පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් කාර්යාලයේ සේවකයෙකුට හා පාර්ලිමේන්තු පිළිගැනීමේ නිලධාරිනියකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එම අංශවල සේවකයෝ පිරිසක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
මෙම සේවකයාට සහ සේවිකාවට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය සහ සහකාර මහ ලේකම් නීතිඥ ටිකිරි ජයතිලක මහතා කොරෝනා පරීක්ෂණ වලට යොමු වූ අතර දෙදෙනාට කොවිඩ් ආසාදනය වී නැතැයි එම පරීක්ෂණවලදී තහවුරු වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා මේ වනවිට හුදෙකලාවී සිටින බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
එම පාර්ලිමේන්තු සේවකයාට සහ සේවිකාවට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු අදාළ අංශ විෂබීජහරණය කිරීමට පාර්ලිමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තුව 18, 19 සහ 20 වැනිදා රැස්වීමට නියමිත අතර පෝට්සිටිය සම්බන්ධ විවාදය එම දිනවල පැවැත්වීමට නියමිතය.
මේ කාලයේදී පාර්ලිමේන්තු සේවකයන් සීමිත පිරිසක් කැඳවීමට ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා තීරණය කර ඇත.
