You are currently viewing 20ට එරෙහි පෙත්සම් විභාගය – පෙත්සම් 32ක දේශන අවසන්

20ට එරෙහි පෙත්සම් විභාගය – පෙත්සම් 32ක දේශන අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අද  (30) පෙරවරුවේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ,  සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වුණි.

අද දින පස්වරු 7.20  දක්වා නඩු විභාගය පැවැත්වුණි.

එහිදී යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 32ක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණු බව වාර්තාකරු පැවසීය.

අනතුරුව වැඩිදුර විභාගය ලබන සිකුරාදා (02) තෙක් කල් තැබුණු අතර එදින සෙසු පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතය.

අද පෙරවරුවේ නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ “ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය“ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන “සිතීමේ නිදහස” නමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවීම් සිදුවන බව පෙන්වා දුනි.

එමෙන්ම පුරවැසියන් සතු තොරතුරු දැන ගැනීමේ අයිතියට ද අහිතකර ලෙස බලපෑම් එල්ල කරන බව ඔහු සඳහන් කළේය.

ඊට අමතරව යෝජිත පනත් කෙටුම්පත තුළින් ජනතාව සතු අධිකරණ බලයද අත්තනෝමතික ලෙස අත්පත් කර ගැනීමක් සිදුවන බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය වන බව සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත ඍජුවම ජනතා පරමාධිපත්‍යය සමග ගැටෙන හෙයින් එය සම්මත කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බව නීතිඥවරයා තවදුරටත් පෙන්වා දුනි.

තරුණ නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවදායක මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර එම බලය යළි විධායකය වෙත පැවරීමට යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් යෝජනා කර ඇතැයි සඳහන් කළේය. මේ තුළින් ජනතා පරමාධිපත්‍යය ඍජුවම උල්ලංඝනය වන බව ඔහු චෝදනා කළේය. මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය බවද නීතිඥවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මනන් ජයකුමාර් මහතා කරුණු දක්වමින් මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වෙන අවස්ථාවක පුද්ගලික මාධ්‍ය ආයතන වෙත විවිධ විධානයන් නිකුත් කිරීමේ බලතල මෙම පනත් කෙටුම්පත තුළින් මැතිවරණ කොමිසම වෙත පවරා ඇතැයි සඳහන් කළේය. මේ තුළින් “සිතීමේ නිදහස” නමැති මූලික අයිතිවාසිකම ඍජූවම උල්ලංඝනය වන අතර එම වගන්ති සම්මත කිරීමට නම් ඒවා ජනමත විචාරනයකට යොමු කළයුතු බවත්, නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුනි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා කරුණු දක්වමින්  20 සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී රජය විසින් සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළද එම සංශෝධන මේ දක්වා ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ නිල කාර්යයන්වලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබූ අවස්ථාව අහිමි කිරීමට 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් පියවර ගෙන තිබීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන වගන්තිය මඟින් දක්වා තිබෙන ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බව ඔහු සඳහන් කළේය. 

මෙම පනත් කෙටුම්පත හරහා උපරිමාධිකරණ විනිසුරුවරු, නීතිපති, විගණකාධිපති වැනි උසස් නිලතල සඳහා තමා කැමති පුද්ගලයෙකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරා දී ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ අපගමනයකට ලක්වන බවත් චෝදනා කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් අධිකරණය ස්වාධීනත්වයට සහ මූලික අයිතිවාසිකම් කෙරෙහි අහිතකර බලපෑමක් සිදුකරන බව පැවසීය.

ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතු වන බවත් එම බලය අධිකරණ හරහා ක්‍රියාත්මක විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සඳහන් කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා එහෙත් මෙම 20 වන සංශෝධන පනත් කෙටුම්පත හරහා ජනතාව සතු අධිකරණ බලය පාර්ලිමේන්තුව වෙතින් ඉවත් කිරීමක් සිදුවන බව පෙන්වා දුනි.

ඒ අනුව අදාළ වගන්ති සම්මත කිරීමට ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් යැයි ද ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා අධිකරණය හමුවේ පෙන්වා දුනි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක නීතිඥ රවුෆ් හකීම් මහතා කරුණු දක්වමින් තමා මෙම පනත් කෙටුම්පතට එරෙහිව පුද්ගලිකව පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙනී සිටින බව සඳහන් කළේය.

යෝජිත පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අහෝසි කිරීම සිදුවන හෙයින් විනිසුරුවරු ඇතුළු උසස් නිලතල සඳහා සිදු කරනු ලබන පත් කිරීම්වල පාරදෘශ්‍ය භාවය පිළිබඳව බරපතළ ගැටළු මතුවන බව නීතිඥ හකීම් මහතා පෙන්වා දුනි.

යෝජිත පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයා නීතියට ඉහළින් ඔසවා තැබීමක් සිදුවන බව පෙන්වා දුන් හකීම් මහතා මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවත් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බවත් අවධාරනය කළේය.

විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල්.පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, ඒම්. දයාරත්න, ඩබ්ලිව්.ඒ. ඩී.වීරතිලක, පී.ජී.බී.අබේරත්න යන අය විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.
-අද දෙරණ-