IMG-LOGO
Home පුවත් කොවිඩ්.

කොවිඩ්.

Date : 2021-Jun-07
IMG
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා  රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්  එනම් ලබන 21 දක්වා දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ .
එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි.
කොරෝනා රෝගීන් 3000ක්  ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත් ,එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් ,සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.
මේ හේතුවෙන් සංචරණ සීමා ලබන විසි එක් වැනි දා දක්වා  දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව දැනගන්නට ඇත . 
කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් විසි එක් වෙනිදා රටපුරා සංචරණ සීමා පනවනු ලැබූ අතර ,එය විසිපස් වැනිදා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය.
සංචරණ සීමා අද දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.
කර්මාන්තශාලා ආශ්‍රිතව කොවිඩ්  ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මේ අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නයි ඒවායේ ප්‍රධානීන් ට විශේෂ උපදෙස් මාලාවක් ලබා දී ඇති බවද ඔහු කියයි.
යම් යම් කර්මාන්ත ශාලාවලින් වැඩිපුර රෝගීන් හමු වෙනවා නම් අදාළ ප්‍රදේශයන්හි සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ ආයතන තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බවත්  ඇතැම් අවස්ථාවලදී ආසාදිත සේවකයන් ඉවත් කර ආසාදිත නොවන සේවකයන් කැඳවා කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට උපදෙස් දී ඇති බවත් ඔහු සඳහන් කරයි.
සියලුම කර්මාන්තශාලා අවම බාධා යටතේ වැසීමකින් තොරව පවත්වාගෙන යෑමට  සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
ඖෂධ ජාවාරම්කාර මාෆියාවන් ට හා  තැරැව්කාරයන්ට මෙන් ම ඩීල් කාරයන්ට ජනතා මුදල් ගසා කන්නට ඉඩ නොදී ආණ්ඩුව දැන් වත් කෝවිඩ් එන්නත් පිළිබඳ ජනතාවට සත්‍යය ප‍්‍රකාශ කළ යුතු යැයි හිටපු අග‍්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. වගකීමක් සහිත රජයක් ලෙස මේ රජය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී ඇති එන්නත් මොනවද ? ඒ කොපමණ ප‍්‍රමාණයක්ද ? රජය මිලදී ගන්නා එන්නත් මොනවාද ඒ කොපමණ ප‍්‍රමාණයක් ද ඒවා මොන මොන සමාගම්වලින් ලබා ගන්නේ ද යන කාරණා ගැන ජනතාවට සත්‍ය පැවසිය යුතු බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ.  
 මේ වන විට එක් එක් රටවලට අයත් සුප‍්‍රසිද්ධ ඖෂධ සමාගම් කිහිපයක්ම කොවිඩ් රෝගය ඉතා විශ්වාසදායක ඖෂධ නිපදවා තිබෙනවා. ඒ සෑම සමාගමක් ම තාම එන්නත් අලෙවි කරන්නේ හෝ ලබා දෙන්නේ රට රටවල් අතර ඇති වන ගිවිසුම් අනුව රාජ්‍යයකට හෝ තම සමාගමේ බලයලත් නියෝජිතයාට පමණයි. ඖෂධ සමාගම් ලෝකය පුරා ඖෂධ අලෙවි කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා පුද්ගලික සමාගමක් සමග එකතු වී ආරම්භ කර ඇති ”කොවැක්ස්” සමාගම හරහා වන බැවින් කිසිවෙකුටත් එම මාර්ගයෙන් තොර ව එන්නත ලබා ගන්නට බැහැ.  යම් යම් සමාගම් තමන් එකී නිෂ්පාදන ආයතනවල නියෝජිතයන් ලෙස පෙනී සිටියත් එබඳු සබඳකම ඒ කිසිදු සමාගමකට නැහැ. ඇස්ට‍්‍රසොනිකා සමාගම පැහැදිලිවම තමන් ඖෂධ අලෙවි කරන්නේ ඉන්දියාවේ ”ද සේරම්” සමාගම හරහා පමණක් බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.  කොවැක්ස් සමාගමේ හෝ එබඳු සෘජු අලෙවි නියෝජිතයෙකුගේ සම්බන්ධතාවයකින් තොර ව මෙකී දේශීය සමාගම් ඖෂධ ලබා ගන්නේ කෙසේ ද යන කාරණය ප‍්‍රශ්න කරන වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුව තවදුරටත් මේ කූට අලෙවි නියෝජිතයන් සමග එක් වී ජනතාව නොමඟ යැවිය යුතු නැතැ’යි අවධාරණය කරනවා.
Tags: