ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන නිලවරණය පෙබරවාරි 24.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය පෙබරවාරි 24 වැනිදායි.

ඒ සඳහා ජනාධිපති නීතීඥ සාලිය පිරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා තරඟ වදිනු ලැබේ.

නිලවරණයේ තේරීම් බාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතාට ඔවුන් සිය   නාම යෝජනා බාරදුන්හ.

ඒ ශ්‍රී ලංකා නීතීඥ සංගම් කාර්යාලයේදී  පසුගිය 11 වැනිදායි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සාමාජික සාමාජිකාවන් විසි පන්දහසකට ආසන්න පිරිසක් සිටින සංවිධානයක් වන අතර ප්‍රබලතම වෘත්තීය සංවිධානයකි.  එහි සභාපතිවරයා වීම යනු නමට පමණක් සීමා වූ දෙයක් නොවන්නේය.

අධිකරණයේ ස්වාධීනත්වයට හානිකර යමක් සිදුවන්නේ  නම්, නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට හානිකර යමක් සිදුවන්නේ නම්, රටෙහි ජනතාවට හානිකර, යම් දෙයක් සිදුවන්නේ නම් නීතිඥ සංගමයට එම කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීමේ අවස්ථාව හිමිය.

නීතිඥ සංගමයේ නිලවරණ ඉතිහාසය තුළ ජනමාධ්‍ය හරහා එකිනෙකාට පහරගැසීම දුර්ලභ තත්වයකි. නමුත් මෙවර නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්  ඉලක්ක කර යම් ප්‍රවෘත්තීන් නිර්මාණය වී තිබේ. එසේම සමාජ මාධ්‍ය තුළ ද නීතිඥ සංගම් නිලවරණය උණුසුම් ලෙස පැවතෙන බව නිරීක්ෂණය කළ හැකි අතර දෙපාර්ශවයේ ආධාරකාර නීතිඥවරුන් අනෙක් කණ්ඩායම් ඉලක්ක කර චෝදනා එල්ල කිරීම සහ පහර ගැසීම් දක්නට ලැබෙනවා.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යනු කවුද?

මරදාන ශාන්ත ජෝසෆ් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිමා කර පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව 1992 නොවැම්බර් 19 නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇති සාලිය පීරිස් මහතා,1993 වසරේ දී වැඩබලන රජයේ අධිනීතිඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව ඇති අතර 1996 දක්වා රජයේ අධිනීතිඥවරයෙකු ලෙස කටයුතු කර ඇත. 1998 වසරේ දී විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ මූලික උපාධියක් සම්පූර්ණ කර ඇති ඒ මහතා  මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික නීති අධ්‍යාපන ආයතනයක් වන සීඑෆ්පීඑස් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. 2006 වසරේ දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාද් උපාධියක් ලබාගෙන තිබෙන ඔහු 1998 වසරේ සිට පෞද්ගලික නීතිඥවරයෙකු ලෙසත්, නීති ප්‍රවේශ විභාග සඳහා උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙසත් කටයුතු කර ඇත. 2015-2017 කාල සීමාව තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති සාලිය පීරිස් මහතා  2017 වසරේ දී ජනාධිපති නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දී ඇති අතර 2018 වසරේ සිට 2020 වසර දක්වා අතුරුදහන් වූවන් පිළිබඳ ලේකම් කාර්යාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යනු කවුද?

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිමා කර පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව 1993 වසරේ දී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇති කුවේර ද සොයිසා මහතා  1993 වසරේ සිට නීතිඥවරයෙකු ලෙස කටයුතු කර ඇත. මහජන බැංකුව, සණස බැංකුව ඇතුළු මූල්‍ය ආයතන රැසක අධ්‍යක්ෂධූරයන් දරා ඇති ඔහු 2010 වසරේ දී වේල්ස් කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාද් උපාධිය සම්පූර්ණ කර ඇත. නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී අවුරුදු 19ක් වැනි කාලයක් කටයුතු කළ ඒ මහතා  2012 වසරේ දී ජනාධිපති නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දී ඇත. අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා හෝටල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු මේ වනවිටත් ශ්‍රී ලංකා කණිෂ්ඨ නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටී. කණිෂ්ඨ නීතිඥවරුන් වෙනුවෙන් ආපදා අරමුදලක් පිහිටුවීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ කුවේර ද සොයිසා මහතා  2017 වසරේ දී නඩු ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජයෙන් පත් කළ කමිටුවේ සාමාජිකයෙක් ද වේ.

Leave a Reply