You are currently viewing විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සදහන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන අයවලුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ගොනු කළහ.
නිතීඥ මංජුල බාලසූරිය සහ සිදත් ගමගේ යන නිතීඥවරුන් විසින් ගොනුකරනු ලැබ තිබූ මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ, නිතිපතිවරයාය.

භාණ්ඩ හා සේවා බදු පනතේ කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවත්,  එම කෙටුම්පතෙහි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම පෙත්සම්වලින් දක්වා ඇත.

මෙම කෙටුම්පතෙහි 2(3) ඡේදයට අනුව විශේෂ භාණ්ඩ හා සේවා සදහා බදු පැනවීමට අමාත්‍යවරයාට බලය පැවරෙන අතර, මෙම වගන්තිය මගින් පාර්ලිමේන්තුවේ බලය ඛාදනය වන බවත් එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76(1) වගන්තිය උල්ලංඝනය වන බවත් පෙත්සම්වලින් පෙන්වා දි තිබේ.

තවද මෙම පනත් කෙටුම්පත මගින් එකතු- කරන ලද බදු මුදල් පාර්ලිමේන්තුවේ පාලනයෙන් සහ විගනනයෙන් තොරව පෞද්ගලික ගිනුම්වල බැර කිරිමට බලය ලැබෙන බවද පෙත්සම්වලින් සදහන් කර ඇත.

මේ හේතුවෙන් මෙම පනත් කෙටුම්පතහෙි වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලෙසත්, මෙම කෙටුම්පත සම්මත කිරීම සදහා ජනමත විචාරයකින් සම්මත කර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් එම පෙත්සම්වලින් ඉල්ලා තිබේ.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද (ජීඑස්ටී බද්ද) පරිපාලනය කිරීමේ කටයුතු අදාළ දෙපාර්තමේන්තුවලින් ඉවත් කර භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් යටතට පත් කිරීමට ගෙන ඇති තීරණයට තම සංගමයේ බලවත් අප‍්‍රසාදය හා විරෝධය ප‍්‍රකාශ කරන බව දේශීය ආදායම් සේවා සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී තිබේ.

මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රැකියා සුරක්ෂිතතාවට දැඩි ලෙස බලපාන කරුණක් වන බව ද එම සංගමය මුදල් ඇමැතිවරයාට යවන ලද ලිපියේ සදහන් වේ. එම ලිපියේ මෙසේ ද සදහන් වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රජයේ බදු එකතු කිරීමේ ක‍්‍රියාවලිය පරිපාලනය කරනු ලබන අනෙකුත් දෙපාර්තමේන්තු වන රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන විසින් මෙතෙක් පරිපාලනය කරන ලද බදු වර්ග කිහිපයක් ඒවායින් ඉවත් කර, මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් යටතේ පරිපාලනය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට තීරණයක් ගෙන ඇත. මේ සඳහා වූ පනත් කෙටුම්පත 2022.01.07 වන දින රජයේ ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කාර්යය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයකුගේ අධීක්ෂණය යටතේ ඇති විශේෂ ඒකකයක් මගින් සිදු කිරීමේ අරමුණ බදු එකතු කිරීමේ ක‍්‍රියාවලියේ කාර්යක්ෂමතාව වර්ධනය සඳහා වූ ක‍්‍රියාවලියක් ලෙසට සඳහන් වුවද, මෙම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ මේ තුළින් බදු එකතු කිරීමේ ක‍්‍රියාවලිය තවදුරටත් සංකීර්ණ හා ව්‍යාකූල තත්ත්වයකට පත්වන බවයි. විශේෂයෙන්ම බද්ද පැනවීම, බදු වාර්තා නිකුත් කිරීම හා ලබාගැනීම, බදු ගෙවීමේ ක‍්‍රමවේදය, අභියාචනා විසඳීම හා හිඟ බදු අය කර ගැනීමේ ක‍්‍රියාවලිය මෙම පනත් කෙටුම්පත තුළින් වඩාත් සංකීර්ණත්වයකට පත් කර ඇත.

බදු පරිපාලනය සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී ඒ සඳහා අදහස් ඉදිරිපත් කිරීමට හා සාකච්ඡුා කිරීමට වෘත්තීය සමිතිවලට අවස්ථාවක් හෝ ලබා නොදීම රාජ්‍ය ආයතන තුළ කාර්මික සාමය පවත්වා ගැනීමට දැඩි බාධාවක් වන බැවින්, මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකර මේ පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

වෘත්තීය සමිති සමඟ සාකච්ඡුාවකින් තොරව තවදුරටත් ක‍්‍රියාකරන්නේ නම් අකමැත්තෙන් වුවද දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බවද වැඩිදුරටත් දන්වා සිටිමු.

දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම්වරුන් වන එච්.ඒ.එල්. උදයසිරි සහ අයි.පී. සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සනින් මේ ලිපිය යවා ඇත.