IMG-LOGO
Home கட்டுரை ජාතික අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව

ජාතික අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව

Date : 2020-Sep-19
IMG

නව ආණ්ඩුව අධ්‍යාපන ක්‍ෂේත්‍රය සඳහා නව ප්‍රතිපත්තියක් හඳුන්වාදීම සඳහා සැලසුම් කිරීම පැසසිය යුත්තකි. නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරන විට අපගේ අවධානය යොමු කළ යුතු ප්‍රධානම කරුණ වන්නේ අපට ගැළපෙන අධ්‍යපන දර්ශනයක් මත එම වෙනස්කම් හඳුන්වාදීමයි. මේ සඳහා අප විසින් මුලින්ම කළ යුතු වන්නේ විද්වත් කමිටුවක මූලිකත්වයෙන් අනෙකුත් සෑම ක්‍ෂේත්‍රයකම සිටින අයගේ අදහස් ලබා ගනිමින් අපට ගැළපෙන අධ්‍යාපන දර්ශනයක මූලධර්ම සකස් කිරීමයි. ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙතෙක් හඳුන්වා දී ඇති සහ දැනට හඳුන්වාදීමට සූදානම් කරන ප්‍රතිපත්ති සහ වෙනස්කම්ද මා ඉහත කී බටහිර ලෙගසිය මත පදනම් වූ ඒවා වේ. ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන අර්බුදයට තිරසාර විසඳුමක් සොයා ගැනීමට නම් අප රටට ගැළපෙන රටෙහි උපන් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම අත්‍යවශ්‍යම දෙයකි. අප මෙහිදී අදහස් කරන්නේ වෙනත් රටවල අධ්‍යාපන ක්‍ෂේත්‍රයන්හි හඳුන්වා දී ඇති වෙනස්කම් අපගේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට බද්ධ කර ගන්නේ නම් ඒවා අපගේ සමාජ සංස්කෘතික දේහයේ ඇති සංරචකවලට ගැළපෙන ලෙස අනුකලනය කර ගැනීම නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසන අයගේ මූලිකම වගකීමක් විය යුතු බවය.


විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය විශාල අර්බුදයක පවතින බව රහසක් නොවේ. කොරෝනා කාලයේදී පවා දෙමාපියන් දැඩි ලෙස ඉල්ලා සිටියේ පාසල් ආරම්භ කරන ලෙස නොව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසය. මෙය සරල දෙයක් ලෙස කෙනෙකුට පෙනුණද ලංකාවේ පාසල් අධ්‍යාපනයේ පවතින අර්බුදකාරී තත්ත්වය එමගින් පැහැදිලි වේ. පාසලට වඩා උපකාරක පන්තිවලට සිසුන් ආකර්ෂණය වීම පාසල් අධ්‍යාපනය වැටී ඇති තත්ත්වය අවබෝධ කර ගැනීමට අපට ඇති හොඳ නිදසුනකි. මෙම තත්ත්වය ඇතිවීමට බලපෑ ඇති හේතු කවරේද? එම හේතු සැලකිල්ලට නොගෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම කොතරම් දුරට යුක්කි යුක්තද?


එසේ නම් පාසල් සංස්කෘතියේ පවතින ගැටලු කවරේද? මෙහිදී පාසල් විෂය මාලාව, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම, විභාග සංස්කෘතිය, තක්සේරුකරණ සහ ඇගැයීම් ක්‍රම කෙරෙහි අපගේ සැලකිල්ල යොමුවිය යුතුය. විශේෂයෙන්ම අපගේ විෂය නිර්දේශවලට ඇතුළත් කර ඇති විෂය අන්තර්ගතය ප්‍රමාණයෙන් වැඩි බව පෙනේ. ගුරුවරු විෂය අන්තර්ගතය අදාළ වර්ෂය තුළ නිම කිරීම සඳහා දැඩි සටනක යෙදී සිටිති. ඔවුන් පවසන දෙයක් වන්නේ විෂය නිර්දේශවල දක්වා ඇති විෂය අන්තර්ගතය නිම කිරීම සඳහා වැඩි වෙලාවක් ගත කිරීමට සිදුවන නිසා සිසුන්ගේ ස්වභාවය වැනි කරුණු සැලකිල්ලට ගනිමින් ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක නිරතවීමට ඔවුන්ට කාලය ප්‍රමාණවත් නොවන බවය. අනෙක් අතට මෙම තත්ත්වය සිසුන්ට පාසල එපාවීමටද හේතු වී ඇත.


