IMG-LOGO
Home පුවත් වරද කොතැනද? කාගෙද?

වරද කොතැනද? කාගෙද?

Date : 2021-Jul-22
IMG

රටේ විදෙස් ණය බර වැඩිවීම හා විදෙස් මුදල් සංචිත අඩුවීම කාලයක් තිස්සේ පැවැති ප්‍රශ්නවල ප්‍රතිඵලය. දේශීය ණය බර රජයකට ලොකු ප්‍රශ්නයක් නොවේ. එය එසේ වන්නේ සල්ලි අච්චු ගැසීමේ බලය රජයට තිබෙන නිසාය. එහෙයින් රජයට දේශීය ණය ඕනෑ තරම් ගත හැකිය. එහි ප්‍රතිඵල දිගුකාලීනය. එමගින් මිල ඉහළ යයි. එය එතරම් හොද දෙයක් නොවේ. රටට තිබෙන ලොකුම ප්‍රශ්නය විදේශ ණයයි. 



දැන් ගොඩ ගැසී තිබෙන්නේ 2011 දී පමණ සිට ලබාගත් ණයය. ප්‍රශ්නය ණය ගැනීම නොවේ. ඒවායේ ඵලදායිතාව අඩුකමය. ගත් ණය යොදා කළ ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායම ඒ ණය වාරික හා පොලිය ගෙවීමට ප්‍රමාණවත් නැත. වරාය හැදුවාට ප්‍රමාණවත් නැත. ඒ සමගම නිෂ්පාදන කර්මාන්ත බිහි විය යුතුය. වරායට නැව් පැමිණිය යුතුය. එසේම වෙළෙඳ කටයුතු දියුණු විය යුතුය. ඒ සියල්ල සම්පූර්ණ නොවී වරායකින් පමණක් ප්‍රතිලාභ නොලැබෙයි. අධිවේගී මාර්ග සම්බන්ධයෙන්ද කිව යුත්තේ එයමය. එමගින් ජනතාවගේ ප්‍රවාහන පහසුකම් දියුණු වූවාට මදිය. නිෂ්පාදන කර්මාන්ත බිහි නොවුණොත් අධිවේගී මාර්ගවලින් ලැබෙන ප්‍රයෝජන ද අඩුය. සූරියවැව ක්‍රීඩාංගණය හා නෙළුම් කුලුන වගේ දේවල්වලින් ආර්ථික ප්‍රතිලාභ ඇත්තේම නැති තරම්ය. ඒවා අභිමානය පෙන්වන්නට කළ දේවල්ය.

ඒ සියල්ලෙන් වූයේ රට සතු විදෙස් ණය වැඩි වීමය. දැන් ඒ ණය වාරික හා පොලිය ගෙවීමට වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන හතරක් පහක් පමණ වැයවෙයි. ඉතින් මේ ණය ගෙවීමට අපට විදේශ විනිමය උපයා ගැනීමට හැකිවිය යුතුය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් අපනයන ශක්තිමත් විය යුතුය. අපනයන වෙළෙඳාමෙන් විදේශ විනිමය අතිරික්තයක් බිහිකරගත යුතුය. 

එහෙත් අවාසනාවකට අපේ ආනයන වියදම අපනයන ආදායමට වඩා ඉතා ඉහළය. ආනයන වියදම ඇමෙරිකන් ඩොලර් බිලියන 21කි. අපනයන ආදායම ඩොලර් බිලියන 10කි. මේ නිසා විදේශ වෙළෙඳ‌ාමෙන් අපට අත් වී තිබෙන්නේ අවාසියකි. 

කොරෝනා වසංගතය හේතුවෙන් අපනයන කර්මාන්තය ද අඩාල වී තිබේ. ඇණවුම් ලැබුණත් වසංගතය නිසා ඒවා කලට වෙලාවට සැපයිය නොහැකි වෙයි. සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම ද ඇණ හිට තිබේ. එසේම විදේශ රැකියා කළ අයගෙන් ලැබුණු මුදල් ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී පවතී.

වසංගතය නිසා ඒ ආදායම් යථා තත්ත්වයට ගැනීමට ද නොහැකිය. දැන් රට සතුව තිබෙන විදෙස් මුදල් සංචිතය ඇමෙරිකන් ඩොලර් බිලියන හතරකි. 

2021 අවුරුද්දේදී ගෙවීමට තිබෙන විදෙස් ණය හා පොලිය ප්‍රමාණය ඩොලර් බිලියන 3.5කි. රටට අත්‍යවශ්‍ය ඛනිජ තෙල් හා බෙහෙත් ද්‍රව්‍යය ද ආනයනය කළ යුතුමය. එහෙත් ඒ සියල්ල කරගැනීමට තරම්, තිබෙන සංචිත ප්‍රමාණවත් නැත. රටේ ආර්ථිකය බිද වැටී තිබෙන බව ඇතැමුන් කියන්නේ ඒ නිසාය. 

දැනට තිබෙන ණය ගෙවීමට තව තවත් ණය ගනියි. ඉන්දියාවෙන් හා චීනයෙන් මදිවාට බංග්ලාදේශයෙන් ද ණය ගනියි. ආණ්ඩුව කියන්නේ මේ අර්බුදයෙන් ගොඩ ඒමට තමන් විකල්ප ප්‍රතිපත්ති අනුගමනය කරන බවයි. මහ බැංකු අධිපති සේම ජනාධිපතිවරයා ද කියන්නේ එසේය. එහෙත් ඔවුන් කියන විකල්ප ප්‍රතිපත්තිය කුමක්දැයි පැහැදිලිව නොකියයි. අපට පෙනෙන්නේ ආණ්ඩුවට පැහැදිලි ප්‍රතිපත්තියක් නැති බවය. විකල්ප කියමින් කරන්නේද තව තවත් ණය ගැනීමය. මෙවැනි අර්බුදවලට ලංකාව පමණක් නොව බොහෝ රටවල් මුහුණ දී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා තිබෙන්නේ මෙවැනි අර්බුද ඇතිවන රටවලට උදව් කිරීමටය. රටක අය-වැය පරතරයේ, ගෙවුම් ශේෂයේ, විදේශ විනිමය සංචිතයේ ප්‍රශ්න ඇතිවන අවස්ථාවල ඒ රටවලට උදව් කිරීම මූල්‍ය අරමුදල පිහිටුවීමේ පරමාර්ථයකි. ලංකාව ද ඒ අරමුදලේ සාමාජිකයෙකි. ඒ අරමුදල මගහැර යාම නුවණැති කටයුත්තක් නොවේ. මූල්‍ය අරමුදල ණය දෙන්නේ කොන්දේසි මතය. ඒ කොන්දේසිවල අරමුණ ප්‍රශ්නය හඳුනාගෙන නිරාකරණය කර ගැනීමය. කෙටි හා දිගුකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග ඔවුහු යෝජනා කරති. ඒ කොන්දේසි අප මත බලෙන් පැටවීමක් නොකරති. අවබෝධය හා දැනුම ඇති පුද්ගලයන් ඔවුන් සමඟ සාකච්ඡාවට යැව්වොත් ඔවුහු අපේ යෝජනා ද පිළිගනිති. ඔවුන් පනවන යම් කොන්දේසියක් අපේ රටට නොගැළපේ නම් ඒ බව ඔවුන්ට පෙන්වා දුන් විට ඔවුහු ඒ බව පිළිගනිති. ඇතැම් විට විකල්ප යෝජනා කරති. සාකච්ඡාවෙන් දිනිය හැකි බව මගේ විශ්වාසයයි. සාකච්ඡාවෙන් ජයගත හැකි පුද්ගලයන් එහි යැවීම රජයේ වගකීමකි. අප ද සාමාජිකත්වය දරන ආයතනයකට පිටුපා විකල්ප කියමින් තව තවත් අධික පොලියකට ණය ගැනීම හානිකරය.

මූල්‍ය අරමුදලෙන් දෙන ණයවලට අය කරන්නේ ඉතාම අඩු පොලියකි. ගෙවීමට සහන කාලයක් ද ලැබෙයි. එසේම ගෙවීමට දිගු කාලයක් ද දෙයි. අනෙක එහි විශේෂත්වය වන්නේ අධීක්ෂණය කිරීමය. උපදෙස් දීමය. මූල්‍ය අරමුදල එසේ කරනවාට මේ ආණ්ඩුව බියය. මූල්‍ය අරමුදලේ උපදෙස් හා අධීක්ෂණයෙහි අරමුණු වන්නේ අල්ලස් දූෂණ වැළැක්වීම හා දෙන ණය ගත් කටයුත්ත සඳහාම යොදවනවාද යන්න සොයා බැලීමය. එසේ කිරීම රටටත් ජනතාවටත් හිතකරය. ගන්නා ණයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය. එය ජනතාවගේ ද අපේක්ෂාවය. විනිවිද භාවයෙන්, පාරදෘෂ්‍යභාවයෙන් කටයුතු සිදුවීම රටටත්, ජනතාවටත් හිතකරය. මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට අකැමැති වන්නේ විනිවිදභාවයට, පාරදෘෂ්‍යභාවයට අකැමැති අය බව මගේ වැටහීමයි. විශ්වාසයයි.
අපේ ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය ආදායම අඩුකමය. ජනාධිපතිවරණය නිම වූ අලුතම ඇතැම් බදු අඩු කිරීමෙන් හා ඇතැම් බදු අහෝසි කිරීමෙන් රජයේ ආදායම අඩුකරගත්තේ ආණ්ඩුවමය. ඒ නිසා ආණ්ඩුවට අවුරුද්දකට අඩු වූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 520ක් තරම් විශාලය. 

ඒ නිසා මේ බදු සංශෝධනය කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ හැකිය. එය තාර්කික යෝජනාවක් බව මගේ වැටහීමයි. ඡන්ද ගැනම සිතන නිසා ආණ්ඩුව බදු වැඩි කිරීමට බියය. 
මට පෙනෙන, වැටහෙන ආකාරයට රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ දේශපාලන සාධක මත මිස ආර්ථික සාධක මත නොවේ. බොහෝ ආර්ථික අර්බුදවලට හේතුව එයයි. ආණ්ඩුව දුර නොබලයි. බලන්නේම ළඟය. තමන්ගේ ආණ්ඩු කාලයේ කොහොම හරි ගැටගසාගෙන සිටීමට මාන බලයි. ආණ්ඩුවට රට ගැන දිගුකාලීන දැක්මක් නැත. දිගු කාලීන දැක්මක් තිබෙන්නේ නම් මූල්‍ය අරමුදල වැනි ආයතන සමඟ ගනුදෙනු කර රටේ දියුණුව සඳහා දිගු කාලීන සැලැස්මකට යා හැකිය. 

මූල්‍ය අරමුදල නිර්දේශ කරන බෙහෙත් කෙටි කාලීනව තිත්ත විය හැකි වුවත් දිගුකාලීනව බැලුවොත් රටට හිතකරය. මට හිතෙන හැටියට මූල්‍ය අරමුදල ගැන ආණ්ඩුවට ඇත්තේ පුහු බියකි. එහි සිටින්නේද මනුස්සයෝය. මනුස්සයන්ට මනුස්සයන් සමග සාකච්ඡා කර ප්‍රශ්න විසඳාගැනීමට නොහැකිවීම නොහැකියාව පිළිබඳ ප්‍රශ්නයකි. ඒ අරමුදල සමඟ සාකච්ඡාවකට නොගොස් එය ප්‍රතික්ෂේප කිරීම බරපතළ ලෙස ප්‍රශ්නකාරීය. එකඟවිය හැකි දේට එකඟවීමටත් නොහැකි දේට බෑ කීමටත් අපට අයිතිය හා හැකියාව තිබේ.
රාජ්‍ය ව්‍යව්‍යසායයන් පෞද්ගලීකරණය කරන්නැයි මූල්‍ය අරමුදල බලපෑම් කරන නිසා එහි නොයන බව ද ආණ්ඩුවේ ඇතැම් අය කියති. ඒ ගැන මූල්‍ය අරමුදල කියන්නට පෙර අපේ අවධානය යොමු කළ යුතුය.

විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැනි ප්‍රබල රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්නේ ඒවායේ පවතින කළමනාකරණ දුර්වලතා නිසාමය. ඊට වගකිව යුත්තේ කලින් කල බලයට පත්වූ ආණ්ඩුය. ආණ්ඩු ඊට වගකීව යුත්තේ ඒ ව්‍යාපාර කළමනාකරණයට නුසුදුසු පුද්ගලයන් පත්කිරීම හේතුවෙනි. විදුලි බල මණ්ඩලය 2020 දී ලද පාඩුව රුපියල්  බිලියන 63 කි. 2019 දී ලැබූ පාඩුව රුපියල් බිලියන 85කි. ඒ නිසා මණ්ඩලය රජයේ බැංකුවලින් විශාල වශයෙන් ණය ගනියි. ඒ හේතුවෙන් රාජ්‍ය බැංකු ද අමාරුවේ වැටී සිටියි. තෙල් සංස්ථාවේ පාඩුව 2018 දී රුපියල් බිලියන 106කි. 2019 දී පාඩුව රුපියල් බිලියන 12කි. තෙල් සංස්ථාව පාඩු ලබනවාය කීම අදහාගත නොහැකි කාරණයකි.
ඉන්දියන් තෙල් සමාගම (I.O.C)  ලාබ ලබද්දී ඒ ව්‍යාපාරයම කරන තෙල් සංස්ථාව පාඩු ලබන බව කීම පිළිගන්නේ කෙසේදැයි ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. 

2020 දී ලංගම ලැබූ පාඩුව රුපියල් බිලියන 2.3 කි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2020 දී ලැබු පාඩුව රුපියල් බිලියන 58කි. 2019 දී එය ලැබු පාඩුව රුපියල් බිලියන 47 කි. මුදල් අමාත්‍යංශය කියන්නේ ප්‍රධාන රාජ්‍ය  ව්‍යාපාර 17ක්ම  පාඩු ලබන බවය. ඒ රාජ්‍ය ව්‍යාපාර  දාහත 2020 දී ලබා තිබෙන පාඩුව රුපියල් බිලියන 132කි.
ඒ ආයතන ලබන පාඩු පියවීම සඳහා සල්ලි පොම්ප කරන්නේ 
මහා භාණ්ඩාගාරයෙනි. අවසානයේ ඒ බර ජනතාව පිට පැටවෙන බව කියන්නේ මේ නිසාය. භාණ්ඩාගාරයෙන් සල්ලි නොදුන්නොත් ඒ රාජ්‍ය ව්‍යාපාර ණය ගැනීමට රාජ්‍ය බැංකුවලට යයි. එහිදී ණය දෙන්න ඒ ගැන වගකියනවා කියා රාජ්‍ය බැංකුවලට සහතික දෙන්නේ මහා භාණ්ඩාගාරයෙනි. ඒ නිසා බැංකුත් ණය දෙයි. 
2020 අවසන් වෙද්දී විදුලිබල මණ්ඩලය එසේ රාජ්‍ය බැංකුවලින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 89 කි. දිගින් දිගටම මෙය මෙසේ වුවහොත් රාජ්‍ය බැංකු ද බංකොලොත් වෙයි. 

මේ පාඩුවලට ප්‍රමුඛ හේතුව දූෂණයයි. එසේ නොවේ නම් එකම කටයුත්ත කරන ඉන්දියන් තෙල් සමාගම ලාබ ලබද්දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන්නේ කෙසේද? ඒ ප්‍රශ්නයට පිළිතුර දූෂණය බව ඉන් ඉතා පැහැදිලිය.
දූෂණවලට නිලධාරීන් පමණක් සම්බන්ධ වනවා විය නොහැකිය. දූෂණ අඛණ්ඩව සිදුවීමෙන් අනාවරණය වන්නේ දේශපාලකයන්ද ඒවාට සම්බන්ධ වන බවය. දේශපාලන අනුග්‍රහය හා රැකවරණ නොලැබෙන්නේ නම් දිගින් දිගටම දූෂණ සිදුවන්නේ නැති බව කාටත් තේරුම් ගත හැකි සත්‍යයකි.

රාජ්‍ය ව්‍යාපාර පාඩු ලැබීමට ප්‍රධාන හේතුව දුර්වල කළමනාකරණය බව මගේ නිරීක්ෂණයයි. බලයට පත්වන කොයි ආණ්ඩුවත් මේ රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණයට පත් කරන්නේ තම හිතවතුන්, නෑදෑයන්, පාක්‍ෂිකයන්, මැතිවරණවලින් පැරදුණු තමන්ගේ පුද්ගලයන්ය. රටේ අධිකරණවලින් දඬුවම් ලැබ ජනාධිපති සමාව ලද පුද්ගලයෝද ඒ අතර සිටිති. ඔවුන් අතරින් අතිවිශාල බහුතරය කළමනාකරණය ගැන මෙලොව හසරක් නොදනිති. දන්නා පුද්ගලයන්ට කරන්නට විෂයභාර අමාත්‍යවරයා ඉඩ දෙන්නේද නැත. අමාත්‍යවරයා ඒ රාජ්‍ය ව්‍යාපාර පාවිච්චි කරන්නේ තම හිතවතුන්ට හා පාක්‍ෂිකයන්ට රැකියා දීමටය. එසේම තමන්ට වුවමනා අයට කොන්ත්‍රාත් හෝ ටෙන්ඩර් ලබාදීමටය. ‘‘ජාඩියට මූඩිය’’ සේ අමාත්‍යවරයා හා කළමනාකරුවා ‘‘තකට තක’’ සහ සම්බන්ධ වූ විට අල්ලස, දූෂණය, නාස්තිය, පොදු දේපළ අවභාවිතය පමණක් නොව බලය අයුතු ලෙස පාවිච්චිය ද ඉහළ යයි. මේවා නැවැත්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන තුරු අප බලා සිටිය යුතු නැත. අපම ඒ සඳහා පියවර ගත යුතුය.

Tags: