IMG-LOGO
Home පුවත් මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්නේ කොහොමද?

මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්නේ කොහොමද?

Date : 2021-Oct-08
IMG




මැතිවරණ කොමිසමේ අදහස.

නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ යාන්ත්‍රණයක් සැකසිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී  යෝජනා කරයි
මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ   සාක්ෂි ලබාදෙමින්.
එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර ගැනීම අත්‍යාවශ්‍ය බවද හෙතෙම එහිදී කීවේය.
මැතිවරණ සමයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවලක් පැවතිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම,විවිධ හේතු මත දිගින් දිගටම ප්‍රමාද වන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සහය දක්වන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය.
වර්තමානයේ ක්‍රියාත්මක පළාත් පාලන ජන්ද විමසීමේ පනත යටතේ පවතින අපේක්ෂකයන්ගේ ඇප අවලංගු කිරීමේ ක්‍රමවේදයේ පුළුල් සංශෝධනයක් සිදුවිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී සඳහන් කළේය.
ආබාධිත අයට ජන්දය භාවිත කිරීම සඳහා ජංගම ජන්ද භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද එම කොමිෂන් සභාව මෙහිදී යෝජනා කළේය. දෑස් නොපෙනෙන පුද්ගලයින්ට බේල් ක්‍රමය ඔස්සේ ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට හැකි වන පරිදි නව සංශෝධන සිදුකළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ මතය විය.
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජන්දබලය ආරක්ෂා වන පරිදි නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුහු පෙන්වා  දුන්හ.
නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාව හමුවේ කීවේය.
විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව කොමිෂන් සභාවේ මතය වු අතර, ජන්දපොළ තුලදීම ජන්දය ගණන් කිරීම වඩාත් ප්‍රායෝගික බව කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම එකම පුද්ගලයෙකුට ස්ථාන 02 කදී ජන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිය ලබා දී ඇති අවස්ථා වාර්තා වන බව කාරක සභා සාමාජිකයෝ මැතිවරණ කොමිෂන් සභාවට පෙන්වා දුන්හ.
මැතිවරණ කාල සීමාව තුළ සිදුවන වැඩවර්ජන සහ උද්ඝෝෂණ නිදහස් හා සාධාරණ මැතිවරණයකට විශාල බාධාවක් බව කොමිෂන් සභාව කාරක සභාවේදී අවධාරණය කළේය.
යම් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ විට අතුරු මැතිවරණයක් පවත්වා එම පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට ක්‍රියා කිරීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී සාකච්ජා විය.


මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවිය යුතු බවට  මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේදී යෝජනා කරයි.
දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය. සමහර දේශපාලන පක්ෂ දිස්ත්‍රීක්කයකට පමණක් සීමා වී ඇත.වර්තමානය වන විට පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායකවල ගැටලු මතුව ඇති බවද හෙතෙම කීවේය.
ජාතික වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂ, ලියාපදිංචි පක්ෂ සහ ප්‍රාදේශීය පක්ෂ ලෙස දේශපාලන පක්ෂ වර්ගකර, ඒවා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවද නිමල් පුංචිහේවා මහතා  කාරක සභාවට යෝජනා කළේය. 

නාමයෝජනා භාර දීමේදී මතුවන තාක්ෂණික ගැටලු නිරාකරණය සඳහා අවම වශයෙන් පැය 24 ක කාලයක් ලබා දිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී යෝජනා කළේය.
ස්වාධීන දේශපාලන පක්ෂවලට පමණක් සීමා වී ඇති ඇපමුදල් තැන්පත් කිරීම පිළිගත් දේශපාලන පක්ෂ සඳහාද අදාළ කරගත යුතුය යන්න එම කොමිෂන් සභාවේ මතය විය. ඇප මුදල් තැන්පත් කිරීමේ ක්‍රමවේදය කාලිනව සංශෝධනයට ලක්කළ යුතු බවද ඔවුහු පැවසූහ.
නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව මඟින් පමණක් සිදු කෙරෙන අතර, ඒ වෙනුවෙන් විකල්ප ක්‍රමවේද භාවිත කිරීමේ අවශ්‍යතාවද කොමිෂන් සභාව කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
මැතිවරණයක ජන්දය භාවිත කිරීමේ වේලාව අවසන් වන විට පෝලිම්ගතව සිටින ජන්ද දායකයන්ට ජන්දය භාවිත කිරීමට හැකිවන පරිදි මැතිවරණ නීති සංශෝධනය කළ යුතු බවටද කොමිෂන් සභාව යෝජනා කළේය.
“මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන්  සභාවේ  මතයවේ” යන්නද එහි සභාපති නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී කීවේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 225 ලෙසම පැවතිය  යුතු බවත්, ඉන් 140 ක් කොට්ඨාස මට්ටමින්ද, 70 ක් දිස්ත්‍රීක් සමානුපාතික ක්‍රමයෙන්ද, 15 ක් ජාතික ලැයිස්තුවෙන්ද තෝරා ගත යුතු බවට හෙතෙම යෝජනා කළේය.
නාම යෝජනා භාරදී අවසන් වූ පසු අපේක්ෂකයන්ට තැපැල් ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, සෞඛ්‍ය ආදි අත්‍යාවශ්‍ය සේවා වලටද තැපැල් ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු මෙහිදී කීවේය.
පූර්ව ජන්දය භාවිත කිරීමේ අයිතිය තහවුරු කළ යුතු බවත්,ඊට විශේෂ ජන්ද මධ්‍යස්ථාන පිහිටුවිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අදහස විය.
ජනතා නියෝජිතයින් ආපසු කැඳවීමේ ක්‍රමවේදයක් පැවතිය යුතු බවද, ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් සැකසිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී අවධාරණය කළේය.
නව සංශෝධන වලදී ද්විත්ව ජන්ද පත්‍රිකා භාවිතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය යුතු බවත්,මැතිවරණ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු බවත් නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී අවධාරණය කළේය.

මැතිවරණ වියදම් පාලනය සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැඩි ස්ථාවරයක සිටින බවද ඔහු කීවේය.
එම වියදම් පාලනය සඳහා මනාප ක්‍රමය අහෝසි කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී පැවසීය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මාධ්‍ය උපමාන රාජ්‍ය මාධ්‍යට පමණක් නොව පෞද්ගලික මාධ්‍යටද අදාළ කරගත හැකි බව නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ජා විය.නීතිපති දෙපාර්තමේන්තුවේ සාමජිකයෝද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

අපේ ජනබල පක්ෂය සහ සමගි ජන බලවේගය 

“අපේ ජනබල පක්ෂය” පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ  සාක්ෂි දුන් අතර, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්  පැවැසුවේ දැනට පවතින මනාප ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඉතා යෝග්‍ය බවයි. කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයකු සිටීමේ අවශ්‍යතාවද උන්වහන්සේ පෙන්වා දුන්හ. 
සුළු ජාතික පක්ෂවල නියෝජනය සහතික කළ යුතු බවත්, මතවාදය අනුව දේශපාලනය සිදුකරන සංස්කෘතියක් රටේ නිර්මාණය විය යුතු බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ එහිදී පැවසූහ. 
මැතිවරණ වියදම් පාලනයට අදාළව නිර්ණායක සැකසිය යුතු බවත්, දේශපාලන පක්ෂවලට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හඳුන්වා දිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කළහ.
“සමගි ජන බලවේගය” වෙනුවෙන් කාරක සභාවේදී සාක්ෂි දුන් එම පක්ෂයේ ප්‍රධාන විධායක, හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ බලය වෙනත් පාර්ශ්ව වෙත ලබා දී ඇති බවයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ අතර සංවරණ හා තුලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් චර්‍යා ධර්ම පද්ධතියක් පවතින බවත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවත් අජිත් පී.පෙරේරා මහතා කාරක සභාවේදී පැවසීය.පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරයන් වෙනුවෙන්ද චර්‍යා ධර්ම පද්ධතියක් සැකසීමේ අවශ්‍යතාව ඔහු කාරක සභාවේදී මතු කළේය.
මැතිවරණවලට අදාළ සියලු ප්‍රතිසංස්කරණ තුළදි ජන්ද බලය ජනතාවගේ ස්වෛරීභාවයේ අංගයක් ලෙස තහවුරු විය යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම එහිදී සහතික විය යුතු බවත් හෙතෙම කීවේය.
සියලු මැතිවරණ නිදහස් හා සාධාරණව පැවැත්වීම අතිශය වැදගත් බවද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව ඔහු කාරක සභාවේදී අවධාරණය කළේය.
මැතිවරණ ප්‍රචාරනයේ මූල්‍ය වියදම් නියාමනය සඳහා නව නීති සම්පාදනය විය යුතු බවත්, තරුණ හා කාන්තා නියෝජනය සහතික කළ යුතු බවත් හෙතෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
මැතිවරණ සඳහා තරඟ කිරීමට ද්විත්ව පුරවැසි බව නුසුදුසුකමක් විය යුතු බවටත්, සුදුසුකම් ලත් සියලුම ජන්ද දායකයන් නිසි ලෙස ලියාපදිංචි කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බවටත් අජිත් පී.පෙරේරා මහතා කාරක සභාවේදී යෝජනා කළේය.
මැතිවරණවලට තරඟ කරන පාර්ශ්වයන් අතර, රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ගුවන් කාලය  සමාන ලෙස බෙදී යාමේ අවශ්‍යතාවද සමගි ජන බලවේගය මෙහිදී මතු කළේය.
රටතුළ මැතිවරණ කාල සටහනක් පැවැතිය යුතු බවත්, එමඟින් ජනතාවගේ ජන්ද අයිතිය තහවුරු කළ යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කළේය.


එක්සත් ජාතික නිදහස් පෙරමුණ,දමිළ ප්‍රගතිශීලි සංධානය  සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි යෝජනා.

ජන්ද හිමි නාම ලේඛනය තවදුරටත් ප්‍රසාරණය විය යුතු බවත්, ඊට ජන්ද දායකයා සිදුකරන වෘත්තිය පිළිබඳ තොරතුරු, ස්ථිර පදිංචිය, ආදායම් මාර්ග, දුරකථන අංකය, විවාහක අවිවාහක බව, තමන්ට හිමි වාහන, නිවාස ආදිය පිළිබඳවද තොරතුරු ඇතුළත් කළ යුතු බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙන්වා දුන්නේය. 

පළාත් පාලන ආයතන සඳහා සියලු ජනකොටස්වල නියෝජනයක් අවශ්‍ය බවද ගුණරත්න මහතා කාරක සභාවේදී කීවේය. උතුරේ පැවැති බොහෝ ප්‍රශ්න වලට හේතුව නිසි නියෝජනයක් නොමැතිවීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 
මැතිවරණ ක්‍රමය සාධාරණ හා විනිවිදභාවයකින් යුතු මෙන්ම, දූෂණයෙන් තොර විය යුතු බවද ඔහු කීවේය.
කොට්ඨාස ජන්ද ක්‍රමය ඇති කිරීම සුදුසු බව පැවසූ හෙතෙම එය පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා යොදා ගැනීම යෝග්‍ය බවද සඳහන් කළේය.
දමිළ ප්‍රගතිශීලි සංධානය වෙනුවෙන් කාරක සභාවේදී සාක්ෂි දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේ රටට යෝග්‍ය වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය බවයි.
විසිරී සිටින ජනවාර්ගිකයන් සඳහා සාධාරණ නියෝජනයක් අවශ්‍ය වන අතර, එය හිමි වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය තුළින් පමණක් බවද ඔහු කාරක සභාවේදි අවධාරණය කළේය.
වර්තමාන සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ ජන්ද දායකයෙකු විසින් ලබාදෙන සෑම ජන්දයකටම නිසි වටිනාකමක් ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණ කොමිසම තවදුරටත් ශක්තිමත් කර, එහි ස්වාධීනත්වය තහවුරු කළ යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් විශේෂ කාරක සභාවේදී  සාක්ෂි දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේය. 
දැනට පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමය දුර්වල මට්ටමක පවතින බවත්, එය සංශෝධනය විය යුතු බවත් හෙතෙම කාරක සභාවේදී අවධාරණය කළේය. 
සුළුජන කොටස්වල අයිතීන් ආරක්ෂා වන පරිදි මැතිවරණ ක්‍රමය ශක්තිමත් විය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා පොදු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදි පෙන්වා දෙයි
පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා පොදු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවත්, ඒ සඳහා කොට්ඨාස ක්‍රමය යටතේ සියයට 65ක්  සහ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සියයට 25 ක් වශයෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගත යුතු බවත්,  එක්සත් ජාතික පක්ෂය, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ  සාක්ෂි දෙමින් පැවසීය. 
කොට්ඨාස සංඛ්‍යාව අඩුකිරීම මඟින් පළාත් පාලන ආයතන වලට තෝරා පත්කර ගන්නා මන්ත්‍රිවරුන් සංඛ්‍යාව අඩුකළ යුතු බවද ඔවුහු යෝජනා කළහ.
පළාත් පාලන ආයතනවලට තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරු සංඛ්‍යාවෙන් සියයට 25 ක් කාන්තාවන් විය යුතු බවද, එක්සත් ජාතික පක්ෂය කාරක සභාවේදී කීවේය. සුළු ජාතින්ගේ නියෝජනය සහතික කිරීමේ අවශ්‍යතාවද ඔවුහු පෙන්වා දුන්හ.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සාක්ෂි දුන් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ නොයෙකුත් මැතිවරණ කොට්ඨාසයන්හි සැබෑ නියෝජනයකින් යුතු   ආයතනයක් විය යුතු බවයි. 
ද්විත්ව පුරවැසියන් හෝ වෙනත් රාජ්‍යයක දිවුරුම් දුන්, සබඳතා ඇති තැනැත්තන් ශ්‍රී ලංකාවේ, මහ මැතිවරණයට ඉදිරිපත් වීම සීමා කිරීම හෝ වැළැක්වීම කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය කාරක සභාවේදී සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සං‍යුතිය හැකිතරම් ප්‍රායෝගික අන්දමින් මැතිවරණයේදී ජන්දය දීම සඳහා සුදුසුකම් ලත් ජන්ද දායකයන්ගේ ජන විකාශය පිළිබිඹු කළ යුතු අතර, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන්දදායකයන් මඟින් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා ගත යුතු බව එම පක්ෂය පෙන්වා දුන්නේය.
මහ මැතිවරණයේදී පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා අරමුදල් ලැබෙන ප්‍රභවයන් අනාවරණය කළ යුතු බවද  එක්සත් ජාතික පක්ෂයේ මතය විය. මැතිවරණයකදී දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ට වැය කළ හැකි වියදම් සීමා කළ යුතු බවද ඔවුහු කාරක සභාවේදී පෙන්වා දුන්හ.
පක්ෂ මාරු කිරීම සඳහා ඉඩ නොඳිය යුතු අතර, යම් මන්ත්‍රීවරයෙකු එසේ පක්ෂය මාරු කළහොත්, ඔහු හෝ ඇය පක්ෂ ලැයිස්තුවෙන් ඉබේම ඉවත් ව යා යුතු බවද ඔවුහු සඳහන් කළහ.

