You are currently viewing කළ යුත්තේ රටේ ආර්ථිකයේ මතුව ඇති අර්බුද විසඳා ගැනීම.

කළ යුත්තේ රටේ ආර්ථිකයේ මතුව ඇති අර්බුද විසඳා ගැනීම.

කළ යුත්තේ රටේ ආර්ථිකයේ මතුව ඇති අර්බුද විසඳා ගැනීම.

කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල විණි. එම බලපෑම කොතෙක්ද යත් 2020 වසරේදී ගෝලීය ආර්ථික වර්ධන වේගය සටහන් වූයේ ඍණ 4ක් වශයෙනි. කෙසේ වෙතත් වසංගතය මධ්‍යයේ වුවද 2021 වසරේදී ලෝකයේ බොහෝ රටවල් ඍණ ආර්ථික වර්ධනවල සිට ධන ආර්ථික වර්ධන කරා ආර්ථික කටයුතු දියුණු කරගත්තේය.

2021 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සියයට 1.6ක වර්ධනයක් අත් කරගෙන තිබේ. අපේ කලාපයේ බංග්ලාදේශය, ඉන්දියාව, චීනය, වියට්නාමය මේ ආදී රටවල් විශාල ප්‍රමාණයක ද ධන ආර්ථික වර්ධන වේගයක් දැකගන්නට හැකි විය. එහෙත් එම රටවලට සාපේක්ෂව ලංකාවේ ආර්ථිකය වර්ධනය වූයේ නැත. ඊට හේතුව වූයේ කොවිඩ් වසංගතය පැමිණීමට පෙර පටන්ම අපේ ආර්ථිකය පිරිහෙමින් පැවැතීමය. පුරෝකථනවලට අනුව වසංගතය පැමිණීමට පෙර 2019 වසරේ මුල් කාලයේදී දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරන රට බවට බංග්ලාදේශය පත් වනු ඇති බව ප්‍රකාශ විය. එම අගය සියයට අටකට ආසන්න විය හැකි බවට ද පුරෝකථනය විය. දෙවැනි තැනේ ඉන්දියාව පසු විය. එම කාලයේදී දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධන වේගය අතින් ශ්‍රී ලංකාවට පසුපසින් සිටියේ ඇෆ්ගනිස්තානය පමණි.

2021 දී ලංකාවේ ආර්ථිකය වැඩිමනත් අර්බුදයට ගියේ විදේශ සංචිතවල ඇති වූ හිඟය නිසාය. අප පාසල් යන කාලයේ සිට අසා ඇති පරිද්දෙන් දසක ගණනාවක සිට මෙරට ප්‍රධාන අපනයන ආදායම් මාර්ග වූයේ තේ, පොල් සහ රබර්ය. පසුව ඊට ඇඟලුම් ද එකතු විය. එහෙත් මීට දසකයක කාලයක සිට ලංකාවේ විදේශ විනිමය ජනනය වන ප්‍රධාන ප්‍රවාහය වී තිබෙන්නේ පුහුණු නුපුහුණු විදෙස්ගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණය. එම සන්දර්භයේ අපේ සියලු ආර්ථික සැලසුම් සකස් කෙරුණේ අදාළ විදේශ ප්‍රේෂණ කේන්ද්‍ර කරගෙනය. එක්සත් ජනපද ඩොලර් බිලියන 7කට ආසන්න ආදායමක් එයින් රටට වාර්ෂිකව ලැබිණි. නිදසුනක් ලෙස 2019 වසරේදී පමණක් ලංකාව විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ලෙස ඩොලර් බිලියන 7කට ආසන්න මුදලක් ඉපයීය.

විදේශ විනිමය ජනන ප්‍රවාහවල දෙවැනි තැන පසු වූයේ වසරකට ඩොලර් බිලියන 5ක පමණ මුදලක් රටට ගෙනා සංචාරක කර්මාන්තයයි. කොවිඩ් වසංගතයෙහි බලපෑම නිසා විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ මෙන්ම සංචාරක කර්මාන්තයෙන් උපයන ආදායම් ද විශාල ලෙස අඩු විය. කෙසේ වෙතත් විදේශ ප්‍රේෂණ ලැබීම් යළිත් ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. එහෙත් සංචාරක කර්මාන්තයෙන් වාර්ෂිකව ලැබෙමින් තිබූ ඩොලර් බිලියන 5කට ආසන්න මුදල අහිමි වීම ආර්ථිකයට විශාල වශයෙන් බලපෑ අතර එය මෙතෙක් ප්‍රකෘති තත්ත්වයට පත්ව නැත.

