංශෝදනය මගින් 95 ව්‍යවස්ථාව මගින් සීමා නිර්නය කොමිසමේ සාමාජිකයකුගේ පුරප්පාඩුවක් සඳහා ජනාධිපති විසින් පත් කරනු ලබන විට එම පත් කිරීම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත සිදු කල යුතු බවට යෝජනා කර තිබේ.

29. 30 සංශෝදනය මගින් 99 ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදනය කොට ඇති සමානුපාතික ඡන්දයෙන් තෝරාපත් කරගනු ලැබු මහජන මන්ත්‍රීවරයකු විනය විරෝධීව කටයුතු කරනු ලැබ තම පක්ෂයෙන් නෙරපනු ලැබ ඇති අවස්ථාවක එවැනි මන්ත්‍රීවරයකුගේ අයිතිවාසිකම් දැක්වෙන 13 අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදය හා 14 අනු ව්‍යවස්ථාව ඉවත් කොට නව අතුරු විධානයන් දෙකක් එක් කිරීමට යෝජනා කොට තිබේ. ඒ යටතේ;

–     එවැනි නෙරපීමකට අදාල පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය  ඉදිරියේ පවත්වාගෙන ක්‍රියාපටිපාටිය ඉදිරිපත් කරමින් නඩුවේ අධිකරන බලය පක්ෂයක් විසින් අදාල නෙරපා හැරීමට පෙර අනුගමනය කල ක්‍රියාපටිපාටිය නොව නෙරපාහැරීම හා එයට පාදක වන හේතුව විනිශ්චයට ලක් කලයුතු බවට යෝජනා කර තිබේ.

–     යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් නෙරපා හැරීම වලංගු නොවන බව තීරණය  කරන ලද විටක එම මන්ත්‍රීවරයා තමන් පාර්ලිමේන්තුවට තේරීපත් වන පක්ෂය හැර වෙනත් පක්ෂයක් විසින් පිහිටුවනු ලබන රජයක අගමැති ධුරය හෝ ඇමති ධුරයක් දැරීමට සුදුස්සෙක් නොවන බවට යෝජනා කොට තිබේ.

–     එවැනි නෙරපීමක් සිදු කර ඇති අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය  ඉදිරියේ හැර වෙනත් අධිකරණයක නඩු පවරා තහනම් නියෝග ලබා ගත නොහැකි බවට යෝජනා කොට තිබේ.

30. 31,32,33,34,35, 36,37,38,39,40 සංශෝධන  මගින් මැතිවරණ  කොමිසම, උපරිමාධිකරණය,මහාධිකරණ  පත් කිරීම්,අධිකරණ සේවා කොමිසම, විගණකාධිපති වරයා,153 වගන්තිය යටතේ පත් කරනු ලබන සියලු කොමිසම් වල පත් කිරීම් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති විසින් පත් කිරීමට යෝජනා කොට තිබේ.

31. 41 සංශෝදනය මගින් විගණන සේවා කොමිසම නැවත ස්ථාපිත කොට එහි නියෝජිතයින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති විසින් පත් කිරීමට යෝජනා කොට තිබේ.

32. 42 සංශෝදනය මගින් 154 ව්‍යවස්ථාවේ  1 ඡේදය ඉවත් කොට 20 සංශෝදනය මගින් විගණකාධිපතිවරයාගෙන් ඉවත් කරන ලද නමුත් 19 සංශෝදනය යටතේ නම් කොට තිබු සියලු රාජ්‍ය ආයතන හා රාජ්‍ය සමාගම් රාජ්‍ය විගණනයට යටත් කිරීමට යෝජනා කොට තිබේ.

33. 43, 44, 45, 46, 47, 48, 49 සංශෝදන මගින් 153(ඊ), 154(ජ), 155(අ) ,155(ඊ)(ඊ) ඉවත් කිරීමටද, 155(ඊ)(ඊ)(ඊ) ව්‍යවසථාවට පසුව 155 (උ),(උ),(එ),(ඒ),(ඖ),(ඔ) ලෙස නව වගන්ති එකතු කිරීමටද, පැවතුන 155(ම) ව්‍යවස්ථාව  ඉවත් කොට නව 155ම ලෙස නව ව්‍යවස්තාවක් එකතු කිරීමට කටයුතු කරමින් විඝණන සේවා කොමිශන් සභාව හා විගණකාධිපතිවරයා අදාල වෙනස්කම්ද, ජාතික පොලිස් කොමිසම ට සාමාජිකයන් 7 දෙනකු පත් කිරීමටටද, එහි බලතල පිලිබඳ සංශෝදනයන් ඇතුලු වෙනත් වලන්තිමය පරස්පරතා ඉවත් කරනු ලබන සංශෝදනයන්ද ඉදිරිපත් කොට තිබේ.

34. 50 සංශෝදනය මගින් 156 වගන්තිය සංශෝදනය කරමින් ඔම්බුඩ්ස්මන් වරයාට අදාල බලතල සඳහා අනුරුප පරස්පරතාද ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත අදාල පත් කිරීමට ද යෝජනා කොට තිබේ.

35. 51 සංශෝදනය මගින් ආ.ක්‍ර.ව්‍ය. XIX පරිච්ඡේදයට ඉක්බිතිව නව පර්ච්ඡේද XIX-අ, XIX-ආ, XIX-ඇ, XIX-ඈ ලෙස එක්කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ෂනය කිරීම සඳහාවු කොමිසමට අදාළව, ජාතික ප්‍රසම්පාදන කොමිසම පිහිටුවීමටද, ජාතික ආරක්ෂක මණ්ඩලය පිහිටුවීමටද,රාජ්‍ය කවුන්සිලයක් පිහිටුවීමටද යෝජනා කොට තිබේ. එම යෝජනා අතර;

–     අල්ලස් හෝ දුෂණ විමර්ෂනය කිරීම සඳහාවු කොමිසම සඳහා දුෂණයට එරෙහි ජාත්‍යන්තර වගකීම් සැලකිල්ලට නව නීතියක් සැකසීමේ ව්‍යවස්ථාමය වගකීමක් පාර්ලිමේන්තුවට ආරෝපනය කිරීමට යෝජනා කොට  තිබේ.

–     රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා උපමාන පරිපාටි සකස් කොට නියාමනය කිරීමට බලතල යෝජනා කොට තිබේ.

–     රාජ්‍ය කවුන්සිලය නමින් ජාතික වැදගත්කමින් යුතු විශයන් සාකච්ඡා කිරීම සඳහා බලරහිත සාකච්ඡා සභාවක් ස්ථාපිත කිරීමට යෝජනා කොට තිබේ.

36. 52 සංශෝධනය මගින් 170 ව්‍යවස්ථාවේ දැක්වෙන රාජ්‍ය නිළධාරියා යන නිර්වචනයට ව්‍යවස්ථාදායක සභාව යන වචනය එකතු කිරීමට යෝජනා කොට තිබේ.

37. 53 සංශෝධනය මගින් අර්ථ නිරුපනයේදී සිංහල භාෂාව බලාත්මක වන බවත් 54 සංශෝධනය මගින් සැක දුරු කිරීමේ වගන්තියක් හඳුන්වාදී තිබේ.

නීතීඥ ශිරාල් ලක්තිලක