එජාපයේ මතය...

පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදයට අදාළ විවිධ ආකෘති කිහිපයක්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලි‍යනගේ මහතා කාරක සභාවේදී  ඉදිරිපත් කළේය.
පළාත් පාලන ආයතනවල දැනට පවතින විශාල මන්ත්‍රීධූර සංඛ්‍යාව අවම කිරීමේ අවශ්‍යතාවද මහාචාර්‍ය සුදන්ත ලියනගේ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
වඩාත් යහපත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් රටට අවශ්‍ය බව පොදු මතය වී ඇතැයි කාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය. කොට්ඨාසයකට වග කියන මන්ත්‍රීවරයෙකු සිටීමේ අවශ්‍යතාවද හෙතම පෙන්වා දුන්නේය.
මෙම කාරක සභාවට   නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුද, අනුර දිසානායක ,රංජිත් මද්දුම බණ්ඩාර,එම්.ඒ සුමන්තිරන්, මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුද සභභාගි වූහ. 
සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද මේ අවස්ථාවට එක් වූහ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම ලබන 13 වැනිදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම්  කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය.

මහජන එක්සත් පෙරමුණ සහ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ යෝජනා...

කේවල සහ සමානුපාතික නියෝජනයක් සහිත මිශ්‍ර මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාව, මහජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පෙන්වා දෙයි
කේවල සහ සමානුපාතික නියෝජනයක් සහිත මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් රටට අවශ්‍ය බව මහජන එක්සත් පෙරමුණ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ  සාක්ෂි දෙමින් පැවසීය.
දැනට පවතින අයුරින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව 225 ක් වියයුතු බවත්, ඉන් 140 දෙනෙක් කොට්ඨාස පදනමින්ද, 70 දෙනෙක් දිස්ත්‍රීක් පදනමින්ද, ඉතිරි 15 දෙනා ජාතික ලැයිස්තුවෙන්ද පත්විය යුතු බව එම පක්ෂයේ උපලේකම්, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කාරක සභාවේදී කීවේය.
මුළු රටම එක් ජන්ද කොට්ඨාසයක් ලෙස සලකා සිදු කෙරෙන වර්තමානයේ පවතින ජනාධිපතිවරණ ක්‍රමය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ජන්දයෙන් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් නව සංශෝධන වලදී සළකා බැලිය යුතු බව හෙතෙම වැඩිදුරටත් කීවේය.
අවශ්‍යතාව පරිදි අතුරු මැතිවරණ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවද එම පෙරමූණ මෙහිදී කීවේය.
එමෙන්ම දේශපාලන බල අධිකාරියේ බලපෑම් වලින් තොරව, මැතිවරණ පැවැත්වීමේ කාලවකවානුව සහ දින නීතියෙන් නිශ්චය කළ යුතු බව මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා කාරක සභාවේදී කීවේය.රාජ්‍ය සහ පෞද්ගලික මුද්‍රත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍යවලින් කෙරෙන අපේක්ෂකයන්ගේ සමානාත්මතාවයට හානිකරවන ප්‍රචාරණ වැළක්වීම සඳහා නීතිමය විධිවිධාන පැනවිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසුවේ, නව මැතිවරණ සංශෝධන තුළදී සියලු ජනවර්ගවල ආරක්ෂාව තහවුරු විය යුතු බවයි. මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේදී, මූලික ප්‍රතිපත්තියක් ලෙස සියයට 65 ක් කේවළ ක්‍රමයටද, සියයට 35 ක් සමානුපාතික ක්‍රමයටද වියයුතු බවද එම පක්ෂය කාරක සභාවේදී අවධාරණය කළේය.
මූලික වශයෙන් කොට්ඨාස ක්‍රමය රටට අවශ්‍ය බව දේශවිමුක්ති ජනතා පක්ෂය කාරක සභාවේදී කීවේය. නව සංශෝධන මඟින් සුළු පක්ෂවල දේශපාලන නියෝජනය තහවුරු විය යුතු බවද එම පක්ෂය පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පොදු ක්‍රමයක් යටතේ පැවැත්වීමේ අවශ්‍යතාවද ඔවුහු කාරක සභාවේදී අවධාරණය කළහ.

පළාත් පාලන ඡන්ද ක්‍රමය....

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙහි සිදු වී ඇති අසාමාන්‍ය වර්ධනය පාලනය කළයුතු බව පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුව, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පෙන්වා දෙයි
පළාත් පාලන ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඒ සඳහා වන විසඳුම් ලබා දීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා පත්කර තිබූ ත්‍රිපුද්ගල සමාලෝචන කමිටුවේ වාර්තාව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සලකා බැලීම සිදුවිය. 
සමාලෝචන කමිටුවේ සාරාංශය එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා ඉදිරිපත් කළේය.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙහි සිදු වී ඇති අසාමාන්‍ය වර්ධනය ජාතික සීමා නිර්ණන කමිටුවද තීරණය කර තිබූ පරිදි, ස්ථාවර සංඛ්‍යාවක් දක්වා අඩුකළ යුතු බව එම කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා කාරක සභාවේදී පැවසීය. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙන් සියයට 70ක් කොට්ඨාස පදනම මතද, ඉතිරි සියයට 30 ක ප්‍රමාණය අනුපාත පදනම මතද තෝරාගත යුතු බව ද හෙතෙම කීවේය.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ගණනය කිරීමේදී පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරයන් තෝරා ගන්නා සමානුපාතික නියොජන ක්‍රමයම යොදා ගැනීම යෝග්‍ය බව සමාලෝචන කමිටුවේ නිර්දේශය වන බව පැවසූ සුදන්ත ලියනගේ මහතා, එහිදී භාවිත කරන ප්‍රසාද ආසන ක්‍රමයද අදාළ කරගත යුතු බව සඳහන් කළේය.
දැනට පවතින මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයෙහි කමිටුව නිරීක්ෂණය කරන ලද දුර්වලතාවයන් වූයේ ජයග්‍රාහි පක්ෂ සඳහා කිසියම් ප්‍රසාද  ආසන ක්‍රමයක් හඳුන්වා දී නොතිබීමයි. ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල සිදුව ඇති අස්ථාවර තත්ත්වයන් අවම කිරීම, ප්‍රසාද ආසන හඳුන්වා දීම තුළින් ඉටුවනු ඇති බව සමාලෝචන කමිටුවේ අපේක්ෂාව බවද මහාචාර්‍යවරයා කීවේය.
කිසියම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට පළාත් පාලන ආයතන තුළ නියෝජනයක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට, අදාළ පළාත් පාලන බල ප්‍රදේශය තුළ ලබා දී ඇති වලංගු ජන්ද සංඛ්‍යාවෙන් සියයට 2.5 ක් හෝ ඊට වැඩි ජන්ද ප්‍රතිශතයක් එකී පක්ෂය හෝ ස්වාධින කණ්ඩාම ලබා සිටිය යුතු බවටද සමාලෝචන කමිටුවේ සාමාජිකයෝ කාරක සභාව හමුවේ පැවසූහ.
බහු මන්ත්‍රී කොට්ඨාස සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගත යුතු ආකාරය වෙනස් කළ යුතු අතර, 2012 අංක 22 දරන පනතේ සඳහන් ක්‍රමය ඒ සඳහා අදාළ කර ගත යුතු බවද සමාලෝචන කමිටුව කාරක සභාව හමුවේ පෙන්වා දුන්නේය. හිටපු අමාත්‍යාංශ ලේකම් ජයලත් රවී දිසානායක මහතාද මෙම සමාලෝචන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
මහජනතාවගේ කැමැත්ත වන්නේ අඩු මන්ත්‍රීධූර සංඛ්‍යාවක් සහිතව පළාත් පාලන ආයතන පවත්වා ගැනීම බව මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය. එහෙත් කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයෙකු අනිවාර්යයෙන් සිටිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
“2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ(සංශෝධන)පනත” සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිගමන සභාගත කිරීමද මෙම පාර්ලිමේන්තු  විශේෂ කාරක සභාවේදී සිදු විය. 
එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කාරක සභාව වෙත යොමුකර තිබූ “පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ ඇතුලත් වාර්තාවද” මෙහිදී සභාගත කෙරිණි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සංධානය, පොදුජන එක්සත් පෙරමුණ සහ ලංකා සමසමාජ පක්ෂයේ යෝජනා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සංධානය සහ පොදුජන එක්සත් පෙරමුණ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සිය යෝජනා ලිඛිතව භාර දුන්නේය.
අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරු එම යෝජනා සිය පක්ෂ වෙනුවෙන් කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දුන්හ. රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද මේ අවස්ථාවට එක්විය.
වර්තමානයේදී මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් රටට අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීවේය. විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය බවත්, ජනාධිපතිධූරයට ද්විත්ව පුරවැසියන් පත්වීම වළක්වාලීමට නිසි ක්‍රමවේද සැකසිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනකදී පැවැත්වීමට ඇති හැකියාවත්, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය එකම දිනෙක පැවැත්වීමට ඇති හැකියාවත් පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. 
පළාත් සභා බලය විමධ්‍යගත කිරීමේදී දිස්ත්‍රික් සභා ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවද ජයසේකර මහතා මෙහිදී අවධාරණය කළේය.
දේශපාලන පක්ෂ සන්ධාන ගත වීමේදී ඊට අදාළ අවබෝධතා ගිවිසුම් ඇතුළු ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට ලබා දීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් අදහස් දැක් වු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාරක සභාවේදී කීවේය. මැතිවරණවලදී සෑම පක්ෂයකටම සාධාරණ ප්‍රචාරණ අවස්ථා පැවතිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මැතිවරණ ප්‍රචාරණ වියදම් අවම කිරීම වෙනුවෙන් නව ප්‍රතිසංස්කරණ වලදී විශේෂ අවධානයක් යොමු විය යුතු බවයි. මුදල් වියදම් කර මැතිවරණ ජයග්‍රහණය කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයේදී මතුව ඇති අතර, එම තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පුළුල් අවධානයක් යොමු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසුවේ, සියලු ජන කොටස් වල අයිතීන් ආරක්ෂා වන පරිදි නව මැතිවරණ ක්‍රමවේදයක් රටතුළ ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි. රාජ්‍ය දේපළ අවභාවිත කිරීම වැලැක්වීමේ වැදගත්කමද මහාචාර්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සුළුජන කොටස්වල අයිතීන් ආරක්ෂාවන පරිදි මැතිවරණ ක්‍රමය පැවතිය යුතු බව කාරක සභාවේදී අදහස් දැක්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.වතු කම්කරු ජනතාවගේ නියෝජනය තහවුරු කළ යුතු බවද ඔවුහු පැවසූහ.
කාරක සභාවේදී අදහස් දැක් වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පැවසුවේ නිසි වේලාවට මැතිවරණ පැවැත්වීම ඉතා වැදගත් බවයි. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර, පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කළ යුතු බවටද ඔවුහු යෝජනා කළහ.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සහ අරුණලු ජනතා පෙරමුණද කාරක සභාව හමුවේ යෝජනා ඉදිරිපත් කළේය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්‍ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාද කාරක සභාව හමුවේ සිය යෝජනා ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු පැවසුවේ දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට නව ප්‍රතිසංස්කරණ වලදී පුළුල් අවධානයක් යොමු කළ යුතු බවයි. ලොව බොහෝ රටවල් විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයට යොමු වී තිබෙන අතර, නියාමන ව්‍යාපෘතියක් ලෙස එම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළද අත් හදා බැලිය යුතු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයෝ කාරක සභාවේදී යෝජනා කළහ.


ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන්...

ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා කළේය.
ඒ සංසදය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් දැක්වූ එහි සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 30 දක්වා වර්ධනය කළ යුතු බවයි.
රාජ්‍ය මණ්ඩල සහ කොමිෂන් සභාවල කාන්තා නියෝජනය සියයට 33 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද ඇය කාරක සභාවේදී යෝජනා කළාය.
සියලු මැතිවරණ සඳහා එකම නීතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය මෙහිදී පෙන්වා දුන්නේය. වර්තමානයේදී කාන්තාවන්ට අපේක්ෂකත්වය ලබා ගැනීමද ගැටලුවකි. කාන්තාවන් පිළිබඳව සමාජයේ ආකල්ප වෙනසක්ද ඇතිවිය යුතුය. දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය කාන්තාවන්ට එතරම් හිතකර නොවන බවද ඇය සඳහන් කළාය. රට තුළ දේශපාලන ප්‍රචන්ඩත්වය ඇතිවීම ද දේශපාලනයේ කාන්තා නියෝජනය අවම වීමට හේතුවී තිබෙන බව ඇය අවධාරණය කළාය.
දේශපාලන පක්ෂ තුල කාන්තාවන්ට ඉහළ මට්ටමේ නිලතල නොලැබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා විය.
පළාත් පාලන ක්‍රමයේදී මෙන්ම, මීට පෙර යෝජිත පළාත් සභා ජන්ද ක්‍රමය තුළ කාන්තා නීයෝජනයට ඉහළ ඉඩක් වෙන්ව තිබූ බව  කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.
රටතුල දැනට පවතින මනාප ක්‍රමය අහෝසි නොකර කාන්තාවන්ට දේශපාලනයේ වැඩි අවස්ථාවක් ලබා දිය නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී කීවේය. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවද අමාත්‍යවරයා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
වර්තමාන මැතිවරණ ක්‍රමය කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් ගැලපිය නොහැකි බව අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා කීවේය.
මැතිවරණවලට ඉදිරිපත් කරන අපේක්ෂිකාවන්ගේ සංඛ්‍යාව  නිශ්චිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කාරක සභාවේදී සඳහන් කළේය.
කාන්තාවන්ට විශාල සංවිධාන ශක්තියක් ග්‍රාමිය මට්ටමේ සිට පවතින බවත්,කාන්තාවන් දේශපාලනීකරණය නොවීම සංස්කෘතික ප්‍රශ්නයක් බවත් කාරක සභාවේදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.
දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය  දැනුවත් කිරීම් සිදු කිරීම සඳහා සිවිල් සංවිධානවලට විශාල කාර්‍යභාරයක් ඉටුකළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර මහතා කාරක සභාවේදී කීවේය.
මෙම කාරක සභා රැස්වීමේදී කාන්තා සංවිධාන 05 ක් සිය යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. 


පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 06 ක මතය...

මැතිවරණවලදී කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා නීතියෙන්ම කටයුතු කළ යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමේ  විශේෂ කාරක සභාවේදී පසුගියදා පැවසුවාය.
මනාප ක්‍රමයත් සමඟ කාන්තාවන්ට තරඟ කිරීමට අපහසු බවත් කාන්තාවන් බොහෝ විට දේශපාලනයට පැමිණෙන්නේ සිය පවුල් පසුබිම තුළින් බවත්, එසේ නොවන කාන්තාවන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අතිශය අසීරු බවත් ඇය කාරක සභාවේදී අවධාරණය කළාය.
විදේශ කටයුතු අමාත්‍ය හා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමේ  විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් විය.
සම්පූර්ණයෙන්ම කේවළ ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වුවහොත් විශාල අසමතුලිතතාවයක් හටගන්නා බව අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
එකම දිනයක ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බංඩාර මහතා මෙහිදී කීවේය.
මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 06 ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව  හමුවේ මෙහිදී කරුණු දැක්වීය.


මැතිවරණ හා ජන්ද විමසීම් නීතී රීති ප්‍රතිසංස්කරණයට දේශපාලන පක්ෂ 21 කින් යෝජනා සහ මහජනතාව සහ සිවිල් සංවිධාන  වෙතින් යෝජනා 155ක්

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කර ඇති සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ලැබී තිබේ. 
මෙයට අමතරව, මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් යෝජනා හා අදහස් 155ක් ඉදිරිපත් වී ඇති බව මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසීය. 
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදහස් හා යෝජනා ඉදිරිපත්කිරීම සඳහා ලබා දී තිබූ කාලය ජූලි 15 වැනිදා අවසන් විය.
ඒ අනුව, යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (උඩු නුවර ශාඛාව) ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලිබරල් පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජනතා පෙරමුණ, සමස්ත ලංකා දමිල සභාව, එක්සත් සාම පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, දමිල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සමාජවාදී සංධානය, සිංහලදීප ජාතික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, සමත්තුව කච්චි සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන දේශපාලන පක්ෂයි.
ඉදිරිපත්ව ඇති යෝජනා ඉදිරියේදී පැවැත්වෙන විශේෂ කාරක සභා රැස්වීම් වලදී අවධානයට ලක් කිරීමට නියමිතය.

 පැෆරල් සංවිධානයේ යෝජනා...

කොට්ඨාස හා සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ පැවතීම යෝග්‍ය බව පැෆරල් සංවිධානය  මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සඳහන් කළේය.
භූගෝලීය සාධකය, ජනගහනය හා අනෙකුත් විවිධත්වය සැලකිල්ලට  ගෙන දැනට පවතින මැතිවරණ දිස්ත්‍රික්ක 22 සිට 40 දක්වා වැඩිකිරීම සම්බන්ධයෙන්ද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා  සඳහන් කළේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.
පූර්ව ජන්ද ක්‍රමයක අවශ්‍යතාව පැහැදිලි කළ පැෆරල් සංවිධානය සෑම ජන්දදායකයෙකුටම  ජන්ද හිමිකම ලබා දීම අත්‍යාවශ්‍ය බව කාරක සභාවේදී පැවසීය.
මැතිවරණ අපේක්ෂක වියදම් සීමා කිරීම, ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක් දිනයක පැවැත්වීම, මැතිවරණ කැලැන්ඩරයක් ක්‍රියාත්මක කිරීම, මැතිවරණ ක්‍රියාවලියේ සහ දැනට පවතින මැතිවරණ නීතියේ ඇති අඩුපාඩු හඳුනාගෙන යාවත්කාලීන කිරීම, රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීම, දඩ මුදල් හා මැතිවරණ නීතිය යාවත්කාලීන කිරීම, සෑම ජන්දදායකයෙකුටම සාධාරණ ලෙස තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම, ප්‍රචාරණය සම්බන්ධ නීති මෙන්ම ප්‍රමාණවත් කාන්තා නියෝජනය තහවුරු කිරීම යන කාරණා සම්බන්ධයෙන් ද  පැෆරල් සංවිධානය කාරක සභාව හමුවේ අදහස් දැක්වීය.
අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මෙන්ම ජාතික ලැයිස්තුව මඟින් අපේක්ෂකයන් තෝරා ගැනීම, මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද  පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා දීර්ඝ වශයෙන් කාරක සභාවේදී අදහස් දැක්වීය.
කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක් වූ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසුවේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක් දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බවය.
මැතිවරණ ප්‍රචාරණ වියදම පාලනය කිරීම වෙනුවෙන් කඩිනමින් නීති සම්පාදනය විය යුතු බවද මහින්ද දේශප්‍රිය මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
Tags: