පලාත් සභා ගැන ඉක්මන් තීරණයකට එළඹෙමු

පසුගිය රජය මෙන්ම වර්තමාන රජය යටතේදීද පලාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින දිගටම කල් යන ලකුණූ පහලවෙමින් තිබේ. 2021 වසර අවසානයේ අපට අසන්නට ලැබුණ ප්‍රවෘත්තියක් වූයේ පලාත් සභා ක්‍රමයට එරෙහි සමහර භික්ෂුන් වහන්සේගේ කරුණු දැක්වීම් හමුවේ මේ මැතිවරණය කඩිනමින් නොපැවැත්වීමට රජය තීරණය කර ඇති බවය. මේ කල් දැමිමට ඇත්ත හේතුව කෝවිඩ් වසංගතයම නොවන බව පැහැදිලිය. දැන් ලෝකයට කෝවිඩ් වසංගතය තිබියදීම මැතිවරණ සාර්ථකව පැවැත්වීමේ අත්දැකීම් ඇත.  2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය සහ අමෙරිකානු ජනාධිපතිවරණය එයට නිදසුන් දෙකකි. කෝවිඩ් වසංගතය ඉක්මවා ගිය හේතු නිසා දිගින් දිගටම පලාත් සභා මැතිවරණය කල් දැමීම සමාජය විෂයයෙහි නරක ප්‍රතිපල ගණනාවක් ජනිත තිරීමට හේතු විය හැකි බැවින් මේ මැතිවරණය පැවැත්වීම පිළිබද මතුවී තිබෙන ගැටළුව කෙරෙහි ප්‍රමුඛ අවධානයක් ලබා දිය යුතු යැයි අපි අදහස් කරමු.

ප්‍රථමයෙන්ම මේ මැතිවරණය නොපැවැත්වීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා හැරීමකි. පලාත් සභා යනු ජනතාවගේ පාලන බලතල සහ ජන්ද බලය යන පරමාධිපත්‍ය බලයේ ප්‍රධාන අංග දෙකක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාවෙන් පිහිටුවා තිබෙන ආයතනයකි. මේ මැතිවරණය පැවැත්වීම නොතකා හැරීමෙන් ව්‍යවස්ථානුකූල පාලනයට අදාල ප්‍රධාන වපසරියක් ශ්‍රී ලංකා රාජ්‍යය අහිමි කරගනිමින් සිටී. ආණ්ඩුකාරවරුන්ගේ පාලනය නිසා දැනට පලාත් සභා මගින් සිදුවන මහජන සේවාවන්හි බිද වැටීමක් නැති බැවින් ව්‍යවස්ථානුකූල පාලනය උල්ලංඝනය වීම යන කරුණ තම දෛනික ජීවිතයට අදාල කරුණක් ලෙස ජනතාවට නොදැනෙන බවක් පෙනෙන්නට තිබුණද  ව්‍යවස්ථාකූල පාලනයේ මූල ධර්ම නොතකා හැරීමේ දුර්විපාක සමාජයක් කෙරෙහි බලපාන්නේ දිගු කාලීනවය.

පලාත් සභා කෙරෙහි මෙරට ඇත්තේ මිශ්‍ර මතයකි. පලාත් සභා වලට එරෙහිව ප්‍රබල මතයක් සිංහල ජාතිකවාදී දේශපාලන කදවුර තුළ දිගුකාලයක් තිස්සේ තහවුරු වී ඇත. නමුත් මේ ජාතිකවාදී කදවුර පලාත් සභා ක්‍රමය වර්ජනය කළේ එක් මැතිවරණ්‍කදී පමණි. එසේම මේ මතය  පලාත් සභා සමිබන්ධයෙන් පවතින එකම මතයද නොවේ. සිංහල සමාජයෙහිම එපමණටම විශාල ප්‍රජාවක් පලාත් සභා ක්‍රමය පිළිගැනීමටද ඉදිරිපත් වී සිටිති. දෙමළ මුස්ලිම් සුළු ජනවාර්ගික ප්‍රජාවන් සමිබන්ධයෙන් ගත් කලද තත්ත්වය මෙයමය. තවද දෛනික දේශපාලන ඝෝෂාවට එකතු නොවන සාතිශය බහුතරයක් වන නිහඩ පුරවැසියන්ටද මතයක් නැතැයි සිතීමට අපට අයිතියක් නැත. එසේ නම් ශබ්ද නගා කෑගසනා පිරිසකගේ වුවමනාවට පමණක් පලාත් සභා මැතිවරණය කල් දමන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ මූල ධර්මයකට ප්‍රසිදධයේම පයින් ගැසීමක් ලෙස හැදන්විය හැකිය.

2015-2019 යහපාලන රජය සමයේ පලාත් සභා මැතිවරණ දිගින් දිගටම කල් දැමුණේ මැතිවරණ ක්‍රමය පිළිබද තාක්ෂණික ගැටල්‍රවක් ඉස්මත්තට ගෙන එමිනි. එම රජයටද මෙ මැතිවරණය නොපැවැතවීමට එම තාක්ෂණික කරුණු ඉක්මවා ගිය දේශපාලන කරුණු තිබූ බව රහසක් නොවේ. එකල විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු පක්ෂයේ නායකයන්ගේ ප්‍රධාන චෝදනාව වූයේ යහපාලන රජය ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කර ඇති බවය.  නව මැතිවරණ ක්‍රමය පිළිබද ගැටළුව ක්ෂණිකව විසදා ගැනීමට නොහැකි නම් පැරණි ක්‍රමයට හෝ මැතිවරණය පැවැත්ම සුදුසු බවට යෝජනාව ගෙන ආවේ එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයක්‍ර වූ වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාය. පලාත් සභා වෙනුවෙන් එදා නැගූ හඩ අද ඹවුන් එලෙසම නොනගන්නනේ ඇයි?

පලාත් සභා මැතිවරණය නොපැවැත්වීම සාධාරණීකරණය කිරිම සදහා ඉදිරිපත් වන ප්‍රධාන තර්කය නම් නව ව්‍යවස්ථාවක් සම්පාදනය වන බැවින් එම ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතු බවය. නව ව්‍යවස්ථාව තවමත් කෙටුම්පත් වෙමින් තිබේ. එය පලාත් සභා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මතය කුමක්දැයි අපි නොදනිමු. කුමන මතයක් ඉදිරිපත් කළද මෙම විශේෂඥ කෙටුම්පත පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවට පත්විම තව සෑහෙන කාලයක් ගත වනු ඇත. ඒ සදහා ජනමත විචාරණයක්ද පැවැත්වීමට සිදුවනු ඇත. මේ ක්‍රියාදාමය අවසන් වන තුරු පලාත් සභාවල ජනතා නියෝජිත පාලනය අක්‍රිය කර දැමීම කිසිසේත් සුදුසු කටයුත්තක් නොවේ. මැතිවරණ නොපැවැත්වී දරුණූ ප්‍රතිඵල ගෙන  දෙන්නේ පවත්නා ආණ්ඩුවලටම බව ලංකා දේශපාලන ඉතිහාසය දිගින් දිගටම සනාථ කර තිබෙන කරුණකි.

Leave a Reply