ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා සාගර පාරිසරික කලාපයට හා සාගර ජීවීන්ට සිදු වූ හානිය, ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් සහ ජාතික ආර්ථීකයට සිදු වූ බලපෑම පරීක්ෂා කර බලා සිය නිර්දේශ වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් හිටපු අග්‍රමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනාව මේවන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කොට ඇති අතර එය ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2021 ජූනි 22 දින කොළඹ වෙරළට ඔබ්බෙන් එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම ශ්‍රි ලංකාවේ සිදු වූ දරුණුතම සාගර පාරිසරික ව්‍යසනය වන හෙයින් සහ ඒ මඟින් සාගර සහ සත්ත්ව ජීවිත විනාශ කරමින් විශාල ආර්ථික හානියක් ද සිදු කොට ඇති නිසාවෙන් ඒ පිළිබඳ කරුණු සලකා බැලීම මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අරමුණ බවද එම යෝජනාවේ සඳහන් වේ.
ඒ අනුව, කාරක සභාව විසින් එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් ඇති වූ ආර්ථික හානියේ ප්‍රමාණය ගණනය කිරීම, එමඟින් තම ජීවනෝපාය සම්බන්ධයෙන් බලපෑම් ඇති වූ පුද්ගලයන් සංඛ්‍යාව ඇස්තමේන්තු කිරීම, එලෙස පීඩාවට පත් වූ ජනතාවට ලබා දීම සඳහා මූල්‍යමය සහන සහ අනෙකුත් වන්දි නිර්දේශ කිරීම, සහ මෙම ව්‍යසනය හේතුවෙන් හානියට ලක් වූ සාගර හා සත්ත්ව ජීවිත සහ සාගර පතුලේ පරිසර ප්‍රමාණය ගණනය කිරීම ආදී කරුණු සලකා බැලීමට අපේක්ෂිතය.