ශ්‍රී ලංකා ආර්ථිකයට කෙහෙතාගේ අපලය ලබා ඇති තත්ත්වයකට සමානය. එනම් හිස විශාල නමුත් ශරීරය කුඩා වී ඇති තත්ත්වයකි. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනංවනවා වෙනුවට සේවා ආර්ථිකය මත පමණක් යැපීම බරපතළ ප්‍රශ්නයක් වුවත් අප මෙහිදී පරෙස්සම්සහගතව තේරුම් ගත යුතු කාරණයක් තිබේ. රාජ්‍ය සංවර්ධනය කරා ගමන් කිරීමේදී උත්සාහ කරන්නේ සේවා ආර්ථිකයක් ගොඩනැගීමටය. ශ්‍රී ලංකා ආර්ථිකය ද සේවා ආර්ථිකයක් මත රැඳී ඇතැයි කීව ද එහි ඇති ප්‍රධානම අංගය වන්නේ තොග හා සිල්ලර වෙළෙඳාමයි. මෙරටේ සේවා ආර්ථිකය ප්‍රතිශතාත්මකව සියයට 60 ඉක්ම වූ අගයක් ගන්නා අතර එයින් ද සියයට 40කට වැඩි පංගුවක් අයත් වන්නේ යට කී තොග හා සිල්ලර වෙළෙඳාමටය. ඊට බලපෑ හේතුව වන්නේ දේශීය නිෂ්පාදනය බිඳ වැටී ඇති පසුබිමක අන්තර් භාණ්ඩ බොහොමයක් ආනයනය කිරීමය. සියල්ල නැවෙන් රටට කියන ආර්ථික ප්‍රතිපත්තිය මුල් කොටගෙන අපි කාලයක් තිස්සේ කටයුතු කරමින් සිටිමු. එහෙත් ඵලදායී සේවා ආර්ථිකයකදී වැදගත් වෙන්නේ බැංකු, රක්ෂණ සැපැයුම්, සංචාරක වැනි සේවාවල ඉහළ යෑමකි. මේ තත්ත්වය පැහැදිලි කරගැනීමට යළිත් බංග්ලාදේශ උදාහරණය ගන්නේ නම්, එරට ඇඟලුම් කර්මාන්තයට පිවිසෙන්නේ අපට පසුව වන අතර මුල් කාලයේදී ඔවුන්ගේ ඇඟලුම් කර්මාන්තය ද ලංකාව හා සමාන පසුගාමී තත්ත්වයේ පසු විය. එහෙත් අද වන විට ඇඟලුම් කර්මාන්තය ඇතුළත ඔවුන්ගේ දේශීය අන්තර් භාණ්ඩ හා දේශීය යෙදවුම් ප්‍රමාණය වටිනාකමින් සියයට 60ක් වැනි ඉහළ අගයක් පෙන්නුම් කරයි. එහෙත් ලංකාවට ඒ තැනට ළඟා වීමට තාමත් හැකියාව ලැබී නැත. මේ තත්ත්වය බලශක්ති ක්‍ෂේත්‍රයේ ද දැකිය හැකිය. සියල්ල පිටරටින් ගෙන්වන තැනට රට පත් වීමේ පොදු විපාකයට අපි මුහුණ දෙමින් සිටිමු. දේශීය ආර්ථිකයක් ගොඩනගන බව කීව ද මෙතෙක් අප ඒ තත්ත්වය උදා කරගෙන නැත.

මේ වන විට ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.6ක් දක්වා අඩු වී ඇති අතර එම ප්‍රමාණයෙන් ද මිලියන 400ක් පමණ තිබෙන්නේ මහ බැංකුව සතු රත්‍රන්වලිනි. ලංකාව ලබාගත් විදේශ ණය හා ඒවායෙහි පොලී වාරික වෙනුවෙන් 2022 වසරේදී ඩොලර් බිලියන 6.9ක මුදලක් ගෙවීමට ඇත.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවලදී ආණ්ඩු අනුගමනය කරන ප්‍රධාන ක්‍රම තුනක් ඇත. පළමුවැන්න නම් අලෙවි කළ හැකි ස්ථාවර සම්පත් එනම් ඉඩම් හා ආර්ථික මර්මස්ථාන වැනි ඒවා විදේශවලට විකුණමින් ලබා ගන්නා මුදල් හරහා ණය පියවීමය. ලක් රජය මේ වන විටත් එය කරමින් සිටියි.

දෙවැනි ක්‍රමවේදය වන්නේ හුවමාරු ණය පහසුකම් (Swap Agreement) යටතේ රටවල්වලින් ණය ලබා ගැනීමය. චීනය, ඉන්දියාව වැනි රටවල් සමග සාකච්ඡා කරමින් රජය ඒ සඳහා ද උත්සාහ දරමින් සිටියි. ප්‍රශ්නය වන්නේ එසේ හුවමාරු ණය පහසුකම් යටතේ ගන්නා ණය වෙනුවෙන් ඉහළ පොලී අනුපාත ගෙවීමට සිදු වීමත්, වැඩි කොන්දේසි ප්‍රමාණයකට එකඟ වීමට සිදු වීමත්ය.

තෙවැනි ක්‍රමෝපායය වන්නේ ලෝකයේ රටවල ආර්ථිකයන්හි ඇති වන මේ ආකාරයේ කෙටි කාලීන මූල්‍ය අර්බුද සඳහා පිළියම් යෙදීමේ අරමුණින් පිහිටු වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමය. එබැවින් මේ අවස්ථාවේදී ලංකාවට මූල්‍ය අරමුදලේ සහාය ලබාගත හැකිය. සියයට 0.05ක් වැනි ඉතාමත් අඩු පොලී අනුපාතයක් යටතේ එයින් ණය ගත හැකිය.

එහෙත් ලංකාව මේ වන විටත් ප්‍රමාදය. මන්ද මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගැනීමට අපේක්ෂා කරන එහි සාමාජික රටක් ඊට අදාළ අයැදුම්පත්‍රය සෑම වසරකම මාර්තු මස (මා දන්නා තරමින්) ඉදිරිපත් කළ යුතු අතර ඉදිරි තාක්ෂණික ක්‍රියාවලියට තවත් මාස 6ක පමණ කාලයක් ගත වෙයි. ඒ අනුව මුදල් ලබාගත හැකි වන්නේ ඔක්තෝබර් මාසයේදීය. එසේ නම් ලංකාව මූල්‍ය අරමුදලේ සහාය පතන්නේ නම් ඒ සඳහා යොමු විය හැකි වන්නේ 2022 වසරේදීය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ලංකාවේ ඇති ප්‍රතිරූපය එතරම් හොඳ එකක් නොවේ. බිල්ලෙකු මවා ඇත. එහෙත් එම අරමුදල එවැනි නරක ආයතනයක් යැයි මම නොසිතමි. ආර්ථික අර්බුදයකට මැදි වී සිටින සාමාජික රටකට ණය හෝ වෙනත් මූල්‍ය පහසුකම් හෝ ලබා දීමේදී අදාළ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද ඔවුහු යෝජනා කරති. ලබා දෙන ණය මුදල් අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමට අදාළ කොන්දේසි වැඩි වශයෙන් ඉදිරිපත් කරති. මගේ පෞද්ගලික අදහස වන්නේත් එසේ කොන්දේසි පැනවිය යුතු බවය.

මන්ද නොඑසේ නම් ලබා ගන්නා ණය මුදල් අනිසි ලෙස භාවිත කිරීමට වැඩි ඉඩක් ඇති නිසාය. අප හොඳින්ම දන්නා පරිදි ලංකාවේ ආර්ථිකය මෙතරම් පිරිහීමට දුර්වල කළමනාකාරීත්වය හා වංචා, දූෂණ, නාස්තිය යන සාධක බලපා තිබේ. එවැනි පසුබිමක මූල්‍ය අරමුදල පනවන කොන්දේසි ගැන නිසි අවබෝධයකින් තොරව එම ආයතනය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව ගෙන යන විවේචන සාධාරණ නැත. ගෙවීමට තිබෙන ණය වාරිකයක් ගෙවීමට අප අපොහොසත් වුවහොත් එමගින් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වනු ඇත. මුළු මුදලම නොගෙවමින් භාණ්ඩ ආනයනය කිරීමට ද හැකියාව නොලැබෙනු ඇත. අවසාන වශයෙන් මේ සියලු පව්වලට කර ගහන්නට සිදු වන්නේ මේ රටේ අහිංසක මහජනතාවටය.

නාස්තිකාර වියදම්, දූෂණ, වංචා නවතා නිසි ආර්ථික කළමනාකාරීත්වයක් ඇතිව රට පාලනය කරන ලෙසට හඬ නගන්නේ අද ඊයෙක සිට නොවේ. රටට ඵලදායක නොවන ආයෝජන ගෙන එද්දී ලෝකයට පුරසාරම් දොඩමින් කුලුනු හා කැලෑවල සම්මන්ත්‍රණශාලා ඉදිකරද්දි ආර්ථික විද්වත්හු ඒවා විවේචනය කළහ. එදා කී ඒ දේවල් ගණන් නොගත් නිසා අද මේ අර්බුදය ඇතිව තිබේ. එහෙත් වර්තමානයේදී ඒ සාකච්ඡාව දැඩි ලෙස කරළියට පැමිණ ඇත. සාමාන්‍ය මහජනතාව පවා මේ ආර්ථික ප්‍රශ්න ගැන කතා කරන බවක් පෙනෙයි.

ආහාර හිඟය, ඉන්ධන ගෙන්වීමේ ප්‍රශ්නය, භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න මේ ආදී වශයෙන් වත්මනේදී උද්ගතව ඇති අර්බුද රට බංකොළොත් වීමක් කරා යන ගමනක සලකුණු වශයෙන් හැඳිනගත හැකිය.

