You are currently viewing පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත…

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත…

මාර්තු  9 වැනිදා පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා පෞද්ගලික දත්ත ආරක්ෂණ
පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනී‍මට
නියමිතය.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ විසින් ජනවාරි මස 20 වැනිදා
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතින් තොරතුරු දැන ගැනීමේ
පනතේ විධිවිධාන සහ බලය හීන වන බවත්, පෞද්ගලික දත්ත ජනමාධ්‍ය කටයුතු සඳහා
භාවිත කිරීමට දැඩි බාධාවක් එල්ලවන බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා විභාග
කිරීමට මෙන්ම දඬුවම් නියම කිරීමට ද ස්වාධීන නොවන ආයතනයකට බලය හිමිවන බවත්
පෙන්වා දෙයි.

දත්ත ආරක්ෂක පනත පිළිබඳ යම් සොයා බැලීමක් කිරීමට අප තීරණය කළෙමු. ඒ අනුව
පළමු මෙම පනත කුමක්ද? ඒ වටා ඇති පරිසරය කුමක්ද? යන්න හඳුනාගැනීම වැදගත්
වේ. නූතනයේ අප සම්ප්‍රදායිකව බොහෝදෙනා දකිමින් සිටින ලෝකය තුළ නොවන බව
සංවාදයට පූර්විකාවක් ලෙස ලියා තැබිය යුතුය.

අප ජීවත්වන්නේ දත්ත මතින් ගොඩනැගුණු තොරතුරු ලෝකයකය. එම නිසාම නූතන
මානවයාගේ පැවැත්ම කෙ‍රෙහි දත්ත සහ තොරතුරුවල ආරක්ෂාව සාධනීය ලෙස බලපානු
ලබයි. උදාහරණයක් ලෙස ඔබට අයත් පෞද්ගලික දත්ත ඔබගේ අවසරයෙන් තොරව වෙනත්
අයෙකුට භාවිත කිරීමට ඉඩ නොදීමේ අයිතිය ඔබ සතුවිය යුතුය. එය තොරතුරු
පෞද්ගලිකත්වය (data privacy) ලෙස නූතන ලෝකයා හඳුන්වති.

ලෝකයට පළමුවරට පෞද්ගලික දත්ත ආරක්ෂණ නීතියක අවශ්‍යතාවය මතු කරන්නේ වන්නේ
යුරෝපා සංගමය‍ තුළිණි. 1981දී යුරෝපා සංගම් විසින් දත්ත ආරක්ෂණය පිළිබඳ
සම්මුතියක් මුල්වරට සම්මත කරගැනීම සිදුව තිබේ. එමඟින් දත්ත හිමිකරැවන්ගේ
මෙන්ම එම දත්ත භාවිත කරන්නන්ගේද සමස්ත සමාජයේම අයිතිවාසිකම් ආරක්ෂා
කිරීමට අපේක්ෂා කෙරුණි. ඉහත සම්මුතිය අනුගමනය කරමින් වසර 1998 දී
බ්‍රිතාන්‍යයද තම දත්ත ආරක්ෂණ පනත (United Kingdom Data Protection Act)
නීතිගත කර ඇත. ඊට අනුව කෙන‍කුගේ පෞද්ගලික ජීවිතය හෝ ව්‍යාපාර සම්බන්ධ
අසත්‍ය තොරතුරු ප්‍ර‍චාරණය වැළැක්වීම මෙන්ම සත්‍ය වූ තොරතුරැ ඒවායේ
හිමිකරැවන්ගේ අවසරය‍කින් තොරව අනාවරණය කිරීම හෝ ප්‍රයෝ‍ජනයට ගැනීම
සීමාකිරීම සිදුව තිබේ. මෙය වෙනම සාකච්ඡාවට බඳුන් කළ යුතු ශාස්ත්‍රීය
පදනමක් සහිත විෂයයකි. කෙසේ වෙතත් අපගේ අවධායනට ලක්විය යුත්තේ ශ්‍රී ලංකාව
තුළ වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද යන්න පිළිබඳවයි.

වර්තමානයේ සමාජ ජාලා වෙබ් අඩවි පිළිබඳ මෙරට ඇති වී තිබෙන සංවාද දෙසට
අවධානය යොමුකළ යුතුව ඇත. පෞද්ගලික ජීවිතය හෝ ව්‍යාපාර සම්බන්ධ අසත්‍ය
තොරතුරු ප්‍ර‍චාරණය මෙරට නීතිමය ගැටලු මතුවෙමින් පවතින කරුණකි. සත්‍ය
තොරතුරු වුවද හිමිකරුවන්ගේ අවසරයෙන් තොරව අනාවරණය කිරීම පිළිබඳ ගැටලු
මතුව ඇත. උදාහරණයක් යම් යම් තොරතුරු, ඡායාරූප විවිධ වෙබ් අඩවිවලින් ඉවත්
කරන ලෙසට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට මෙරටදී බොහෝදෙනා උත්සාහ කරමින්
සිටිති. නමුත් ඊට අදාළ සෘජු නීති නිසා ඇතැම් විට එම අවස්ථාවන් මඟහැරී
යයි. ශ්‍රී ලංකාවට ශක්තිමත් දත්ත ආරක්ෂණ නීතියක් අත්‍යාවශ්‍යය යන තර්කය
මතුවූයේ මේ ආදී පදනමක් මතය.

2019- ජූනි

එවක ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති අජිත් පී. පෙරේරා
මහතා මේ හා සම්බන්ධ ප්‍රකාශයක් කර තිබුණි. ඊට අනුව කියැවුණේ තොරතුරැ
දැනගැනීමට ඇති මූලික අයිතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන යෝජිත දත්ත
ආරක්ෂණ පනතට අදාළ කෙටුම්පතේ ප්‍රතිපත්ති රාමුව මේ වනවිට සකස්කර අවසන්
බවයි. මෙය දීර්ඝ සංවාද සහ ක්‍රියාවලිය ප්‍රතිඵල ලෙස සිදුකරන ලද
ප්‍රකාශයකි. අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ
වෙබ් අඩවිවලට ප්‍රතිපත්ති රාමුව ඇතුළත් කර තිබෙන බවත් මේ පනත් කෙටුම්පතට
ඇතුළත් වියයුතු කරුණු මොනවාද යන්න සම්බන්ධයෙන් මේ මස 24දා තෙක් ලිඛිතව
කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදී තිබෙන බවත් මෙහි දී අමාත්‍යවරයා
තවදුරටත් හෙළිකළේය. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පෙර
මේ සම්බන්ධයෙන් මහජන මත විමසුම සඳහා මේ මස 27දා කොළඹ, ගාලුමුවදොර
හෝටලයේදී වැඩමුළුවක් සංවිධානය කර තිබෙන බවත් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ
විද්වතුන්, නීති විශාරදයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගිවීමට නියමිතව
තිබෙන බවත් මෙහිදී හෙළිවිය. මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ඉදිරි මාස
දෙකක කාලයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව ප්‍රකාශ වී
තිබුණි.

මෙම ප්‍රකාශයන් පසු එළඹි කාලය තුළදී විවිධ ආයතන සංවිධානය සහ පුද්ගලයන් නව
පනත පිළිබඳ විරෝධාකල්ප පෙරදැරිව කතාබහ කරන්නට වූහ.ඒ හරහා නිර්මාණය වූ
ආන්දෝලනයයි. මෙහිදී ඉදිරිපත්ව ඇති කරුණු කිහිපයක් පොදුවේ ගත් කළ මෙසේය.
දැනට තිබෙන සැලසුම අනුව දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට ආණ්ඩුව
සැලසුම් කර තිබේ. එම අධිකාරිය දේශපාලනික වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව
ඔවුන්ගේ අදහසයි. එසේ වුවහොත් මහජන දත්ත තොරතුරැ දේශපාලන පක්ෂ සහ
පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත අවභාවිතා වීමට හැකියාවක් ඇතැයි ඔවුහු පෙන්වා
දෙයි. එම නිසා එවන් ආයතනයක් ස්වාධීන වීමට අදාළ පත්කිරීම ආදීය සිදුවිය
යුතු ආකාරයේ විනිවිදභාවය අවධානය කෙරේ.

