රටක් ලෙසින් අපි මුහුණදෙන තෙවැනි අභියෝගය වන්නේ විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්රයේ අද ඇතිවී ඇති තත්වයයි. අපි ජීවත්වෙන්නේ ලෝක දේශපාලනයේ අලුත් බලවතුන් දෙදෙනෙක් ආසන්නයේ අපේ රට පිහිටා තිබෙන බව මෙහිදී තේරුම් ගතයුතු කාරණයයි. එසේ අලූතින් ලෝක බලවතුන් වෙමින් සිටින්නේ චීනය සහ ඉන්දියාවයි. මේ රටවල් දෙකේ බල දේශපාලන අපේ රටේ භූ දේශපාලනයේ මහා පොදුසාධකය වීමේ විශාල ඉඩක් ගොඩ නැගී ඇත්තේ මේ තත්වයත් සමගය. විශේෂයෙන් පසුගිය යහපාලනය යැයි කියාගත් රජය විසින් හම්බන්තොට වරායම චීනයට පවරාදීම හේතුවෙන් මතුවී ඇති ඉන්දු චීන දේශපාලන ආතතිය සමහන් කිරීම අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය මේ මොහොතේ මුහුණ දෙන බරපතලම අභියෝගය බැව් මගේ අදහසය. හම්බන්තොට වරාය ‘චීන වරායක්’ බවට පත් කළේ එ් කාලයේ සිටි විපක්ෂය එහි ඇති බරපලකම ගැන සියලූ කරුණු පෙන්නා දෙමින් තිබු තත්වයකය. යහපාලන යැයි කියාගත් ආණ්ඩුවේ මේ අනුවන ක්‍රියාමාර්ගය විසින් අපේ රට බරපතල විදේශීය දේශපාලන අවුලක ගැට ගසා ඇති බව තේරුම් ගත යුත්තේ ඉන්දියාව මේ තත්වයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබදවත් විමසා බලමින් ය.
ඇමරිකානු දේශපාලනයේ අලූත් ස්ථාවරයක් වන ඉන්දු පැසිපික් නව උපක්රමික මැදිහත්වීම අපේ රටට ඉතාමත් ආසන්න බලපෑමක් සිදුකරන්නට කැස කවන්නේද මේ කාරණයම හේතුවෙන් ය. චීනය එක පැත්තකත් ඉන්දියාව ඇමරිකාව සහ ජපානය තවත් පැත්තකටත් බෙදී සිදුකරන බල තරඟයත් බවට දකුණු චීන මුහුද පත්වී ඇත්තේ මේ තත්වය තුළය. මේ කාරණය හේතුවෙන්ම අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය තුළනාත්මකව පවත්වා ගෙන යාමට විශාල අභියෝගයක් මතුවී ඇති බව මෙහි ඇති දේශපාලන යථාර්ථයයි.
සිව්වෙනුව අපේ රට මුහුණ දෙන අභියෝගය වන්නේ දේශපාලන ක්ෂේත්රයේ රටක් ලෙසින් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණයන් පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යා යුත්තේ කුමන ආකාරයෙන්ද යන ප්රශ්නයයි. දේශපාලන ක්ෂේත්රය ලෙසින් මා කියන්නේ එක පැත්තින් අලූත් ව්‍යවස්ථාවක් ගෙනඒම පිළිබඳ කාරණයත්, අනෙක් පැත්තෙන් රටේ ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සිදුකිරීම කියන කාරණයත් යන දෙකටමය. අලූත් ව්‍යවස්ථාව හැදිම සඳහා මේ වනවිට විශේෂඥ කණ්ඩායමක් පත් කර ඇති අතර ඒ අය හමුවේ ඇති බැරෑරුම් වගකීම වන්නේ සමාජයේ තිබෙන විවිධ බෙදිම් සැලකිල්ලට ගනිමින් අලූත් ව්‍යවස්ථාවක් හැදීමය.
ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ පිළිබඳ ක්ෂේත්රයේ, සමාජයේ තිබෙන්නේ ඉතාමත් වෙනස්වන සුළු අදහසක් ය. අදවෙන විට රටේ මාධ්‍ය අවකාශය අලූත් වී හමාරය. 1960 සහ 70 දශකයේ තිබුණේ පුවත්පත් සහ ගුවන් විදුලිය පමණක්ය. 1980 දශකයේ මෙයට රූපවාහිනියත් එකතුවිය. එහෙත් 2010 පසුව රටේ මාධ්‍ය ක්ෂේත්රය වෙනස් වී ඇත්තේ හැමෝම ‘ඩේටා ලෝකයක’ හිරකරමින්ය. ඈත ගමක දරුවෙක් පොල්ගෙඩි දෙකක් විකුණා ටේඩා කාඩ් එකක් ඉල්ලන තත්වයකට ගමේ ලෝකයද වෙනස්වී ඇත්තේ මේ තත්වය නිසාය. තවදුරටත් මාධ්‍යය යනු සමාජයේ විසිරි තිබෙන තරංගමාලාවක් මිස ඉස්සර තිබුණු ආකාරයේ පුවත්පතක් ගුවන්විදුලියක් හෝ රූපවාහිනියක් නොවේ. මේ උපකරණ තුනම ‘තරංගකරණය’ වී අතේ තිබෙන දුරකථනයට පැමිණ ඇති ලෝකයක අපි ජීවත්වෙමින් සිටින්නෙමු. ඒ නිසාම රටේ දේශපාලන සංවාදය යනු හැමවිටම වෙනස්වෙන පුදුම සහගත තත්වයක් බවට පත්වීම අපේ සමාජයේ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තිබෙන ප්‍රධානතම අභියෝගයක් බව මගේ අදහසය. ඒ කියන්නේ මාධ්‍ය ඩිජිටල් ලෝකයට ඇතුල්වීම වැරැද්දක් බව නොවේ. රටේ දේශපාලන සංවාදය ඩිජිටල් අවකාශයට සේන්දුවීම මගින් පෙන්නුම් කරන්නේ සිදුකළ යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ ලෙහෙසියෙන් කළ හැකි දෙයක් හෝ ලාබෙට කළ හැකි දෙයක් නොවන තැනකට රටත් ලෝකයත් පත්වී ඇති බවය.
ඡන්ද දේශපාලනය පැත්තෙන් බැලූවත් මේ අලූත් මාධ්‍ය තත්වය (new media condition) තේරුම් ගැනීම වැදගත් වන්නේ ඒ මගින් හසුරුවන ඡන්දදායක ප්‍රමාණය මිලියන 5 ටත් වඩා වැඩි බව දත්ත මගින් පෙන්නා දි ඇති නිසාය. ඒ නිසා දේශපාලන ප්‍රතිසංස්කරණ යනු වෙනදාටත් වඩා වැඩි අභියෝගයක් බවට පත්වී ඇති බව පිළිගැනීම නිවැරදිය.
මා දකින පස්වන අභියෝගය වන්නේ මේ රටේ රාජ්‍යයේ ඵළදයිතාව වැඩිකිරීම සහ නව සමාජ චින්තනයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ය. රාජ්‍යයේ ඵළදයිතාව වර්ධනය කළ හැක්කේ මේ අලූත් තත්වය තුළ රාජ්‍ය සේවය පිළිබඳව නව අදහසක් සමාජයට ඉදිරිපත් කිරීමෙන් බව මගේ අදහසය. රාජ්‍යය යනු හැම ක්ෂේත්රයකම සිටිය යුතු බලයක් යැයි සිතූ 1970 දශකයේ සිතුවිල්ලෙන් ඉවත්වීම මෙහිදී ඉතාමත් වැදගත්ය. ව්‍යවාපාරික ක්ෂේත්රයේ ශක්තිමත් පෞද්ගලික අංශයක් නිර්මාණය කරගන්නේ නැතිව ලෝකයේ දියුණු රටවල් සමග තරගයට යාමේ කිසිඳු හැකියාවක් අපට නැති බව තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය. ඇමරිකාව හෝ නව යුරෝපය යන දෙපැත්තේම තිබෙන එක් මහා පොදුසාධකයක් වන්නේ රාජ්‍යයේ වපසරිය පමණක් නොව ආර්ථිකයේ පෞද්ගලික වපසරිය පිළිබඳව ඒ අය කල්පනා කරන ආකාරය ය.
සමාජ චින්තනයේ විශාල වෙනසක් රටටම අවශ්‍ය යැයි මා කියන්නේ සියලූ දේශපාලන ප්‍රශ්න හමුවේ විසඳුම් ඉදිරිපත් කරන්නට රටේ ඉතිහාසය හා ආගමිකභාවය යන ක්ෂේත්‍ර දෙකින් ඉදිරීපත්වීම පිළිබඳව කාරණයත් අලූත් විය යුතු යැයි යෝජනා කරමින්ය කයෙන් අලූත් වෙන ගමන් සිතින් අතීතයට ගමන් කරන්නට උත්තේජනයවීම තරුණ පරපුර වෙතින් පවා පෙන්නුම් කිරීම මගින් යෝජනා කරන්නේ අලූත් සමාජ චින්තනයක් ගොඩනගා ගැනීමට අපි තව හුඟක් දුර යායුතු බවය.
මගේ කිවිදා දැක්ම වන්නේ මේ අභියෝග 5 ජයගැනීමේ රජයේ උත්සාහය හා සමාජයේ කථිකාව අතර ශක්තිමත් පාලමක් ගොඩනැගිය යුතු බව ය.
Your email address will not be published. Required fields are marked *