IMG-LOGO
Home පුවත් කළ යුතු දේ,නොකළ යුතු දේ සහ අත්හැරිම.

කළ යුතු දේ,නොකළ යුතු දේ සහ අත්හැරිම.

Date : 2021-Jul-26
IMG
මිනිසුන් ව්‍යාපාරවල නිරතවන විට අත්විඳින අපහසුතාව ආර්ථික විද්‍යාඥයන් හඳුන්වන්නේ ගනුදෙනු පිරිවැය යනුවෙනි. එය ආර්ථිකය නසා දැමීමට හේතුවන නිරපරාදේ යන පිරිවැයකි. මන්දයත් එය මිනිසුන් මත පැටවෙන වියදමක් වූවද, එම වැය ආර්ථික ක්‍රමය මත ඉන් කිසිවකුට අය නොවන බැවිනි.

උදාහරණයකට අප වෙළෙන්දන්ගෙන් පාන් ගෙඩියක් මිලට ගන්නා විට ගෙවන මිල අපට වියදමකි. එසේ වුව එම වැය නිසා අපට පාන්ගෙඩියක් ලැබේ. අනෙක් අතට වෙළෙන්දාට පාන්ගෙඩිය එහිදී අහිමි වෙයි. එහෙත් ඔහුට පාන් ගෙඩියට මුදල් ලැබෙන නිසා ඔහු වාසියක් අත් විදී. ආර්ථිකය තුළ එක් පුද්ගලයකුට සිදුවන පාඩුව තවත් පුද්ගලයකුට වාසියක් වන නිසා එහිදී ලාබ පාඩු එකිනෙක නිෂේධ වෙයි. එම නිසා එමගින් ව්‍යාපාර අධෛර්යවත් වීමක් සිදු නොවේ.

එහෙත් අපට පාන් ගෙඩියක් මිලට ගන්නට පැය ගණන් පෝළිමක ඉන්නට සිදුවූවහොත් හෝ පාන් වෙළෙන්දකු සොයමින් බොහෝ වේලා රස්තියාදු වන්නට සිදුවුවහොත් හෝ පාන්ගෙඩිය මිලදී ගන්නට අමතර කොමිස් මුදලක් ගෙවන්නට සිදු වී නම් එතැන සිදුවන්නේ වෙනස් සිද්ධියකි. එවිට අපගේ කාලයත්, මුදලුත්, ශ්‍රමයත් අපතේ යයි.
එවිට අපට අහිමි වන කාලය, මුදල් හා ශ්‍රමයෙන් ආර්ථිකය තුළ කිසිවකු වාසියක් අත්විඳින්නේ නැත. ඒ ආකාරයට සිදුවන පාඩු ආවස්ථික පිරිවැය යනුවෙන් හැඳින්වේ. ආණ්ඩුවේ කාර්ය භාරය වන්නේ එවැනි පාඩු වීම් මුළුමනින් ඉවත් කොට දැමීම හෝ එසේ කළ නොහැකි නම් එසේ සිදුවන පාඩු අවම මට්ටමින් පවත්වා ගැනීමය. එවැනි ආවස්ථික පාඩු සිදුවන විට ආර්ථික ප්‍රධාන ක්‍රියාකාරකම් වන, නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය යන සියලු කාර්යයන් අකාර්යක්‍ෂම බවට පත්වේ.

ලෝක බැංකුව ව්‍යාපාරකරණයේ පවතින පහසුව විමසා බැලීමේ දී, නැතහොත් ගෝලීය ආර්ථික සංසදය ගෝලීය තරගකාරී වාර්තාව සකස් කරන විට ව්‍යාපාරකරණයට ඇති අපහසුතා පිරික්සීමේ දී එම පහසු අපහසුතා යම් මැනීමකට ලක් කරනු ලබයි.
මෙම දර්ශක දෙකෙන්ම ශ්‍රී ලංකාව සිටින්නේ පහත මට්ටමේය. ව්‍යාපාර පහසුකරණය පිළිබඳ දර්ශකයේ, 2020 වසරේ දී, රටවල් 190කින් ශ්‍රී ලංකාව සිටින්නේ 99 වැනි ස්ථානයේය. ගෝලීය තරඟකාරිත්වය මනින දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 141කින් සිටින්නේ 84 වැනි ස්ථානයේය. මෙම ශ්‍රේණිගත කිරීම් දෙකෙන්ම ශ්‍රී ලංකාව සිටින්නේ මධ්‍යම ප්‍රමාණයෙන් පහත මට්ටමකයි. එම නිසා ප්‍රතිපත්ති සම්පාදකයන් එම ගැටලුවට කඩිනම් විසඳුම් සෙවිය යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ආර්ථික වර්ධනීය මගකට යොමු කිරීම උදෙසා මෙම ගැටලුවලට ප්‍රමුඛතා පදනමින් විසඳුම් සෙවිය යුතුය. එහෙත් ඔහුගේ පරිපාලනය විසින් ගන්නා ලද බොහෝ ප්‍රතිපත්තිමය පියවර මගින් එම අපහසුතා අඩුකරනු වෙනුවට තවත් අපහසුතා ඊට එක් කළේය.

මේ සම්බන්ධයෙන් අපහසුතාවට දායක වූ කැපී පෙනෙන ප්‍රතිපත්තිමය පියවර කිහිපයක් පහත දැක්වේ.

පාම් තෙල් සම්බන්ධ අනුවණකම්
බලයට පැමිණ මාස කිහිපයක් ඇතුළත ඔහුගේ පරිපාලනය පාම් ඔයිල් (කටුපොල්) වගාව නවතා දමන්නටත්, ඒ තුළින් රටේ පාම් ඔයිල් කර්මාන්තය ළදරු අවදියේදීම මරා දමන්නටත් ක්‍රියා කළේය. කඩිමුඩියේ ගන්නා ලද මෙම ප්‍රතිපත්තිමය පියවරට හේතු වූයේ පාම් ඔයිල් ගස් නිසා භුගත ජල සම්පත් වැනසී ගොස් එම ප්‍රදේශවල වෙනත් ඵලදායි ශාඛ තුරන් කොට දමන්නේය යන විශ්වාසයයි.

එහෙත් මේ වන විට දකුණු පළාතේ ඇති පහතරට වැවිළි සමාගම් බොහොමයක්, තම වැවිළි බෝග විවිධාංගකරණයට ලක් කරමින් පාම් ඔයිල් වගාව වෙත යොමු වී තිබේ. අස්වැන්න නෙළා පැය කිහිපයක් අතුළත පාම් ඔයිල් බීජ සැලසුම් කළ යුතු බැවින් තෙල් නිස්සාරණ කම්හල් කිහිපයක් වතු සමීපයේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙය 1970 ගණන්වල මුල් කාලයේ පාම් ඔයිල් කර්මාන්තයට පිවිසුණු මැලේසියාවෙ සහ ඉන්දුනීසියාව යන දෙරටේ අත්දැකීම්වලට අනුගත වීමකි. ඊට හේතුව වූයේ පාම් ඔයිල් පරිභෝජනයට මෙන්ම කර්මාන්තවලට ද සුදුසු වීම නිසා ගෝලීය වෙළඳපොළ ඒ උදෙසා තහවුරු වී තිබීමයි.

2020 දී ඉන්දුනීසියාව ගෝලීය පාම් ඔයිල් වෙළෙඳපොළෙන් සියයට 57කට දායක වූ අතර මැලේසියාව සියයට 27කට දායක විය. එම දෙරට පිළිවෙළින් එම වෙළඳපොළෙන් ඩො.බිලියන 18ක් සහ ඩොලර් බිලියන 16ක් උපයා ගනු ලැබුවේය.

පාම් ඔයිල් මිලදී ගන්නා ප්‍රධාන රට වූයේ ශ්‍රී ලංකාවේ අසල්වැසියා වූ ඉන්දියාවයි. ශ්‍රී ලංකාවේ යම් සංඛ්‍යාවකින් යුතු පාම් ඔයිල් කර්මාන්තයක් ස්ථාපිත වූයේ නම් යාබද රටේම, ඵල නෙළාගත හැකි යෝධ වෙ​ළෙඳපොළක් ඊට ජනිත වී තිබේ.
බේකරි සහ සබන් කර්මාන්තයට අත්‍යවශ්‍ය යෙදවුමක් වූ පාම් ඔයිල්
පාම් ඔයිල් වගා කිරීම තහනම් කිරීමෙන් අනතුරුව, පාම් ඔයිල් ආනයනය තහනම් කිරීම ද හඳුන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකාවේ බේකරි කර්මාන්තයේ සහ සබන් නිෂ්පාදන කර්මාන්තයේ වැදගත් අමුද්‍රව්‍යයක් ලෙස පාම් ඔයිල් භාවිත වූයේය. එකී ආනයන තහනම පිළිබඳ ප්‍රතිපත්තිය එම කර්මාන්තවලට මහත් කම්පනයක් විය. එහිදී සිදුවූ උද්ඝෝෂණවලින් පසු එම ආනයන තහනම ඉවත් කරනු වෙනුවට එම කර්මාන්තයකරුවන්ට තම භාවිතය සඳහා පාම් ඔයිල් සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට මුදල් අමාත්‍යාංශය මගින් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු යොදන ලදී.

අපහසුතාව කැන්දා ගත්තේ එවිටයි. බදු ගෙවන්නන්ගෙන් වැටුප් ලබන භාණ්ඩාගාර නිලධාරීන්ට තම කාලයත් ශ්‍රමයත් වැය කරමින් ඉල්ලුම් පත්‍ර සකස් කොට බලපත්‍ර නිකුත් කරන්නට සිදුවිය. මෙය බදු ගෙවන්නන්ගේ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති කර දැමීමකි. බේකරි සහ සබන් නිෂ්පාදන කර්මාන්තයේ නියැළුණු අයට අමතර කාර්ය මණ්ඩලයක් යොදා තම බලපත්‍ර ලබාගැනීම උදෙසා ඉල්ලුම්පත් සකස්කරන්නට සිදු වූයේය. එයද අනවශ්‍ය වියදමක් මෙන්ම ව්‍යාපාර මත පැට වූ අපහසුතාවක් ද විය.

රසායනික පොහොර පළහිලව්ව
ඊළඟ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය වූයේ හිටිහැටියේම රසායනික පොහොර සහ වල් නාශක ආනයනය තහනම් කිරීමයි. ප්‍රකාශ වූ ආකාරයට මෙම ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ගයේ අභිප්‍රාය වන්නේ පරිසරය සංරක්‍ෂණය කරගන්නට පාම් ඔයිල් වගාවත් පාම් ඔයිල් කර්මාන්තයත් තහනම් කිරීම හා සමානවම ජාතියට විස රහිත ආහාර සැපයීමත්, ශ්‍රී ලංකාව කාබනික ගොවිතැන කරන රටක් බවට පත් ලෝකයේ පළමු රට යන නාමය දිනා ගැනීමත්ය. මෙම ප්‍රතිපත්තිමය පියවරවල බලපෑම මින් පෙර ලිපි පෙළකින්ම මා විසින් සාකච්ඡාවට භාජන කරන ලදී.

2021 මැයි 24 වැනි දින මා තර්ක ඉදිරිපත් කළේ, රසායනික පොහොර සහ පළිබෝධනාශක තහනම් කිරීමෙන් කෘෂිකර්මාන්තය කම්පනයට ලක් කිරීමට ශ්‍රී ලංකා ආර්ථිකය කොරෝනා වසංගතයෙන් බැටකන මේ අවධියේ ප්‍රමුඛතාව නොදිය යුතු බවටයි. 

රසායනික පොහොර සහ පළිබෝධනාශක තහනම් කිරීමේ දී රජය අසීමිත අවදානමක් දරා ඇති බවට ද මම තර්ක කළෙමි. අද වන විට ගොවීන් බොහෝ දෙනෙක් දෙමහුන් බෝගවර්ග ප්‍රභේද වගාකරති. එවායින් ඵලදායී මට්ටමේ නිෂ්පාදනයක් ලබා ගැනීමට රසායනික පොහොර සහ පළිබෝධනාශක අනිවාර්යයෙන්ම යෙදිය යුතුවේ. එම නිසා හිටි හැටියේම මෙම යෙදවුම් දෙවර්ගය ගොවීන්ට තහනම් කිරීමෙන් නිෂ්පාදනයේ ක්‍ෂණික පහත වැටීමක් සිදුවිම නොවැළැක්විය හැකිය. 

එක් අතෙකින් මෙහිදී ආහාර සුරක්‍ෂිතතාවට දරුණු තර්ජනයක් එල්ලවන අතර අනෙක් අතට ගොවීන්ට දරුණු පාඩු විඳින්නට සිදුවේ. මෙම තත්ත්වය ආහාර ඉල්ලා කැරළි ගසන්නටත්, ගොවින්ගේ උද්ඝෝෂණ වලටත් තෝ තැන්නක් නිර්මාණය කරයි. මෙම කාරණ දෙකම අතිශය හානිකරය. එයින් සාමාන්‍ය සමාජ රටාව ද බිඳී විසිරී යයි. මෙනිසා ශ්‍රී ලාංකීය ජනතාව හාමත් වීම වළක්වාලීමට ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට විදේශ විනිමය වැය කිරීමට සිදුවනු ඇත. එම නිසා ඉහත කී තහනමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට අත් වන වාසියක් නැති බව පෙනේ.

විශේෂඥ මතයට කන්නොදීම

සහල් නිෂ්පාදනය කරන අනෙකුත් රටවලට සාපේක්‍ෂව, හෙක්ටයාරයකට කි.ග්‍රෑ 4000ක් පමණ අස්වැන්නක් ලබන ශ්‍රී ලංකාව, පහත් මට්ටමේ අස්වැන්නක් ලබන රටක් වන නිසා, රටට අවශ්‍ය වන්නේ රසායනික පොහොර හා පළිබෝධ නාශක තහනම් කිරීමක් නොව, ප්‍රධාන වශයෙන් යෙදවුම් වටා ඒක රාශි වූ දෙවැනි හරිත විප්ලවය කරා ඒවා කාර්යක්‍ෂම ලෙස භාවිතයට ගැනීම බවට මම තර්ක ඉදිරිපත් කළෙමි. ඉන් අනතුරුව මෙම අත්‍යවශ්‍ය යෙදවුම් කෘෂි අංශයට හිටිහැටියේ තහනම් නොකළ යුතු බවටත්, කාබනික ගොවිපොළ ක්‍රමයට මාරුවීම කාලයත් සමඟ ක්‍රමිකව කළ යුතු බවටත් විද්‍යාඥ ප්‍රජාව රජයට ආයාචනය කළහ.

මෙම විශේෂඥ උපදෙස් වලට කන් නොදුන් රජය කලින් ගත් කෘෂි රසායන හා රසායනික පොහොර තහනම් කරන ස්ථාවරයේදී, රැදී සිටියේය. මෙකී විශේෂඥ උපදෙස් වලට රජය කන්දිය යුතු බව මම මීට පෙරද පුන පුනා කියා ඇත්තෙමි. මෙම පියවර නිසා ආහාර බෝග හා වාණිජ බෝග යන අංශ දෙකේම කෘෂිකාර්මික කටයුතු පත්විය හැකි දුක්ඛිත තත්ත්වය පිළිබඳව විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. ඒ අයගෙන් බොහෝ දෙනෙක් රාජ්‍ය අංශයේ විද්‍යාඥයෝය. මා ඔවුන්ගේ මතය ඉදිරිපත් කළේ පහත අයුරිනි.

‘‘හදිසියේ රසායනික පොහොර හා පළිබෝධ නාශක තහනම් කිරීමෙන් ආහාර නිෂ්පාදනයටත්, අපනයන බෝගවලටත් අදාලව සිදුවිය හැකි නිෂ්පාදනය පහත වැටීම සම්බන්ධ ඇස්තමේන්තු වාර්තාවක් විද්‍යාඥයන් 30 දෙනෙකු විසින් ජනාධිපති රාජපක්‍ෂ වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ. එහිදී ආහාර සුරක්‍ෂිතතාව කෙරෙහි ඇතිවිය හැකි බලපෑම ද ඔවුහු අවධාරණය කර සිටිති. 

ඊට අදාළ වන්නාවූ රාජ්‍ය අංශයේ පර්යේෂණ ආයතනවල ඇස්තමේන්තුවලට අනුව එම විද්‍යාඥයන් මෙසේ පවසා තිබේ. එම වාර්තාවට අනුව එවිට තේ නිෂ්පාදනයෙන් සියයට 50ක් අහිමිව යනු ඇත. වී නිෂ්පාදනය සියයට 30-35 කින්ද, බඩ ඉරිඟු සියයට 50කින්ද, අර්තාපල් සියයට 30-50 ප්‍රතිශතයකින්ද, උක් සියයට 30-40 ප්‍රතිශතයකින්ද, කුරුඳු සියයට 25කින්ද, බුලත් සියයට 20කින්ද, උඩරට එළවළු සියයට 30-50කින්ද මල්වගාව සහ විසිතුරු පත්‍ර වගාව සියයට 100කින්ද, පරිසර පාලන තත්ත්වයන් යටතේ කරන කෘෂිකර්මය/ පාංශු රහිතව රසායන දියර මත කරන වගාව සියයට 100 කින්ද නිෂ්පාදනය පහත වැටෙන බව එහි ඇස්තමේන්තු කර තිබේ. ඔවුහු සංඛ්‍යාත්මක වශයෙන් මෙසේ අනතුරු සඟවති. සංවේදීභාවයක් ඇති කිසිදු ප්‍රතිපත්ති සම්පාදකයකුට ඒවා නොසළකා හැරිය නොහැකිය.

කාබනික තේ වගාව සහ යථාර්ථය

මෙම තීරණයට ගොදුරුව විනාශමුඛයට යාමකට නියමිත එක් අංශයක් නම් ශ්‍රී ලංකාවේ තේ වගාවය. ශ්‍රී ලංකවේ සමස්ත තේ වගාව කාබනීකරණයට ලක් කිරීමේ දැරිය යුතු අවදානමේ තරම මම මෙයට පෙරද සාකච්ඡාවට ලක් කළෙමි. ඉහළ වියදමක් දරමින් කාබනික පොහොර පමණක් යෙදීමේ දී දැරිය යුතු අවදානම, ගුණාත්මක බවින් යුතු නිෂ්පාදනයක් තහවුරු නොවීම, එම කාර්යවලදී  වැයවෙන ශ්‍රම වියදම් අධික වීම, මානව ශ්‍රමයෙන් වල් පැලෑටි මර්දනය, තේ පඳුරුවලට දිලීර රෝග වැළදීමේ පවතින අවදානම එහි දී අවධාරණයට ලක් කර ඇත.

මේ ආකාරයට කාබනික තේවලට ඉහළ මිලක් ලැබුණ ද, වැය වෙන අධික වියදම් නිසා එම වාසිය නිෂේධනය වී යයි. එම නිසා කාබනික තේ වගාව දියත් කළ යුත්තේ නියමු ව්‍යාපෘතියක් ලෙස විනා සමස්ත තේ වගාව ආවරණය වන්නක් ලෙස නොවේ.

ගොවීන්ට විඳින්නට සිදුවන ගැහැට වැඩිවීම

රසායනික පොහොර හා පළිබෝධනාශක තහනම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විවෘත වෙළෙඳපොළේ ඒවායේ මිල ගණන් තුන් ගුණයකින් ඉහළ යයි. ඒ අතර තුර ඒවා වෙළෙඳපොළේ සොයාගන්නට ද නොමැති වෙයි. ආණ්ඩුව විසින් ගන්නා ලද මෙම තනි තීරණයෙන් පහර පිට පහර වැදුනේ ගොවීන්ටය. කෘෂි කර්මාන්තයේදී නියමිත දිනට පොහොර යෙදීම නොකළහොත් හොඳ අස්වැන්නක් ගැනීමේ අවස්ථාව ගොවීන් වෙතින් ගිලිහී යයි. පොහොර බෙදාදෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරියේ දිගු පෝලිම්වල රස්තියාදු වූ ගොවීහු හිස් අතින් ගෙදර ගියහ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති
ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන
Tags: