IMG-LOGO
Home පුවත් කොවිඩ්

කොවිඩ්

Date : 2021-Jun-05
IMG
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 3,398 දෙනෙකු ඊයේ  දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 199,242ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත.
ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක් රතු ලයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන ඇත. ඒ අනුව එංගලන්තයට මෙම රටවල්වලින් පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන්ම නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතුය.
“රතු ලැයිස්තුවට” එකතු කරන ලද රටවල්වල සම්පූර්ණ ලැයිස්තුව වන්නෙ ඇෆ්ගනිස්ථානය, බහරේනය, කොස්ටාරිකාව, ඊජිප්තුව, ශ්‍රී ලංකාව, සුඩානය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝය.
පාසල් යළි ආරම්භ කිරීමට ප්‍රථම සියලුම සිසුන්ට සහ ගුරුවරුන්ට එන්නත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය යෝජනා කර ඇත. ඒ අනුව සිසුන්ට ලබා දීමට අනුමැතිය ලැබී ඇති ෆයිසර් එන්නත ඒ සදහා යොදා ගැනීමට සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් වන ඉල්ලීම මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ට ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ. නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන ‌නොමැති බව පැවසේ.
ලබන ජුලි මාසයේ ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට ලැබීමට නියමිතය. මේ වනවිට ලංකාවේ පාසල් සිසුන් සංඛ්‍යාව ලක්ෂ 45කි.

ස්පුට්නික්  සහ ඇස්ට්‍රාසෙනිකා  එන්නත්වල ශක්තිය මැන බැලීමේ විශේෂ පරීක්ෂණයක් අලුතින් ඇරඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන  අංශයේ ප්‍රධානී ආචාර්ය  චන්දිම ජීවන්දර  මහතා පවසයි.
ඇස්ට්‍රාසෙනිකා  එන්නතේ  පළමු මාත්‍රාව ලබාගෙන  සති 12 ක් යනතුරු පුද්ගල ශරීරයන් තුළ ඉහළ ප්‍රතිශක්තියක්  ගොඩ නැගෙන බව මුලදී කරන  ලද පරීක්ෂණවලදී තහවුරු වී  තිබූ බවත් එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 16 කදී ප්‍රතිශක්තිය ගොඩනැගී ඇති ප්‍රමාණය  තහවුරු කරගැනීම සඳහා මෙම නව පරීක්ෂණය ආරම්භ කළ බවත් ඔහු ප්‍රකාශ කරයි.
අස්ට්‍රාසෙනිකා  එන්නත ලබාගෙන සති 16ක් යනතුරු ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්නේ නම්  දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ඔවුනට තව කාලයක් සිටිය හැකිවනු ඇතැයිද   ජීවන්දර  මහතා  සඳහන් කරයි.
මෙයට අමතරව ස්පුට්නික්  එන්නත සම්බන්ධයෙන්ද තවත් පරීක්ෂණයක් ආරම්භ කළ බව කී ආචාර්යවරයා එම එන්නත ලබාගෙන මාසයකින්,මාස තුනකින් සහ වසරකින් ප්‍රතිශක්තිය ශරීරයන්හි  ගොඩනැගෙන ප්‍රමාණය තහවුරු කරගැනීම එහි අරමුණ බව ද ප්‍රකාශ කළේය.
ස්පුට්නික්  එන්නත ලබා ගත් පුද්ගලයන් 500 දෙනකුගෙන්  ලබාගත් සාම්පල  සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය  ආරම්භ කළේය. ස්පුට්නික්  එන්නතේ  පළමු මාත්‍රාව පමණක් ප්‍රමාණවත්දැයි  තහවුරු කරගැනීමද මේ පරීක්ෂණයේ තවත් අරමුණක් බව ආචාර්ය චන්දිම ජීවන්දර  මහතා පැවැසුවේය.
Tags: