ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ (ITSSL) සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
වට්සැප් යෙදුම සම්බන්ධයෙන් එම සංගමය විසින් සිදු කළ නිවේදනයකට අදාල ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් රැගෙන ගොස් තිබෙනවා.
යසිරු කුරුවිටගේ මහතා වෙනුවෙන් මෙම නිළධාරීන් සමඟ දුරකථනයෙන් සංවාදයේ යෙදුණු සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහතා එම නිළධාරීන්ට දැනුම් දී සිටියේ වරෙන්තුවක් සහිතව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවේ නම් යසිරු කුරුවිටගේ මහතාව රැගෙන යාමට ඉඩ දිය නොහැකි බවත් නීති සහය පැතීමට ඔහුට ඇති අයිතිය මත පදනම්ව පෙර අවස්ථාවේදී මෙන්ම නීතීඳයෙකු සමඟ පැමිණ ප්‍රකාශයක් ලබා දීමට පැමිණීමට හැකි බවයි.
මෙහිදී ඔහුව රැගෙන යාමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සතුව වරෙන්තුවක් නොතිබූ බව පිළිගනු ලැබුවා.
පසුගිය 03වනදා එම සංගමය විසින් අගමැතිගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සිදු කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුව ඒ සම්බන්ධයෙන් කැඳවා ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනතාව මුලා කරවන පිරිස් සොයා විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට භාරදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
එවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මහජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන බවට පෙනී ගොස් ඇති බවත් එම පුද්ගලයින් සොයන විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවයි ඔහු සදහන් කරන්නේ.
අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසන්නේ යම් අයෙකු අසත්‍ය පුවත් පළ කරමින් ජනතාව කලබලයට පත් කරන්නේ නම් එය පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.