බොරැල්ල ඕවල් වීව් නිවාස සංකීර්ණය ඉදිකරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් වන අතර එය වෙන්කරනු ලබන්නේ රාජ්‍ය සේවයේ වසර 15ක සේවා කාලයක් සම්පූර්ණ කළ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට සහ ආරක්ෂ හමුදා වල අධිකාරිලත් නිලධාරීන්ටය. අදාළ ව්‍යාපෘතිය 2014.10.30 වන දින ආරම්භ කරන අතර එහි නිවාස සංඛ්‍යාව 608කි.
ව්‍යාපෘති කාලය මාස තිස් හයකි. ඒ අනුව ව්‍යාපෘතිය 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී නිම කර නිවාස ලාභීන්ට නිවාස බාරදිය යුතුය. එහෙත් මේ දක්වා එකී ව්‍යාපෘතියේ නිවාස නීත්‍යානුකූල ලෙස නිවෙස් ඔප්පු මාර්ගයෙන් නිවාසලාභීන්ට බාර දී නැත.
කෙසේ නමුත් පසුගිය පහළොස්වනදා රජය සංකේතාත්මක ලෙස නිවාස හිමි දස දෙනෙකුට නිවෙස් යතුරු ප්රදානය කළේය. එහෙත් මෙතෙක් ඔවුන් වෙත සිය නිවෙස් වලට හිමි ඔප්පු ලබා දීමට රජය හෝ ව්‍යාපෘතිය භාර නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියා කර නැත.
නාගරික සංවර්ධන අධිකාරිය මේ කඹ ඇදිල්ල සිදු කරන්නේ දැනට වසර ගණනාවක පටන්ය. ඔවුන් ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ ලබා නොදී පළමු වගකීම පැහැර හැර ඇත. ඊට අමතරව ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකර ඇති ඇක්සස් ඉන්ජිනේරු ආයතනයද අදාළ ඉදිකිරීම් නියමිත මාස 36 ක කාලය තුළ සිදු කර නොමැති අතර, ඒ සඳහා නිවාස ලාභීන් වෙත කිසිඳු වන්දි ගෙවීමක් හෝ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අදාළ ඉදිකිරීම් සමාගමෙන් වන්දි අයකර ගැනීමක් සිදු කර නැත.
ඒ අනුව මේ වන විට වගකිවයුත්තෙකු නොමැතිව ව්‍යපෘතිය වසර තුනක් පමණ හිමිකරුවන් වෙත පවරා නොදී තිබේ.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ 2014 වසරේ වන බැවින් ඒ වන විට අදාළ නිවාස සඳහා අත්තිකාරම් මුදල් ගෙවා රාජ්‍ය සේවකයෝ නිවෙස් වෙන්කර ගෙන සිටියෝය. කෙසේ වෙතත් නැවත වතාවක් නාගරික සංවර්ධන අධිකාරිය 2016 වසරේදී පමණ දැන්වීමක් පළකර නිවාස සඳහා නැවත ගැනුම්කරුවන් කැඳවන්නේ නිවාස ලබාගත් කිහිපදෙනෙකු නිවාස මිලදී ගැනීම අතහැර දමා ඇතැයි කියමිනි. කෙසේ හෝ ඉන් අනතුරුව නිවාස ව්‍යාපෘතිය අඛන්ඩව ගමන් කරන අතර නිවාස ඉදිකිරීමට ප්‍රථම එක් නිවැසියෙකුගෙන් නිවසක් සඳහා නිවසේ මිලෙන් 25% ක අත්තිකාරමක් ලබා ගෙන ඇත. මෙම නිවාස ව්‍යාපෘතියේ නිදන කාමර දෙකක් සහිත නිවසක මිල ලෙස 2014 වසරේ මිල ගණන් රුපියල් මිලියන 70 සිට ඉහළට වූ අතර නිදන කාමර තුනක් සහිත නිවාස සඳහා රුපියල් මිලියන 90 සිට ඉහළට මිල ගණන් නියම වී තිබුණි. කෙසේ වෙතත් දෙවන වතාවට දැන්වීම් පළ කරන ලද මොහොතේ එනම් 2016 වසරේ නව ගැනුම්කරුවන් සඳහා නිදන කාමර දෙකක් සහිත නිවසක මිල රුපියල් බිලියන නවයේ සිට ඉහළට වූ අතර නිදන කාමර තුනක් සහිත නිවසක මිල රුපියල් බිලියන එකොළහේ පමණ සිට ඉහළට විය. ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම ලෙස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර නාගරික සංවර්ධන අධිකාරිය පැවසූ මුදල රුපියල් බිලියන 6000 කි.
නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉදිකිරීම් සමාගම අදාළ නිවාස ව්‍යාපෘතිය නිමකර නිවැසියන්ට ලබා දීම ප්‍රමාද වූවද, නාගරික සංවර්ධන අධිකාරිය වාරික ගෙවීම් එක් දිනක් හෝ ප්‍රමාද කරන නිවෙස් මිලදී ගන්නා ගැනුම් කරුවන්ගෙන් දඩ මුදල් අයකරගත් බව මේ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබා ගැනීම සඳහා මුදල් ගෙවූ රාජ්‍ය සේවකයෙකු අප සමඟ පැවසීය.
මෙහි නිවාස සඳහා මුදල් ගෙවීම් සිදු වන්නේ පියවර හයකිනි. සේවාදායකයා හා සේවායෝජකයා අතර ඇති ගිවිසුමට අනුකූලව අවසාන ගෙවීම් ගෙවන විට නිවාස සේවාදායකයා වෙත සේවායෝජකයා එනම්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දිය යුතුය. මේ වන විට බහුතරක් දෙනා නිවාස සඳහා වන සම්පූර්ණ මුදල් ගෙවා ඇතත් නාගරික සංවර්ධන අධිකාරිය සිය ගිවිසුමේ වගන්ති උවමනාවෙන්ම කඩ කරමින් සිටී. නියමිත පරිදි මුදල් ගෙවා ඇති පසුබිමක, එසේ මුදල් ගෙවීම් අතපසුවන විට දඩ මුදල් ද අයකරගන්නා පසුබිමක නාගරික සංවර්ධන අධිකාරිය තමන්ගේ යුතුකම් හා වගකීම් ඉටු නොකිරීම කනගාටුදායකය.
එසේම මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වුවද මේ සඳහා වන නීත්‍යානුකූල අනුමැතීන් අදාල අධිකාරිය විසින් ලබා ගෙන නොමැති බවද මෙම නිවෙස් මිලද ගැනීමට මුදල් ගෙවා ඇති රාජ්‍ය සේවකයෝ පවසති.
ඔවුන් පවසන්නේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන විට ඒ සඳහා රජයේ සේවකයන්ට නිවාස ණය ලබා ගැනීමේ හැකියාවක් ඇති බව පැවසුවද බැංකු සමඟ ඔවුන් ණය ලබා ගැනීම සඳහා සාකච්ඡා කළ විට ව්‍යාපෘතියට අවශ්‍ය මූලික අනුමැතීන් සහ අනෙකුත් නීත්‍යානුකූල අවශ්‍යතා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සපුරා නොතිබූ බැවින් බංකු මෙම ව්‍යාපෘතියේ නිවාස සඳහා නිවාස ණය ලබා දීමට සිදු නොකර ඇත. එහෙත් අදාළ වාරික මුදල් නොගෙවීම සම්බන්ධව දඩ මුදල් අයකර ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාකර ඇත. ඒ අනුව ඇතැම් නිවෙස් මිලදී ගත් පුද්ගලයන්ට 2017 – 2018 පමණ වන තෙක්ම අදාළ දඩ මුදල් ගෙවීමට සිදුව ඇත්තේ අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතියට බැංකු සහන ලබා ගැනීමට අවශ්‍ය වන නීතිමය පසුබිම සම්පූර්ණ කර නොතිබීම නිසාය. එසේම ඇතැම් නිවාස හිමියන්ට සිදුව ඇත්තේ ඉහළ පොලී වලට පුද්ගලික ණය ලබා ගෙන ව්‍යාපෘතිය සඳහා ගෙවීම් කිරීමටය.
ඒ අනුව මේ සඳහා නිවැසියන්ට අදාළ නීතිමය ලියකියවිලි (ගිවිසුම් ආදිය) ලැබී ඇත්තේ පළමු ගෙවීම සිදුකර වසර දෙකකුත් මාස තුනක් ගත වූවාට පසුවය.
කෙසේ වුවත් මේ වන විට අදාළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කර ඇත. කොළඹ නගරය පුරා ඉදිවන මෙවැනි මහල් නිවාස ව්‍යාපෘති සමඟ සසඳන විට ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමම ප්‍රගතියක් ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත් මේ වන විට ව්‍යාපෘතිය පොරොන්දු වූ කාලසීමාව ඉක්මවා වසර තුනක් පමණ ගතව ඇතත්, තවමත් නිවැසියන්ට නිවාස හිමිවී නැත. කෙසේ වෙතත් නිවෙස් මිලදී ගැනීමට මුදල් ගෙවූ රාජ්‍ය සේවකයන් සහ අධිකාරිය අතර ඇති ගිවිසුමේ සඳහන් වන්නේ සම්පූර්ණ ගෙවීම් සිදු කළ පසු අදාළ නීතිමය (නිවසේ ඔප්පුව) ලියකියවිලි මගින් නිවස බාර දෙන බවයි. මේ අනුව නාගරික සංවර්ධන අධිකාරිය ගිවිසුම් ගත කොන්දේසි ද කඩකර ඇතිමුත් රජයේ නිලධාරීන්ට සිදුව ඇත්තේ තමන්ගේ මුදලුත් කාලයත් නිස්කාරනයේ වැය කරමින් බලා සිටින්නටය.
එසේ වුවත්, වර්තමානයේ රජය විසින් නිවාස මිලදී ගත් පිරිස් වලට බාර දෙන මුවාවෙන් සිදු කරන්නේ මෙය තවත් අකුලක පැටලවීමය. රජය මේ නිවෙස් වල අයිතිය සැබෑවටම පැවරීමට උවමනාවක් ඇත්නම් සිදුකළ යුත්තේ නාගරික සංවර්ධන අධිකාරියට නිවාසලාභීන් ගෙන්වා, සංකේතාත්මකව නිවෙස් වල යතුරු බාරදීම නොව, ඊට පෙර අත්‍යාවශ්‍යයෙන්ම සිදු විය යුතු නිවෙස් වලට අදාළ නීතිමය ලියකියවිලි, නිවෙස් ඔප්පු ආදිය නිවෙස් ලාභීන් වෙත ලබා දීමය.
රජයේ, යතුරු බාරදීමේ වැඩ පිළිවෙල තනිකරම ලකුණු දා ගැනීමේ වැඩ පිළිවෙලක් මිස අනෙකක් නොවේ. නිවාස මිලදී ගත් පිරිස් පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම නිදහස් කර ගැනීමේ කටයුතු ඇතුළු අනෙකුත් නීතිමය අවසර ලබා ගැනීම් පවා සිදු කර නොමැති හේතුවෙන් මෙම නිවෙස් ඔප්පු ලබා දීම ප්‍රමාද කරවන බවය.
-රසික ගුණවර්ධන-
-රාවය-