2019 ජුනි විසි එක් වෙනිදා ජිනීවා හි පැවැති ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වන සැසිවාරයේ දී සම්මත කරගන්නා ලද C 190 සම්මුතියට අනුව වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම සඳහා වන සම්මුතිය ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එකඟ වේ.
මෙම සම්මුතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙරට ප්‍රධාන වෘත්තීය සමිති නියෝජිතයන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා සමඟ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එම එකඟත්වය පළ කළේය.
අප රටේ වැඩකරන පන්තියේ ජනතාවට විශේෂයෙන්ම කාන්තා පක්ෂයට සිය වැඩ බිම්වල දී සිය ආරක්ෂාව පිලිබද ශක්තිමත් විශ්වාසයක් මේ තුළින් ඇති කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය
රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම ආයතනවල සේවක සේවිකාවන්ට විවිධාකාරයේ සිදුවන ප්‍රචණ්ඩත්වයන් හා හිංසනයෙන් තොරව, බිය සැක නැතුව සේවය කිරීමටත්, සේවයට යන එන අතර මහ මගදි සිදුවන යම් යම් හිංසනයන්ට එරෙහිව නීතිය තවදුරටත් බලාත්මක කිරීම මෙහි නෛතික අරමුණ බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
ඉදිරි සති දෙක ඇතුළත මෙම සම්මුතියට අදාළ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසූ අමාත්‍යවරයා , ඉන් පසුව වෘත්තීය සමිති නියෝජිතයන් සහ කම්කරු අමාත්‍යාංශයේ නීති අංශය ඒකාබද්ධ කමිටුවක් මගින් මෙම සම්මුතිය ප්‍රකාරව කළ යුතු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ඇමැතිවරයා මෙහි දී දන්වා සිටියේය.
ඉන්පසු එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අමාත්‍යවරයා මෙහි දී එකඟතාවය දැක්විය.
දැනට රටවල් කිහිපයක් මෙම සම්මුතිය ඒ රටවල්වල බලාත්මක කර ඇති බවත්, ශ්‍රී ලංකාව මෙම සම්මුතිය බලාත්මක කළහොත් ආසියාවේ මෙම සම්මුතිය නීතිගත කළ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව ලෝක කම්කරු ඉතිහාසයට එක්වන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ,කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්වරු සමඟ චින්තක බණ්ඩාර කෝනාර, තමරා දයානි හෙට්ටිමුල්ල, නීතිඥ ලිලන්ති කුමාරි, පී.යොගේස්වරි, ජෝසෆ් ස්ටාලින්, රවි කුමුදේශ්, ඇන්ටන් මාකස්, පාලිත අතුකෝරාල හා කල්ප මදුරංග යන වෘත්තීය සමිති නියෝජිතයෝ එක් වූහ.