මීළඟ මහජන අදහස් ලබා ගැනීමට ලබා දී ඇති සති දෙක කාලය ප්‍රමාණවත් නොවන
බවටද අදහස් මතුව තිබේ. එමෙන්ම මෙම ක්‍රියාවලිය කාලවේලාව ලබාගෙන කළ
යුත්තක් යැයි ඔවුහු පවසති. සිංහල දෙමළ මාධ්‍යවලින් පනත් කෙටුම්පත මහජන
අදහස් විමසුමට ඉදිරිපත් නොවීමේ ගැටලුවක් ගැන චෝදනා එල්ලවෙමින් පවතී. මේ
ආදී විවිධ දුබලතා මෙම පනතට අදාළව පෙන්වා දෙන අතර ශ්‍රී ලංකා පරිවර්තනය
සමූහය ඉහළින්ම සිටින අතර ඔවුන් මාධ්‍ය නිවේදනයක් පවා මේ පිළිබඳ නිකුත් කර
තිබේ.

පනත ගෙන ඒම මෙන්ම ඉදිරිපත් වන විරෝධයන් ඉතා සාධනීය ලෙස ගත යුතුය.
පැහැදිලි විචාරයකින් තොරව කිසිසේත්ම මෙවන් පනතක් ගෙන ඒම නොකළ යුත්තකි.
මන්ද ඕනෑම ආණ්ඩුවක් පාලනයක් මෙවන් පනතක් තම වාසියට පෙරළා ගැනීමට
මැලිවෙතැයි කීම නොහැක්කකි. මෙම සංවාද සහභාගීත්වය ප්‍රමාණාත්මකව ඉහළ යා
යුතුව තිබේ. තොරතුරැ දැනගැනීමේ අයිතිය නව පනත හරහා අභියෝගයකට ලක්වෙතැයි
පැතිර යන මතවාදයක් ඇති බව කිවයුතුය. එයද ලොව මෙවන් පනත් ගෙන එනවිට බොහෝ
රටවල සංවාදයට ලක්වෙන තේමාවකි. මේ සියල්ලෙන් අවධාරණය වන්නේ මෙම පනත පිළිබඳ
පුළුල් අවධානයක අවශ්‍යතාවයි.

දත්ත ආරක්ෂණ පනත පිළිබඳ සංවාදයේ මහජන කෝණයෙන් අවධාරණය කළ යුතු කරුණු
කිහිපයක් අවසානයේ මෙසේ දක්වමු. දත්ත තොරතුරැ යන නූතන ලෝකයේ මුදල් පරයන
වටිනාකම ඇති දෙයක් බව අප මතක තබා ගත යුතුය. තොරතුරු පාලනය කරන්නන් ලෝකය
පාලනය කරන යුගය උදාවෙමින් පවතින බව විශ්වාස කළ යුතුමය. ඊළඟ ලෝක යුද්ධය
තොරතුරැ වෙනුවෙන් කරන්නක් නොවේ යැයි අනාවැකි කීම කිසිවෙක්ට කළ නොහැක්කකි.
ඉතින් ඔබගේ තොරතුරැ පිළිබඳ ඔබේ අවධානය කොපමණද?

පුද්ගලික දත්ත සුරක්‍ෂිත කිරීම, තොරතුරු වල රහස්‍ය භාවය පවත්වා ගැනීම සහ
පුද්ගලික තොරතුරු සඳහා වගවීම තහවුරු කිරීම වෙනුවෙන් සම්පාදිත පෞද්ගලික
දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පතෙහි සාර්ථක ක්‍රියාකාරීත්වයක් සඳහා වන ප්‍රධාන
නිර්දේශයන් 5 ක් වෙත නීති සම්පාදක කමිටුවේ අවධානය යොමු කිරීමට
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පියවර ගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේද, තොරතුරු, පුරවැසියන්ට සවියක් මෙන්ම අවියක් ද
වෙමින් පවතින පසුබිමක, පෞද්ගලික තොරතුරු වල සුරක්ෂිතභාවය සඳහා නීතිමය
රාමුවක් නිර්මාණය වීම මානව අයිතිවාසිකම් ජයග්‍රහණයේ වැදගත් සංධිස්ථානයක්
වනු නොඅනුමානයි.

පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට සහ ඒවා වගවීමෙන් යුතුව
පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගැනීම පිළිබඳව අදාළ
පාර්ශවයන්ට සිය කෘතඥතාවය පල කරන අතරම, මෙම පනත සඳහා වඩාත් ඵලදායී වූ
නීතිමය බලාත්මක වීමක් උදෙසා සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු 5 ක්
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිර්දේශ කර සිටී.

1.පුද්ගලික දත්ත සුරක්ෂිත කිරීමේ නීතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය අභිබවා
යෑම සහ එම නීතීන් දෙක අතර ගැටීමක් ඇතිවීම වැළක්වීම උදෙසා ව්‍යතිරේඛයක්
ඇතුළත් කිරීම.

2.පනතේ මූලික පරමාර්ථය තහවුරු වීම උදෙසා, ස්වාධීන දත්ත සුරක්‍ෂිත කිරීමේ
අධිකාරියක් පිහිටුවීම.

3.පුද්ගලික දත්ත සුරක්‍ෂිත කිරීමේ පනතේ එන “පුද්ගලික දත්ත” යන්නෙහි
නිර්වචනය කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට අනුකූල කිරීම. මේ
මඟින් කිසියම් පෞද්ගලික තොරතුරක් තොරතුරු දැනගැනීමේ පනත හරහා ලබා
ගැනීමේදී එය පුද්ගලික දත්ත සුරක්ෂිත කිරීමේ නීතිය සමඟ ගැටීමට ඇති ඉඩ කඩ
අවම කරනු ඇත.

4.මූල්‍යමය තොරතුරු සහ අපරාධ වැරදි, අපරාධ නඩු සහ අධිකරණයෙන් වැරදිකරුවන්
වීම යන තොරතුරු, “පුද්ගලික දත්ත සුවිශේෂී වර්ගීකරණයෙන්” ඉවත් කිරීම. මේ
හරහා දුෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් අපරාධ සම්බන්ධ තොරතුරු වලට ප්‍රවේශ
වීමට පුරවැසියාට ඇති හැකියාව සුරැකෙනු ඇත.

5.පුද්ගලික දත්ත ආරක්ෂණ වැඩපිළිවෙල තුළ “ජනමාධ්‍යවේදී අරමුණු” වෙනුවෙන්
වෙන් වූ කොන්දේසියක් ඇතුලත් කිරීම. ජනමාධ්‍යවේදීන්ට තොරතුරු ලබා ගැනීමේ
මාර්ගයන් අනවශ්‍ය ආකාරයෙන් අවහිර නොවන බවට මෙම නිර්දේශය මඟින් සහතික කරනු
ඇත.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ නීතීඥ
නදීෂානි පෙරේරා මහත්මිය, පුද්ගලික දත්ත ආරක්‍ෂණ පනතට ඉහත නිර්දේශයන්
ඇතුළත් කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙසේ පවසා සිටී: “පුද්ගලික දත්ත
ආරක්‍ෂණ පනත හරහා තොරතුරු දැනගැනීමේ අයිතියෙහි යම් වාරණයක් සිදු වුවහොත්,
මෙම නීතී දෙක පිළිබඳවම ජනතාව තුළ ඇති විශ්වාසය පලුදු වීමේ ඉඩකඩක් ඇති අතර
එම නීති ක්‍රියාත්මක කරන ආයතන අතරද ව්‍යාකූලත්වයක් ඇති වීමේ අවධානමක්
පවතී. එහෙයින් මෙම පනත් දෙකෙහිම අරමුණු සාක්ෂාත් කරගත හැකි පරිදි යෝජිත
නීතිය සංශෝධනය වීම අතිශයින් වැදගත් වේ.”

ඉහත සඳහන් නිර්දේශයන් මඟින්  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා
ආයතනය විසින් අවධාරණය කරනු ලබන්නේ පුද්ගලික දත්ත සුරක්‍ෂිත කිරීමේ නීතිමය
රාමුවට මුවා වී පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා වීමට ඇති
අවකාශයන් අවහිර කර දැමීමේ වැදගත්කමයි.

එමෙන්ම, මෙම පනත හරහා අදාළ නීතිය සාර්ථකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය වන
අනෙක් තීරණාත්මක සාධකය නම්, දේශපාලනික බලපෑම් වලින් තොරව පුරවැසියාගේ
අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ හැකි පුද්ගලික දත්ත සුරක්‍ෂිත කිරීමේ
ස්වාධීන ආයතනයක් මේ හරහා පිහිටුවා ගැනීමයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සම්පාදනය කරන ලද
මෙම නීති සමාලෝචන වාර්තාව නීති සම්පාදක කමිටුවේ අවධානය සඳහා නීති
කෙටුම්පත් සම්පාදක දෙපාර්තුමේන්තුවේ දිල්රුක්‍ෂි සමරවීර මහත්මියට සහ
පුද්ගලික දත්ත සුරක්‍ෂිත කිරීම පනත් කෙටුම්පත් සම්පාදක කමිටුවේ ප්‍රධානී
ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත යවන ලදී.

පුද්ගලික දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත සම්පාදනය කිරීමට මුලාරම්භයසිදු කරනු
ලැබුවේ 2018 වර්ෂයේ වන අතර නීති සම්පාදක කමිටුවක් විසින් සම්පාදනය කරනු
ලැබූ කෙටුම්පත, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තුමේන්තුව විසින් 2019
දෙසැම්බර් මස දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.2020 ජනවාරි
මසදී එයට කැබිනට් අනුමැතිය ලැබිණි.අවසාන වශයෙන් පුද්ගලික දත්ත ආරක්‍ෂණ
පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්‍ෂණයට යොමු කරනු ලදුව, පනත් සම්පාදක
කමිටුව විසින් නීතිපතිවරයාගේ ප්‍රතිචාරයන්ද ඇතුළත් කරමින් කෙටුම්පත්
ක්‍රියාවලිය 2020 ඔක්තෝම්බර් මසදී අවසන්කරන ලදී.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් තුළ තොරතුරු වලට ප්‍රවේශ වීමේ අයිතිය
මෙන්ම සිය පෞද්ගලික තොරතුරු වලට ආරක්‍ෂාවක් ලැබීමද පුරවැසියාගේ
අයිතිවාසිකමකි. එබැවින් අදාළ නීති කෙටුම්පත් සැකසීමේදී සියලු පුරවැසි
අයිතීන් අතර නීතිමය ගැටුම් ඇති නොවන බවට සහතික වන මෙන්  ට්‍රාන්ස්පේරන්සි
ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නීති සම්පාදක අධිකාරීන්ගෙන් ඉල්ලා සිටී.

‘අධිකරණයක් නොවන සහ ස්වාධීන නොවූ අයතනයකට රුපියල් කෝටියක් (මිලියන 10ක්)
දක්වා වූ දඩයක් පැමිණවීමේ බලය ලබා දෙමින් පුරවැසියන්ගේ මූලික
අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත්
කෙටුම්පත සම්මත කිරීමට පෙර එහි වගන්ති 09ක් සංශෝධනය කරන ලෙස ඉල්ලමින්
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
සියලුම මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට, තොරතුරු දැන ගැනීමේ කොමිසමට, මානව හිමිකම්
කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට ද එම ලිපියේ පිටපත් යොමු කර ඇති අතර පනත්
කෙටුම්පත සංශෝධනය කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ලෙසයි ශ්‍රී ලංකා
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ.

ජනවාරි මස 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ
මෙම පනත් කෙටුම්පතින් තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන සහ බලය හීන වන
බවත්, පෞද්ගලික දත්ත ජනමාධ්‍ය කටයුතු සඳහා භාවිත කිරීමට දැඩි බාධාවක්
එල්ලවන බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා විභාග කිරීමට මෙන්ම දඬුම් නියම කිරීමට
ද ස්වාධීන නොවන ආයතනයකට බලය හිමිවන බවත් ශ්‍රී ලංකා තරුණ
ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සාමාජිකයන් දෙදෙනකු වන තරිඳු
ජයවර්ධන සහ එම්.එෆ්.එම් ෆසීර් යොමු කළ ලිපියේ සඳහන් වේ.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තීරණයක් අනුව එහි සාමාජිකයන්
දෙදෙනකු වන තරිඳු ජයවර්ධන සහ එම්.එෆ්.එම් ෆසීර් මෙම පනත් කෙටුම්පත
අභියෝගයට ලක්කරමින් විශේෂ පෙත්සමක් ගොනු කළ බව ද, කාලාවරෝදය සම්බන්ධයෙන්
නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතාවක් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම
නිශ්ප්‍රභ කළ බවද, පෙත්සම නිශ්ප්‍රභ කළ ද පනත් කෙටුම්පත සංශෝධනය නොකර
සම්මත කළහොත් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කිහිපයක් මෙන්ම පිළිගත්
නීති සිද්ධාන්ත ද උල්ලංඝණය වන බව ද ඔවුන් විසින් යොමු කරන ලද ලිපියේ
සඳහන්ය.