ගුරුවරුන් පුහුණු කරන විශ්වවිද්‍යාල, ගුරු විද්‍යාල සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ නිර්මාපී ඉගෙනුම් න්‍යායට අනුගතව ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් සංස්කෘතියකට ඔවුන්ව හුරු කෙරුවද ඔවුන් පාසල් පද්ධතියට අනුගත කිරීමෙන් පසුව ඔවුන්ගේ පාඩම් නිරීක්ෂණයේදී අපට දක්නට ලැබෙන්නේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු තවමත් ගුරු කේන්ද්‍රීය පාඩම් සිදු කරන බවය. එයට හේතු සොයා පිළියම් යෙදීම සඳහා ජාතික මට්ට්මේ පර්යේෂණ සංස්කෘතියකට අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුවීමට සිදුවේ. හොඳ අධ්‍යාපනයක් පවතින්නේ යැයි සලකන ස්කැන්ඩිනේවියානු රටවල මෙන්ම, ජපානය කොරියාව වැනි රටවලද අධ්‍යාපනයට අදාළව තීරණ ගනු ලබන්නේ පර්යේෂණ අනාවරණ පදනම් කර ගෙනය. ශ්‍රී ලංකාව තුළද යම් ප්‍රමාණයක පර්යේෂණ වාර්තා විද්වතුන් මෙන්ම ගුරුවරුන් විසින් ඉදිරිපත් කර තිබුණද රටෙහි අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳව තීරණ ගනු ලබන්නේ කිසිසේත්ම ඒවා සැලකිල්ලට ගැනීමෙන් නොවේ.


විසි එක්වන ශත වර්ෂය මුලදී ජාතික අධ්‍යාපන ආයතනය ලංකාවේ පාසල් අධ්‍යාපනය සඳහා නිර්මාපී ඉගෙනුම් න්‍යාය යටතේ ඊ පහ ක්‍රමය (E 5) හඳුන්වා දුන්නද බොහෝ පාසල්වල ගුරුවරුන් විසින් ඔවුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට එය යොදා ගත්තේ නැත. මෙම රචකයා විසින් එක්තරා අධ්‍යාපන කොට්ඨාසයක සිටින විදුහල්පතිවරුන් 125 දෙනෙක්ගෙන් මේ පිළිබඳව විමසූ විට ඔවුන් කියා සිටියේ ඔවුන්ගේ පාසල්වල එම ක්‍රමය යොදා නොගන්නා බවය. මෙම තත්ත්වයද ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩුපාඩුවකි. ජාතික ප්‍රතිපත්ති මට්ටමේදී සහ ඒවා සැලසුම් කරන අවස්ථාවලදී ගනු ලබන තීරණ ගුරුවරුන්ට සම්පේ්්‍රෂණය වන්නේ නැත. මෙයින් පැහැදිලි වන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ විෂයමාලා සම්පාදකයින් එක් දෙයක් බලාපොරොත්තු වන බවත් සැබෑවට පන්ති කාමරය තුළ එය සිදු නොවන බවත්ය.


ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල සහ විශ්වවිද්‍යාල මගින් ලබාදෙන ගුරු සංවර්ධන ක්‍රියාවලියේද සැබෑ වෙනසක් අවශ්‍ය වේ. නිදසුනක් ලෙස ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 1985 දී ආර්ම්භ කරන විට ඒවා ශ්‍රී ලංකාවේ ගුරු සංවර්ධන ක්‍රියාවලියේ වෙනසක් ඇති කිරීමට සමත් වුවද තවමත් ඒවා ක්‍රියාත්මක වන්නේ මුලදී හඳුන්වා දුන් ආකෘතීන් මතය. ඒවායේ ක්‍රියාත්මක වන විෂය මාලාව හොඳින් නිරීක්ෂණය කරන විට පෙනී යන දෙයක් වන්නේ අදටත් එදා හඳුන්වා දුන් විෂය මාලාවම ඒ ආකාරයෙන් යොදා ගන්නා බවය. එම නිසා එම පීඨවල දැනට පවතින පරිපාලන ව්‍යුහය, විෂය මාලාව, ගුරුවරුන් පුහුණු කිරීමේ ක්‍රමෝපායන් මෙන්ම, තක්සේරුකරණ සහ ඇගයීම් ක්‍රියාවලියේද විප්ලවීය වෙනසක් අවශ්‍ය වේ.


අප රටේ පවතින විභාග ක්‍රමය කෙරේද අපගේ විශේෂ අවධානය යොමුවිය යුතුවේ. වර්තමාන විභාග කොමසාරිස්වරයාගේ අදහස් දැක්වීම්වලින් අපට පෙනෙන්නේ ඔහුට විභාග ක්‍රමයේ ඇතිවිය යුතු වෙනස්කම් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති බවය. නමුත් ඔහු පවසන ආකාරයට විභාග ක්‍රමය වෙනස් කිරීමට නම් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින අනෙකුත් අංශ තුළද වෙනස්කම් සිදුවිය යුතුය. නිදසුනක් ලෙස බොහෝ ගුරුවරුන් විසින් දක්වන විශේෂ කරුණක් වන්නේ නිර්මාපී න්‍යාය මත ගොඩ නැගුණු ඉගෙනුම් ක්‍රියාවලියකට ඔවුන්ට අනුගතවීමට කියා සිටියද තවමත් බොහෝ දුරටම අපගේ විභාග රටාව දැනුම මූලික කරගත් විභාග ක්‍රමයක් ලෙස පවතින බවය. මේ නිසාම උපකාරක පන්තිවලින් සිසුන්ට ලබාදෙන දැනුම ඔවුන්ට විභාගය සමත්වීමට ඍජුවම බලපාන බව දෙමාපියෝ පවසති. මෙයින් පැහැදිලි වන්නේ සමස්ත අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ වෙනසක් ඇති කිරීමට නම් එය සමස්ත පද්ධතියම වෙනසකට ලක් කිරීමෙන් සිදු කළ යුතු බවය.


අපගේ අධ්‍යාපන ක්‍රියාවලියට ස්ටෙම් (STEM) ක්‍රමෝපාය බද්ධ කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් වැඩමුළු ගණනාවක් පවත්වන ලදි. නමුත් අද අපට අවශ්‍ය වන්නේ ස්ටෙම් අධ්‍යාපනයද යන්න ගැටලුවකි. එය ආරම්භ වූ ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල දැනටමත් එය අතහැර දමා තිබේ. විශේෂයෙන්ම 2010 වර්ෂයට පසුව ඉපදී ඇති දරුවන් ඇල්ෆා පරම්පරාවේ දරුවන් නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉසෙඞ් පරම්පරාවේ දැරුවන්ගෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අවශ්‍යතාවන්ය. එහිදී ඔවුන් නව තාක්ෂණය භාවිත කරන්නන් නොව නව තාක්ෂණය නිපදවන්නන් බවට පත්වේ. එම නිසා නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී මේ පිළිබඳවද අපගේ සැලකිල්ල යොමුවිය යුතු වේ. මේ නිසාම අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපනය සඳහා වියදම් කරන මුදලින් වැඩි ප්‍රමාණයක් අපතේ යයි. මෙය වළක්වා ගැනීම සඳහාද ඇමතිවරයා කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


උපකාරක පන්ති නොමැති අධ්‍යාපන ක්‍රමයක් අපට සකස් කළ නොහැකිද? ලෝකයේ බොහෝ රටවල සිසුහු උපකාරක පන්තිවලට නොයති. එයට හේතුව එම රටවල පවතින ගුණාත්මක අධ්‍යාපනයයි. හාස්‍යයට හේතුව කොරෝනා කාලය තුළදී රටෙහි අධ්‍යාපනය පිළිබඳව කථා කිරීමට රූපවාහිනී නාලිකා පවා ගෙන්වා ගත්තේ උපකාරක පන්තිවල ගුරුවරුන්ය. මේ අවාසනාවන්ත තත්ත්වය බලධාරීන්ට නොපෙනීම අභාග්‍යයකි.


තවද අධ්‍යාපන ක්‍රියාවලිය පන්ති කාමරයෙන් පිටතට ගෙන සමාජයේ පවතින වාස්තවික තත්ත්වයන් සමග බද්ධ වන ලෙස ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. ගුණාත්මක අධ්‍යාපනයක් ඇතැයි පිළිගන්නා ස්කැන්ඩිනේවියානු රටවල මෙන්ම ජපානය, කොරියාව වැනි රටවලද අද අධ්‍යාපනය පන්ති කාමරයට සීමා වී නොමැත.


සිසුන්ගේ මනස කරුණුවලින් පිරවීම සහ විභාගයේදී එම කරුණු නිසි ලෙස වැමෑරීම මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ගිය පුද්ගලික, සමාජ සහ ජාතික අවශ්‍යතා මෙන්ම ලෝකයේ මතුවන නව ප්‍රවණතාවන්ට ගැළපෙන අප රටෙහි උපන් අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව තවමත් අප ඉදිරියේ තිබේ.

-අනිල් පාගොඩ ආරච්චි-

රාවය


Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *