IMG-LOGO
Home පුවත් බ්ලූ ප්ලැනට් ජාත්‍යන්තර සම්මානය මහාචාර්ය මොහාන් මුණසිංහට.

බ්ලූ ප්ලැනට් ජාත්‍යන්තර සම්මානය මහාචාර්ය මොහාන් මුණසිංහට.

Date : 2021-Jun-22
IMG
පාරිසරික නොබෙල් ත්‍යාගයට සමාන ඉහළම ජාත්‍යන්තර සම්මානයක් වන බ්ලූ ප්ලැනට් සම්මානය (the Blue Planet Prize) ,  2021 වසර සඳහා පිරිනැමීමට සුදුස්සා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රකට භෞතික හා ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා තෝරාගෙන තිබේ. බ්ලූ ප්ලැනට් ජාත්‍යන්තර සම්මානය මේ වසරේ දී පිරිනැමෙනුයේ 30 වන වරටය.

මෙහිදි මහාචාර්ය මුණසිංහ දශක 5 කට ආසන්න කාලයක් පුරා ප්‍රවර්ධනය කරන ලද ප්‍රධාන සංකල්ප සහ ඒවායේ ප්‍රායෝගික භාවිතයන් ලොව පුරා පිළිගෙන ඇති බවට සම්මාන කමිටුව විසින් ඇගැයීමට ලක්කර ඇත.මහාචාර්ය මොහාන් මුණසිංහ 2021 ඔක්තෝබර් 6 වන දින ටෝකියෝ නුවර කයිකන් හිදී පැවැත්වීමට නියමිත බ්ලූ ප්ලැනට් සම්මාන උළෙලදි ඔහුට හිමි සම්මාන සහතිකය, සමරු කුසලානය සහ මුදල් ත්‍යාගය ලබා ගන්නට නියමිතය.

ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනමේ අනුග්‍රයෙන් පිරිනැමෙන මෙම බ්ලූ ප්ලැනට් සම්මානයේ තීරක මණ්ඩලය මෙවර 2021 වර්ෂය සඳහා විශිෂ්ටයන් රැසක් අතරින් සම්මානලාභීන් දෙදෙනෙකු තෝරාගෙන ඇත. ශ්‍රී ලංකාවේ මහාචාර්ය මොහාන් මුනසිංහ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය වී. රාමනාදන් ඒ දෙදෙනාය. ගෝලීය පාරිසරික ගැටලු විසඳීම සඳහා ඔවුන් සිදු කර ඇති විශිෂ්ට සේවය අගයමින් මෙම සම්මානය මේ විද්‍යාඥ දෙපළට ලබා දීමට තීරක මණ්ඩලය තීරණයකර තිබේ.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහාචාර්ය මුණසිංහ විසින් හඳුන්වා දී ඇති අද්විතීය සංකල්ප ලෙස සැලකෙන ඒකාබද්ධ සහ විෂයාන්තර ‘තිරසර ආර්ථික’ රාමුව (‘Sustainomics’ framework), පරිසරය, ආර්ථිකය හා සමාජය යන ත්‍රිවිධ අංශ මත පදනම් වූ තිරසාර සංවර්ධන ත්‍රිකෝණය (sustainable development triangle), ‘සමතුලිත හරිත අන්තර්ග්‍රාහී සංවර්ධනය (BIGG – balanced inclusive green growth)’ සහ ‘සහස්‍ර පරිභෝජන ඉලක්ක (MCGs) වැනි නව්‍ය සංකල්ප අගයමින් මෙම සම්මානය පිරිනැමේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්-රාජ්‍ය කමිටුවේ (අයිපීසීසී) උප සභාපති ලෙස ඔහු 2007 දී නොබෙල් සාම ත්‍යාගය බෙදා ගත්තේය. එවන් ජයග්‍රහණයක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහුය. ඔහුගේ පර්යේෂණ සහ සංකල්ප පරිසරය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ප්‍රධාන ගෝලීය ගිවිසුම් කිහිපයකට දායක වී තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහාචාර්ය මුණසිංහ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇත. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්‍ෂණ ආයතනයෙන් (MIT) විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉහළම උපාධි ද, කැනඩාවේ මැක්ගිල් විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද, කැනඩාවේ කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කර ගෙන ඇත. මීට අමතරව මහාචාර්ය මුනසිංහ හට සම්මාන ආචාර්ය උපාධි කිහිපයක් ද ප්‍රදානය කෙරී ඇත. ශාස්ත්‍රීය ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක කතුවරයා වන ඔහු පිළිගත් විද්‍යා සඟරාවල තාක්‍ෂණික නිබන්ධ හාරසියයකට අධික සංඛ්‍යාවක් පළ කර තිබේ. එමෙන්ම, මහාචාර්ය මුණසිංහ ප්‍රමුඛ පෙළේ ගෝලීය විද්‍යා ඇකඩමි කිහිපයකම සාමාජිකයෙකි.ඔහු සංවර්ධනය පිළිබඳ මුණසිංහ ආයතනයේ (Munasinghe Institute for Development – MIND) ආරම්භක සභාපතිවරයාය‍‍‍‍.
Tags: