IMG-LOGO
Home வலைப்பதிவுகள் කළුකඩ රාජ්‍යයක් !

කළුකඩ රාජ්‍යයක් !

Date : 2020-Nov-08
IMG

ඉතාලි-ඇමෙරිකා එක්සත් ජනපද ද්විත්ව පුරවැසිභාවයක් හිමි, දැනට ලන්ඩන් විශ්වවිද්‍යාල කොලීජියේ නවෝත්පාදන සහ රාජ්‍ය ඇගයුම් පිලිබඳ ආර්ථික විද්‍යා මහාචාර්ය වරියක් ලෙස කටයුතු කරන, මරියානා මස්සුකාටෝ (Mariana Mazzucato),  මීට අවුරුදු හතකට පෙර, එනම් 2013 දී ඉදිරිපත්කරන ලද ව්‍යවසායකත්ව රාජ්‍යයක් පිලිබඳ අදහසේ, මෙරට සන්නාම තානාපති ලෙස මා මිත්‍ර චරිත හේරත් පත්කර ඇති බව දැනගත්තේ ගිය කිවි දා දැක්ම ට ඔහු ම ලියු ලිපියෙන් ය.


ඇය අනුව යමින් ශ්‍රී ලංකාව ‘ව්‍යවසායකත්ව රාජ්‍යයක්’ කළ යුතු ය යන්න චරිත යෝජනා කරන්නේ, මා කලක සිට ඉදිරිපත්කරන ජනරජ රාජ්‍යයට විකල්පයක් ලෙස විය යුතු ය. ඊට සමගාමීව ශ්‍රී ලංකාව ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කළ යුතුය යන්නද ඔහු අවධාරණය කරයි. චරිතට අනුව ඒ සඳහා වූ දාර්ශනික මාවත වැටී ඇත්තේ ‘ව්‍යවසායකත්ව රාජ්‍යය’ නැමති මුලධර්මය මතින් ය.



චරිත හේරත්


ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික සාර්ථකත්වය, ගූගල්, සහ ඇපල් කොම්පැනිවල සාර්ථකත්වය අරබයා රාජ්‍යය විසින් ලබාදුන් සහයෝගය පිළිබඳව වූ මස්සුකාටෝ ගේ විවරණය සහ, ව්‍යවසායකත්ව රාජ්‍යයක් පිලිබඳ ඇයගේ යෝජනාව මට නම් සිහි ගන්වන්නේ, වියට්නාම යුධ සමයේ, එනම්, කෙනඩි සහ ජොන්සන් යන ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාවේ  ආරක්ෂක ලේකම් වරයා වූ, පසුව ලෝක බැංකුවේ සභාපති ධූරය දැරූ, රොබර්ට් මැක්නමාරා ගේ ලෝක ආර්ථික වැඩපිළිවෙල ය.  ඔහුගේ ලෝක ආර්ථික වැඩපිළිවෙල සහ වියට්නාමයේ අධිරාජ්‍යයවාදී මැදිහත්වීම හැම අතින්ම, එනම් අරමුණු අතිනුත් විනාශය අතිනුත් එක සමානය. ඒ වැඩපිළිවෙළින් හැදුනේ ඇමරිකා එක්සත් ජනපදය වැනි කාර්මික ධනේශ්වර රටවල් මිස අප වැනි තුන්වැනි ලෝකයේ රටවල් නම් නොවුන බව, මස්සුකාටෝ ගේ දේශපාලන දර්ශනය ලංකාවට හඳුන්වා දෙන මගේ මිත්‍රයා වටහා ගත යුතු ය.


ස්වදේශිකවාදී සහ ජනරජවාදී අරමුණු මත පදනම් වූ, රාජ්‍ය ව්‍යවසායකත්වය සහිත, 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල, එනම් පස් අවුරුදු සැලැස්ම සමඟ මස්සුකාටෝගේ සහ චරිතගේ ව්‍යවසායකත්ව රාජ්‍යය සංකල්පය අප පටලවා ගත යුතු නැත. ආචාර්ය නිව්ටන් ගුණසිංහ එය හැඳින් වූයේ රාජ්‍ය ධනවාදය නමිනි. පැරණි කොමියුනිස්ට් ආර්ථික හැඳින්වීම සඳහා ද ඒ නම යොදා ගැනුනි. සමඟි පෙරමුණේ වැඩපිළිවෙල මඟ වරද්දා ගත්ත ද එය ජනතා කේන්ද්‍රීය ස්වදේශීය ආර්ථිකයක් මුල් කරගත් එකකි. චරිතලාගේ යෝජනාව, ඇමරිකාවේ සහ යුරෝපයේ නම් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් මුල්කරගත් සහ ඔවුන් සමඟ අත්වැල් බැදගත් එකකි. අපවැනි රටවල් සඳහා නම් එය සහචර ව්‍යාපාරිකයින් හෝ කළුකඩකාරයින් කේන්ද්‍ර කරගත්තකි. ඇත්තටම මේ ව්‍යවසායකත්ව රාජ්‍යය ආකෘතිය, ලෝක බැංකුවේ හෝ මුල්‍ය අරමුදලේ හෝ චීන සමුහාණ්ඩුවේ හෝ ඇමරිකාවේ බලපෑම් පිට, දක්ෂිනාර්ධ ගෝලයේ රටවල් වලට ණය කොන්දේසියක් විධියට ආවත් සිදුවන්නේ,  මස්සුකාටෝ සහ චරිත කියන ඇමරිකානු ආකාරයේ ව්‍යවසායක රාජ්‍යයන් ඇතිවීම නම් නොවේ ය. සිදුවන්නේ දැනටමත් මේ රටවල ආර්ථිකය, වෙළඳපොළ, සහ දේශපාලනය අත්පත් කරගෙන සිටින සහචර ධනවාදයේ සහ එහි ප්‍රමුඛයන්ගේ දුෂිත ක්‍රියාවලියට සහ කළුකඩ රාජ්‍යයන්වලට බුද්ධිමය පිටපොත්තක් ලැබීම ය.


කෙසේ වෙතත් ජනරජවාදී මුලධර්ම මත නොපිහිටන ව්‍යවසායකත්ව රාජ්‍යයක් යනු ව්‍යවසායකයින්ගේ (වෙළෙන්දන්ගේ) රාජ්‍යයකි. එවැනි රටක ජනයා වෙනුවෙන් මැදිහත්වීමේ අතරමැදි කාර්යයක්වත් රාජ්‍යයට නොමැත. කාර්මික විප්ලවයේ මුල් අදියරේ දී එංගලන්ත ධනපතියන්ගේ ඉල්ලීම වූයේ ආර්ථික කටයුතුවලට මැදිහත් නොවී, ඒ කටයුතු කාර්මික ධනපතීන්ට බාර දී රාජ්‍යයට පැත්තකට වී සිටින්න කියා ය. අද මස්සුකාටෝලා සහ චරිතලා කියන්නේ රාජ්‍යයේ සහයෝගය පෞද්ගලික ව්‍යවසායකයින්ට ලබා දී, පොදු මහ ජනයාව පැත්තකට තල්ලු කරන ලෙස ය.


මෙතන ගැටලුව වන්නේ එවැනි පසුබිමක රාජ්‍යය සහ ජනයා අතර තිබිය යුතු දේශපාලන, ආර්ථික, සංස්කෘතික, සහ සමාජ බැඳීම නඩත්තු කරන්නේ කොහොමද කියන එකය. රාජ්‍යය යනු හුදු තාක්ෂනික උපකරණයක් නොව මානව සම්බන්ධතා ජාලයක් ය. එය හුදු ව්‍යවසායක ක්‍රියාවලියකට ලඝු කළ හැක්කක් නොවේ. නමුත් රාජ්‍යය ‘ව්‍යවසායක රාජ්‍යය’ යනුවෙන් නම් කරන විටම ඉන් ගම්‍ය වෙන්නේ එහි කේන්ද්‍රීය සහ හරයාත්මක නැඹුරුව වෙළඳපොළ සහ වෙළෙන්දන් දෙසට බවය. එසේ ලඝු කළහොත් එය සමාන වන්නේ නව ලිබරල්වාදයේ අවම රාජ්‍ය සංකල්පයටය. ඒ අවම වීම සිදුවන්නේ ජනයා දෙසට ය. එය එසේ සිදුවෙද්දී, උපරිම ආකාරයෙන් වෙළඳපොළවාදී වීම ඔය කියන ව්‍යවසායක රාජ්‍යයේ ගති ලක්ෂණය ය.


මස්සුකාටෝ ගේ වැදගත්ම අදහස් ලෙස චරිත අවධාරණය කරන්නේ වෙළඳපොළ කඩාවැටීම් කළමනාකරණය කරන්නාගේ භූමිකාව ව්‍යවසායක රාජ්‍යය මගින් සිදු කරනවා ය යන්නය. එහි දී රාජ්‍යය පැත්තකට  වී බලා නො ඉඳ වෙළඳපොළ වෙනුවෙන් හැකි සෑම දෙයක් ම කළ  යුතු ය. එහෙත් මේ පැහැදිළි කිරීම තුළ එක දෙයක් අමතක කොට ඇත. එනම් වෙළඳපොළ අධිකාරිවාදයෙන් පීඩාවට පත්වන පොදු ජනයා වෙනුවෙන් රාජ්‍යය කරන්නේ කුමක් ද යන්න, ඒ අමතක කොට දමන කාරණය ය. ජනයාට සිදුවන්නේ රාජ්‍යය යාන්ත්‍රණවලින් දෙන පීඩාවත් රාජ්‍ය අනුග්‍රහය සහිත වෙළඳපොළ පීඩාවත් දරා ගැනීම හෝ ඒ දෙකටම එරෙහිව දැවැන්ත අරගලයක් කිරීම ය. ජනරජවාදී රාජයක නම් කාර්ය භාරය වන්නේ රාජ්‍ය යාන්ත්‍රණ ජනතාවාදී කිරීම සහ වෙළඳපොළ පීඩා නොඑන ලෙස එය නියාමනය කිරීම ය. පෝල් හර්ස්ට් ට අනුව නම්  රාජ්‍ය පීඩාවට සේම වෙළඳපොළ පීඩාවට ද විරුද්ධව ජනයා එකසේම නැගී සිටිය යුතු ය.


 රාජ්‍යය පැත්තකට වී බලාසිටීමේ ප්‍රතිපත්තියෙන් මිදී, පෞද්ගලික ව්‍යවසායකයන්ගේ සහ සමාජ ප්‍රතිලාභයන්ගේ වගකියන්නා ලෙසින් රාජ්‍යයට ඇති වපසරිය, ව්‍යවසායක රාජ්‍යයක් තුළ නිර්මාණය වන බව ට වූ තර්කය පිළිගත නොහැක්කේ හේතුසාධක සහිතවය. නව-ලිබරල් අදහස ඉදිරිපත් කළ අයද කියා සිටියේ රාජ්‍ය, වෙළඳපොළ, සහ සිවිල් සමාජය යන ත්‍රිකෝණමය ආකෘතිය විසින් රාජයක යහපැවැත්ම ස්ථාපනය වන බවය. එනම් රාජ්‍යයේ සහ වෙළඳපොලේ පීඩාකාරී ක්‍රියා පාලනය කිරීමේ හැකියාවක් සිවිල් සමාජයට ලැබෙන බවය. නමුත් එය හුදු ප්‍රකාශයක් ම මිස යථාවක් වූ තැනක් ලෝකයේ දකින්නට නොමැත. සිදු වුණේ සිවිල් සමාජය නමින් තවත් වෙළඳපොළ අංශයක් නිර්මාණය වීම ය. ඒ සිවිල් සමාජ වෙළඳපොළ  සිදු කළේ රාජ්‍යයන් හි ජනතාවාදී ගති ලක්ෂණ සහ අනන්‍යතා වර්ධනය කිරීම නොව ඒවා අඩපණ කොට වෙළඳපොළ ක්‍රියාවලියට ඉඩකඩ සැලසීම ය. එවැනි කිසිම රාජ්‍ය ව්‍යුහයක් සමස්තවාදී ජන-ප්‍රවේශයකින් සමාජය දෙස බලා ප්‍රතිපත්ති සම්පාදනය කොට හෝ තීන්දු තීරණ අරගෙන හෝ නොමැත.


එසේම වෙළඳපොළ ක්‍රමය තුළ, රෙගුලාසි හදන්නාවත්, මුල්‍ය පාලනය කරන්නාවත්, රාජ්‍යය නොවන බව අප මස්සුකාටෝ ට සහ චරිතට පැහැදිළි කළ යුතු ය. ඔබලා කියන ව්‍යවසායක රාජ්‍යයක පමණක් නොව, මේ මොහොතේ අපවැනි අනාකෘතික රාජයන්වල පවා, රෙගුලාසි හැදෙන්නෙත් මුල්‍ය පාලනය හෝ හැසිරීම සිදුවන්නේත්, වෙළඳපොළ අනුහසින් මිස රාජ්‍යයන් වල බලමහිමයෙන් නම් නොවේ ය. ඒ නිසාම වෙළඳපොළ කඩාවැටීම් වැළක්වීමට හදිස්සි වන ආණ්ඩු පොදු ජනයාගේ ජීවිතවල කඩාවැටීම් වැලැක්වීම කෙරෙහි දක්වන්නේ අති මහත් උදාසීනත්වයකි. මේ මොහොතේ අප එය අන් කවරදාටත් වඩා අත් දකින්නෙමු.


අප අපේ රාජ්‍යය තේරුම් ගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව ය යන චරිතගේ මතයට මා එකඟ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් රාජ්‍යයේ ස්වභාවය නොව, රාජ්‍යයයේ ස්වභාවය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ස්වභාවය තීරණය විය යුතු ය, තීරණය කළ යුතු ය. ජනරජවාදයේ සාරය නම් එය ය. 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බල-දේශපාලන ව්‍යවස්ථාවක් මිස (එක අතකට එය ව්‍යවසායක රාජ්‍යයක් හෝ වෙළඳ රාජ්‍යයක් සඳහා වූ ව්‍යවස්ථාවක් ය) ජනරජ ව්‍යවස්ථාවක් නොවන බව අප තේරුම් ගෙන නැවත ඒ වැරැද්ද නොකිරීමට වග බලා ගත යුතු ය.


ඇත්ත වශයෙන්ම රාජ්‍යයයේ ස්වභාවය පිලිබඳ සාකච්ඡාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය එකකට වඩා සදාචාරමය, සමාජමය, දේශපාලනමය, නීතිමය, සංස්කෘතිකමය, ආයතනමය, සහ දාර්ශනික වශයෙන් ද  හරයාත්මක, සහ පටිපාටිමය වශයෙන් ද පුළුල් සහ ගැඹුරු එකකි. ඒ ගැන චරිත නො දන්නවා නොවේ. අපේ රටේ ඇත්තේ රාජ්‍යයේ ස්වභාවය පිලිබඳ සාකච්ඡාවකට වඩා ආණ්ඩුවේ ස්වභාවය පිලිබඳ කථික තරඟ ය.


ශක්තිමත් රාජ්‍යයක් පිලිබඳ මා මිතුරු චරිත මතු කරන අදහස ගැන ද අවධානය යොමු කිරීමට මා සූදානම් ය. ශක්තිමත් රාජ්‍යයක් යනු කුමක් ද? එය හුදු ව්‍යුක්ත අදහසක් ලෙස ඉදිරිපත් නොකොට සංයුක්තව සාකච්ඡාවට ගත යුතු ය. රාජ්‍යයක් ශක්තිමත් කිරීමට කළ යුත්තේ කුමක් ද? ශක්තිමත් රාජ්‍යයක මුලිකාංග මොනවාද? කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ මහාචාර්ය අන්ද්රෙයි සිගන්කොව් (Andrei Tsygankov) දක්වන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදය ශක්තිමත් ලිබරල් රාජ්‍යයකි (a liberal state). ජර්මනිය ශක්තිමත් සමාජ රාජ්‍යයකි (a social state). චීනය ශක්තිමත් සංවර්ධන රාජ්‍යයකි (a developmental state).


රුසියාව ශක්තිමත් ආරක්ෂක සහ සංවර්ධන රාජ්‍යයකි (a security and developmental state). නයිජීරියාව දුර්වල රාජ්‍යයකි (a weak state). මා මේ නම් කිරීම ඉදිරිපත් කළේ ශක්තිමත් රාජ්‍යයක් යන්න හුදු ව්‍යුක්තව නොව සංයුක්තව ඉදිරිපත් කිරීම යමක් කියා ගැලවී යාමකට වඩා දේශපාලනික වන නිසා ය. උතුරු කොරියාව ද ශක්තිමත් රාජ්‍යයක් වුවත් එය අප අනුගමනය කළ යුතු ආකෘතියක් නොවේ. ඒ නිසා රාජ්‍යයක ශක්තිමත් භාවය යනු සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික-නෛතික ප්‍රජාතන්ත්‍රවාදී ඇගයුම් ස්ථාපිත වීම ය. පොදුජන යහපැවැත්ම සහ යහපත තහවුරු වීම ය. එය රඳා පවතින්නේ බියකින්, සැකයකින්, සහ බාධාවකින් තොරව පොදු ජන පරමාධිපත්‍යය රැකෙන සහ ක්‍රියාත්මක වන පරිසරයක් නිර්මාණය වීම මත ය. එසේ නොමැතිව ව්‍යවසායකයින් සහ කළුකඩ කාරයින්ගේ ස්ථාවර භාවය රැකීමට, ලාභ රේට්ටු වැඩි කිරීමට , ඉලක්ක සාධනය ට උදව්කිරීම සහ ඒ සඳහා  පොදු ජන ජීවිත නොසලකා හැරීම මත නොවේ ය යන්න මගේ අවධාරණය ය.


-ධම්ම දිසානායක-

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *