ලංකාව චීනය සමඟ එක්ව එංගලන්තයට එරෙහි වෙයි.

එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සලකා බලමින් චීනය විසින් නිකුත් කරනු ලැබූ ඒකාබද්ධ ප්‍රකාශයකට ශ්‍රී ලංකාව ද අත්සන් තබා තිබේ.

ඒකාබද්ධ ප්‍රකාශය ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වැනි සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇත.

“රටවල් සමූහයක් වෙනුවෙන් කතා කිරීමට ලැබීම මට ගෞරවයක්. එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අපගේ දැඩි කණසල්ල ප්‍රකාශ කරන්නෙමු. දැඩි වර්ගවාදය, වාර්ගිකව වෙනස් කොට සැලකීම, වෛරී ප්‍රකාශ, භීතිකාව සහ ඒ ආශ්‍රිත ප්‍රචණ්ඩකාරී ක්‍රියා එක්සත් රජධානියේ දිගු කලක සිට පැවැති තත්ත්වයකි”යැ‍යි ජිනීවා සැසියට සහභාගී වූ චීන දූත පිරිස පවසා ඇත.

එක්සත් රාජධානිය විසින් පිහිටවූ ජාති හා ජනවාර්ගික විෂමතා පිළිබඳ කොමිසම එම කරුණු ප්‍රතික්ෂේප කරනු ලබන බව ද ඒකාබද්ධ නිවේදනයෙන් දැනුම් දී තිබේ.

එක්සත් ජනපද හමුදා විදෙස්හි සිදුකළ හමුදා මෙහෙයුම්වලදී සිවිල් වැසියන් ඝාතනය කර තිබෙන බවත් එක්සත් රාජධානියේ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ දුර්වල තත්ත්වයක බවත් සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බවත් මෙමඟින් පවසයි.

එමෙන්ම එක්සත් රාජධානිය සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම සඳහා මානව හිමිකම් කඩතුරාවක් ලෙස භාවිත කරනු ලබන්නේ යැයි ඒකාබද්ධ නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ.

අදාළ යෝජනවට අත්සන් කළ චීනය, බෙලාරුස්, බොලිවියාව, උතුරු කොරියාව, ඉරානය, රුසියාව, ශ්‍රී ලංකාව, සිරියාව සහ වෙනිසියුලාව යන රටවල් විසින් එක්සත් රාජධානි රජයෙන් ඉල්ලා සිටියේ සිය මානව හිමිකම් ගැටලුවලට මුහුණ දෙන ලෙසත්, සියලු මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වහාම නතර කරන ලෙසත්ය.

Leave a Reply