2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29 දින ගැසට් පත්‍රයේ පළ කිරීම සිදුවිය.
මේ අනුව 2022 ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වනදා දක්වා වන කාලසීමාව තුළ සේවා වියදම් සඳහා රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අටදහසක් වන ආණ්ඩුවේ වියදම්වලට අදාල පුනරාවර්තන සහ මූලධන වියදම් සදහා අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
මේ අනුව පනත් කෙටුම්පත පළමු වර කියවීම සිදුවූ අතර දෙවැනිවර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කථාව ඉදිරිපත් කිරීම, දෙවැනිවර සහ තෙවැනිවර කියවීමට අදාළ විවාද හා ඡන්ද විමසීම් පැවැත්වීමේ දිනයන් ඇතුළු කටයුතු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii පරිච්ඡේදය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර බදු නියම කිරීම, ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීම ඇතුළු කාරණා සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගතයුතුවේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව දින 26කට නොවැඩි දින ගණනක් විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම සදහා වෙන් කෙරේ.
2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබද විවාදය නොවැම්බර් 12 සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මේ අනුව මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම (අයවැය කථාව) නොවැම්බර් 12 වන සිකුරාදා ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය වූ බව ද මහලේකම්වරයා පැවසීය.
අනතුරුව සෙනසුරාදා ද ඇතුළුව නොවැම්බර් 13 සෙනසුරාදා සිට නොවැම්බර් 22 සඳුදා දක්වා දින 07ක් දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. ඉන්පසු නොවැම්බර් 22 වැනි සදුදා ප.ව 5.00ට දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
ඉන්අනතුරුව නොවැම්බර් 23 වැනි අගහරුවාදා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණයවී ඇත. අනතුරුව දෙසැම්බර් 10 වන දින ප.ව 5.00ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
අයවැය විවාදය කාල සීමාව තුළ පාර්ලිමේන්තුව පෙ.ව 9.30ට රැස්වන අතර පෙ.ව 9.30 සිට පෙ.ව 10.00 දක්වා විනාඩි 30 ක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05 ක් සදහා වෙන්කර ඇත.
මෙම කාලසීමාව තුළ දෙවැනි වර කියවීමේ විවාදය සහ කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව 10.00 සිට ප.ව 5.00 දක්වා පැවැත්වෙන අතර ප.ව 12.30 - ප.ව 1.00 අතර කාලය දිවා විවේකයට වෙන් කර ඇත.
මේ අතර ඡන්ද විමසීම් පැවැත්වෙන නොවැම්බර් 22 සහ දෙසැම්බර් 10 වන දින හැර විවාදය පැවැත්වෙන අනෙකුත් දිනයන්හිදී ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.