නාස්තිකාර වියදම් අවම කරගෙන ලැබෙන මුදල් අරපරෙස්සමින් භාවිත කරමින් දේශීය ව්‍යවසායකයන්ට අවස්ථා ලබා දෙමින් පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකතු වී ගමනක් යෑමට සූදානම් නම් රට යමින් තිබෙන මේ අවාසනාවන්ත ගමනින් මුදාගත හැකි යැයි මම පෞද්ගලිකව විශ්වාස කරමි. පෙරහරක් ළඟ එන බව කසකරුවන් හා මල් බයිසිකල්කරුවන්ගෙන් හැඳිනගත හැකි පරිද්දෙන් ආර්ථිකයේ ඔඩුදුවමින් තිබෙන මේ අර්බුද ද අපට සැලකිය හැක්කේ ළඟ එන බංකොළොත්භාවයක පෙර නිමිති හැටියටය. එබැවින් මේ අර්බුදවලට කඩිනමින් පිළියම් යෙදිය යුතුය.

අර්බුදයට විසඳුම් සොයනවා වෙනුවට ඒවා වසන් කරමින් කයිවාරු ගැසීමෙන් පලක් වන්නේ නැත. ඉකුත්දාක ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට දැමූ විට ශ්‍රී ලංකා මහ බැංකුව එම ආයතනය සාවද්‍ය දත්ත මත පදනම් වෙමින් අදාළ වර්ගීකරණය සිදු කර ඇතැයි කියමින් එය ප්‍රතික්ෂේප කළේය. ෆිච් රේටින්ග්ස්, මූඩිස් හා අනෙකුත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අන්තර්ජාතික වශයෙන් පිළිගැනුමට ලක් වූ ස්වාධීන ආයතනය. අපේ මහ බැංකුව නිකුත් කරන නිවේදනවලට වඩා එම ආයතන ලෝකයේ රටවල්වල ආර්ථිකයන් ගැන ඉදිරිපත් කරන පුරෝකථන ආයෝජකයෝ විශ්වාස කරති. එසේම එම ආයතන රටවල් සම්බන්ධයෙන් ණය ශ්‍රේණිගත කිරීමේදී යොදා ගැනෙන නිර්ණායක තිබේ. ඒ නිර්ණායක සඳහා යොදා ගැනෙන්නේ ඒ ඒ රටවල්වල ආණ්ඩු මගින් සපයන නිල දත්තය. එකී දත්ත තවදුරටත් විශ්ලේෂණය කරමින් ඔවුහු තොරතුරු නිර්මාණය කරති. තීරණවලට එන්නේ එම තොරතුරු මතය. එනිසා මහ බැංකුව නිවේදන නිකුත් කරමින් එම ආයතන හා ඒවා මගින් ලංකාව ගැන නිකුත් කරන වාර්තාවලට බැණ අඬගසා ගැනීමෙන් පලක් වන්නේ නැත. කළ යුත්තේ රටේ ආර්ථිකයේ මතුව ඇති අර්බුද විසඳා ගැනීමය.

ශ්‍රී ලංකාව යනු ඇති තරම් මුදල් නාස්ති කළ රාජ්‍යයකි. බිඳවැටෙමින් තිබූ ග්‍රීක ආර්ථිකයේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කරමින් ඩොලර් බිලියන ගණනක් රටට පාඩු කළේය. හෙජින් ගිවිසුම නිසා සිදු වූ පාඩුව පියවීමට ද ඩොලර් බිලියන ගණනින් මුදල් ගෙව්වේය. මේ සියලු දේ සඳහා යෙදවූයේ අප සතුව තිබූ ඩොලර්ය. රාජ්‍ය ආයතන පාඩු පිට පාඩු ලබද්දීත් මහජන බදු මුදල්වලින් ඒවා නඩත්තු කිරීම සිදු වෙයි. එවැනි රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු හොබවන අය වැඩි වැටුප් මෙන්ම ප්‍රසාද දීමනා ද ලබා ගනිති. ඔවුන්ගේ උපයනවිට බදු ද රජයෙන්ම ගෙවයි.

එනිසා ආර්ථිකය ගොඩනගන්නට නම් වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර නිසි කළමනාකාරීත්වයෙන් යුත් ගමනක් යා යුතුය. එබැවින් යළිත් අවධාරණය කරන්නේ ආර්ථිකයේ දැල්වෙමින් තිබෙන මේ රතු එළි ගැන විමසිලිමත්ව නිසි විසඳුම් නොයෙදුවහොත් රට බංකොළොත් වීම නැවැත්විය නොහැකි බවය.

මහාචාර්ය ජනක් කුමාරසිංහ.